4. 2. 1. 9.
[භොජනදායකසුත්තං]
9. “මහණෙනි, භෝජනය දෙන ආර්ය්ය ශ්රාවක තෙම ප්රතිග්රාහකයන්ට කරුණු සතරක් දෙයි. කවර සතරක්ද යත්?
ආයුෂ දෙයි, වර්ණය දෙයි, සැප දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්යමයවූ හෝ මනුෂ්යමයවූ හෝ ආයුෂයට කොටස් කාරයෙක් වේ. වර්ණය දී, දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ වර්ණයට කොටස් කාරයෙක් වේ. සැපය දී, දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ සැපයට කොටස් කාරයෙක් වේ. බලය දී, දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ බලයට කොටස් කාරයෙක් වේ. මහණෙනි, භෝජනය දෙන ආර්ය්ය ශ්රාවක තෙම ප්රතිග්රාහකයන්ට මේ කරුණු සතර දේය” යි වදාළ සේක.
“යමෙක් කාය, වාක් සංයමවූ අනුන් දුන් දෙයින් යැපෙන්නවුන්ට සුදුසු කාලයෙන් සකස් කොට භොජනය දෙයිද, හෙතෙම කරුණු සතරක් දෙයි. ආයුෂද, වර්ණයද, සැපයද, බලයද යන සතරයි.
ආයුෂ දෙන, වර්ණ දෙන, සැප දෙන, බල දෙන මනුෂ්ය තෙම යම් යම් තැනක උපදීද දීඝායුෂ, සශස් ඇත්තේ වේ.”
4. 2. 1. 10.
[ගිහිසාමීචිපටිපදාසුත්තං]
10. ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාට, භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“ගෘහපතිය, කරුණු සතරකින් යුක්ත ආර්ය්ය ශ්රාවක තෙම යසස් ලබන්නාවූද, ස්වර්ගය පිණිස පවත්තාවූද, ගිහි සාමීචි ප්රතිපදාවට පැමිණියේ වෙයි. කවර සතරකින්ද යත්?
“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම භික්ෂු සංඝයා චීවරයෙන් උපස්ථාන කෙළේද, භික්ෂු සංඝයා පිණ්ඩපාතයෙන් උපස්ථාන කළේ වේද, භික්ෂු සංඝයා සෙනසුනෙන් උපස්ථාන කළේ වේද, භික්ෂු සංඝයා ගිලන්පස බෙහෙත් පිරිකරින් උපස්ථාන කළේ වේද,
ගෘහපතිය, මේ කරුණු සතරින් යුක්ත ආර්ය්ය ශ්රාවක තෙම යසස් ලැබෙන, ස්වර්ගය පිණිස පවත්නා ගිහි සාමීචි ප්රතිපදාවට පිළිපන්නේ වේ.
“යහපත් මාර්ගයෙහි පිළිපන්නාවූ, සීලවන්තයෝ චීවරයෙන්ද, පිණ්ඩපාතයෙන්ද, සෙනස්නෙන්ද, ගිලන්පස බෙහෙත් පිරිකරින්ද, උපස්ථාන කරණ ලද්දාහුද, ඒ පණ්ඩිතයෝ ගිහි සාමීචි ප්රතිපදාවට පිළිපන්නාහුය.
යහපත් කර්මයක් කොට රෑ දවල් සියලු කල්හි පින් වැඩේ. ස්වර්ගයටද පැමිණේ.”
හයවැනි පුඤ්ඤාභිසන්ද වර්ගය නිමි.
තස්සුද්දානං:
පුඤ්ඤාභිසන්ද සූත්ර දෙක ද, සංවාස සූත්ර දෙක ද, සමජීවි සූත්ර දෙක ද, සුප්පවාසා, සුදත්ත, භෝජන සහ ගිහිසාමීචි සූත්ර ද වේ.
(7) 2. පත්ත කම්ම වර්ගය
4. 2. 2. 1.
1. පත්ත කම්ම සූත්රය
[සැවැත් නුවර නිදානයයි]
61. “ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“ගෘහපතිය, ලෝකයෙහි ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, දුර්ලභවූ මේ සතර ධර්ම කෙනෙක් වෙත්ය” යි වදාළසේක. “කවර සතර දෙනෙක්ද යත්,
මට ධර්මයෙන්ම භෝගයෝ උපදිත්වා යනු ලෝකයෙහි ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මන වඩන්නාවූ, දුර්ලභවූ මේ පළමුවන කාරණයයි.
“ධර්මයෙන්ම භොගයන් ලැබ, ඤාතීන් සමග, උපාධ්යායයන් සමග මාගේ කීර්තිය උස්ව නගීවා යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්ලභවූ මේ දෙවෙනි කාරණයයි.”
“ධර්මයෙන්ම භොගයන් ලැබ, කීර්තිය ලැබ, ඤාතීන් හා උපාධ්යායයන් හා බොහෝ කල් ජීවත් වෙමි. දීර්ඝ කාලයක් ආයුෂ විඳිමියි යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්ලභවූ මේ තුන්වෙනි කාරණයයි.”
“ධර්මයෙන්ම භොගයන් ලැබ, කීර්තිය ලැබ, ඤාතීන් හා උපාධ්යායයන් සමග බොහෝ කල් ජීවත්වී, දීර්ඝ කාලයක් ආයුෂ පාලනය කොට කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිමි යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්ලභවූ සතරවන කාරණයයි.”
“ලෝකයෙහි ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, දුර්ලභවූ, මේ කරුණු සතර වෙති.
ලෝකයෙහි ඊෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ, දුර්ලභවූ මේ සතර ධර්මයන් ලැබීම පිණිස ධර්ම සතරක් පවතිත්. කවර සතරක්ද යත්,
“ශ්රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්යාග සම්පත්තිය, ප්රඥා සම්පත්තිය යන සතරයි.
“ගෘහපතිය, ශ්රද්ධා සම්පත්තිය කවරීද? “ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම ශ්රද්ධාවත් වේද, ඒ භාග්යවතුන් වහන්සේ සම්යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූයහ, අනුත්තර පුරිසදම්ම සාරථීයහ, දෙවි මිනිසුන්ගේ ශාස්තෲයහ, චතුස්සත්යය අවබෝධ කලහ. භාග්යවත්හයි, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරයිද, ගෘහපතිය, මේ ශ්රද්ධා සම්පත්තියයයි කියනු ලැබේ.
“ගෘහපතිය, ශීල සම්පත්තිය කවරේද? “ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම, ප්රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්රමණ බ්රාහ්මණයන්ට ආක්රොශ පරිභව නොකරයිද, ගෘහපතිය, මේ සීල සම්පත්තියයි කියනු ලැබේ.