4. 2. 2. 5.
[රූප (ප්පමාණ) සුත්තං] - රූප්පමාණ සූත්‍රය
15. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
රූපය ප්‍රමාණයයි ගෙන, රූපයෙහි පැහැදෙන පුද්ගලයාය, ශබ්දය ප්‍රමාණයයි ගෙන, ශබ්දයෙහි පැහැදෙන පුද්ගලයාය, රූක්‍ෂ ප්‍රතිපත්තිය ප්‍රමාණයයි ගෙන, රූක්‍ෂ ප්‍රතිපත්තියෙහි පැහැදෙන පුද්ගලයාය, ධර්මය ප්‍රමාණයයි ගෙන, ධර්මයෙහි පැහැදෙන පුද්ගලයාය,
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
41. යමෙක් රූපය ප්‍රමාණ කළාහුද, යමෙක් ශබ්දයෙහි පැහැදුනාහුද? ඡන්‍ද රාග වශයෙන් යුක්ත ඔවුහු ඒ ජනයා නොහඳුනත්.
42. අධ්‍යාත්මයද නොදනිත්. පිටත්හි ප්‍රතිපත්තියද නොදනී. ඒකාන්තයෙන් ඒ බාල තෙම ශබ්දයෙන් පමණක් ප්‍රමාණ කරයිද, හාත්පසින් ආවරණවූයේ වේ.
43. අධ්‍යාත්ම ගුණය නොදනීද, බාහිර ප්‍රතිපත්ති නොදනීද, බාහිර සත්කාර ඵල දක්නේ, හෙතෙමේද ශබ්දයෙන් මුලාවෙයි.
44. අධ්‍යාත්ම ගුණය දනීද, බාහිර ප්‍රත්පත්ති නුවණින් දකීද, විවෘතව පෙනෙන ඔහු ශබ්දයෙන් මුළාවට ගෙන නොයයි.
4. 2. 2. 6.
[සරාග (පුග්ගල) සුත්තං] - බන්‍ධන වඩ්ඪන සූත්‍රය
16. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතරදෙනෙක් විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත, මාන සහිත පුද්ගලයෝය.
මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
45. ඇලුම් කටයුතු දෙයෙහි ඇළුණු, ප්‍රිය රූපයන්ට තුටුවන, මෝහයෙන් බැඳුනු අධර්‍ම සත්ත්‍වයෝ බැම්ම වඩත්.
46. අඥාන සත්ත්‍වයෝ රාගයෙන් හටගන්නාවූද, ද්වේෂයෙන් හටගන්නාවූද, මෝහයෙන් හටගන්නාවූද, දුක් සහිත මත්තෙහිද දුක් ගෙන දෙන අකුශල කර්ම කරත්.
47. අන්‍ධවූ, ප්‍රඥා චක්‍ෂුස රහිත අවිද්‍යාවෙන් වැසුණු පුරුෂයෝ රාගාදී ධර්මයන්හි සිටියාහු එබඳු සත්ත්‍වයෝයයි නොහඟිත්.
4. 2. 2. 7.
[අහි (මෙත්ත) සුත්තං] - අහිරාජ සූත්‍රය
17. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අසල, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි සැවැත් නුවර එක්තරා භික්‍ෂුවක් සර්‍පයකු විසින් දෂ්ට කරණ ලද්දේ කළුරිය කළේ විය. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාහුය. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළහ:
“ස්වාමීනි, සැවැත්නුවර එක්තරා භික්‍ෂුවක් සර්‍පයකු විසින් දෂ්ට කරණ ලදුව කළුරිය කරණ ලද්දේය”
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්‍ෂුව සතර සර්‍පරාජ කුලයන් වෙත මෛත්‍රී සිත නොපැතිරවිය. මහණෙනි, ඉදින් ඒ භික්‍ෂුව සතර සර්‍පරාජ කුලයන් වෙත මෛත්‍රී සිත පැතිරවූයේ නම්, මහණෙනි, ඒ භික්‍ෂුව සර්‍පයකු විසින් දෂ්ට කරණ ලදුව කළුරිය නොකරන්නේය. කවර සතර සර්‍පරාජ කුලයන් වෙතද?
විරූපාක්‍ෂ නම් සර්‍පරාජ කුලය, එරාපථ නම් සර්‍පරාජ කුලය, ඡබ්‍යා පුත්ත නම් සර්‍පරාජ කුලය, කණ්හා ගොතම නම් සර්‍පරාජ කුලය, යන සතරයි.
මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්‍ෂුව මේ සතර සර්‍පරාජ කුලයන් වෙත මෛත්‍රී සිත නොපැතිරවිය. මහණෙනි, ඉදින් ඒ භික්‍ෂුව මේ සතර සර්‍පරාජ කුලයන් වෙත මෛත්‍රී සිත පැතිරවූයේ නම්, මහණෙනි, ඒ භික්‍ෂුව සර්‍පයකු විසින් දෂ්ට කරණ ලදුව කළුරිය නොකරන්නේය.
මහණෙනි, මේ සතර අහිරාජ කුලයන් තමාගේ ගොපනය පිණිස, තමාගේ ආරක්‍ෂාව පිණිස, තමාගේ රැකවරණ පිණිස, මෛත්‍රී සිතින් පතුරුවන්නට අනු දනිමි.
48. මාගේ මෛත්‍රිය විරූපාක්‍ෂ නාග කුලයන් වෙත වේවා. මාගේ මෛත්‍රිය එරාපථ නාග කුලය වෙත වේවා. මාගේ මෛත්‍රිය ඡබ්‍යා පුත්ත නාග කුලය වෙත වේවා. මාගේ මෛත්‍රිය කණ්හා ගොතමක නාග කුලය වෙත වේවා.
49. මාගේ මෛත්‍රිය පා නැත්තන් වෙත වේවා. මාගේ මෛත්‍රිය දෙපා ඇත්තන් වෙත වේවා. මාගේ මෛත්‍රිය සතර පා ඇත්තන් වෙත වේවා. මාගේ මෛත්‍රිය බොහෝ පා ඇත්තන් වෙත වේවා.
50. පා නැත්තෙක් මා, නොපෙලාවා, දෙපා ඇත්තෙක් මා, නොපෙලාවා, සතර පා ඇත්තෙක් මා නොපෙලාවා, බොහෝ පා ඇත්තෙක් මා නොපෙලාවා,
51. සියලු සත්ත්‍වයෝ, සියල් ප්‍රාණීහු, සියලු භූතයෝ, සියල්ලෝ යහපත දකිත්වා. කිසි දුකක් නොපැමිණේවා.
බුදුරජ තෙම අප්‍රමාණ ගුණ ඇත්තේය. ධර්‍මය අප්‍රමාණ ගුණ ඇත්තේය. සංඝයා අප්‍රමාණ ගුණ ඇත්තේය. ප්‍රමාණවත් බඩගානා සර්‍පයෝද, ගෝනුස්සා්ද, පත්තෑයෝද, මකුළුවෝද, හිකනල්ලුද, හූනෝද, මීයෝද මා විසින් ආරක්‍ෂා කරණ ලද්දාහ. මා විසින් ගොපනය කරණ ලද්දාහුය. භූතයෝ දුරු වෙත්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. සත් බුදුවරයන්ට නමස්කාර කරමි.
4. 2. 2. 8.
[දෙවදත්තසුත්තං] - අත්තවධ (දෙව දත්ත) සූත්‍රය
18. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ, රජගහ නුවර ගිජුකුළු පව්වෙහි.දෙව්දත් තෙරුන් වහන්සේ ගිය නොබෝ කල්හි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් වහන්සේ අරභයා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක.
මහණෙනි, දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා තමාගේ විනාශය පිණිස පහළවිය. මහණෙනි, දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා පිරිහීමට පහළවිය.