4. 2. 1. 7.
[සුප්පවාසාසුත්තං]
7. “එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සජ්ජනෙල නම් කොලියයන්ගේ නියම්ගම යම් තැනෙක්හිද, ඒ කොලිය ජනපදයෙහි වාසය කරණ සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන සුප්පවාස නම් කොලිය දුවගේ වාසස්ථානය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක.
“ඉක්බිති සුප්පවාසා නම් කොලිය දුව ප්රණීත කෑයුතු දෙයින්, බුදිය යුතු දෙයින්, සිය අතින් සන්තර්පණය කළාය. පැවරුවාය. ඉක්බිති සුප්පවාසා නම් කොලිය දුව, වැළදූ පාත්රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්යවතුන් වහන්සේගේ එකත්පසෙක හිඳගත්තාය. එකත්පසෙක හුන් සුප්පවාසං කොලිය දුවට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“සුප්පවාසාවෙනි, භොජනය දෙන ආර්ය්ය ශ්රාවිකාව ප්රතිග්රාහකයන්ට සතර කරුණක් දෙයි. කවර සතරක්ද යත්?
ආයුෂ දෙයි. වර්ණය දෙයි. සැප දෙයි. බලය දෙයි. ආයුෂ දී දෙවියන් අතර හෝ මනුෂ්යයන් අතර ආයුෂට කොටස් කාරයෙක් වේ. වර්ණය දී දෙවියන් අතරත් මනුෂ්යයන් අතරත් වර්ණයට කොටස් කාරයෙක් වේ. සැපදී දෙවියන් අතරත් මනුෂ්යයන් අතරත් සැපයට කොටස් කාරයෙක් වේ. බලය දී දෙවියන් අතරත් මනුෂ්යයන් අතරත් බලයට කොටස් කාරයෙක් වේ. සුප්පවාසාවෙනි, භෝජනය දෙන ආර්ය්ය ශ්රවකයා ප්රතිග්රාහකයන්ට මේ කරුණු සතර දේය” යි වදාළ සේක.
“පිරිසිදුවූ, ප්රණීතවූ, රසයෙන් යුක්තවූ, මනාව සකස්කල භෝජනය යම් තැනැත්තියක් දෙයිද, චරණ ධර්මවලින් මහත්වයට පැමිණී ඎජුව ගියවුන් කෙරෙහි ඒ දක්ෂිණාව දුන්නේද, පිනෙන් පින සම්බන්ධවෙමින් ලොකවිදූහු විසින් මහත්ඵලකොට වර්ණනා කරණ ලදී.
මෙබඳු දානය සිහි කරමින් යම්කිසි කෙනෙක් සතුටු සිතින් ලෝකයෙහි හැසිරෙත්ද, මුල් සහිත මසුරුමල සංසිඳුවා නින්දා නොවූවාහු ස්වර්ගස්ඵානයට පැමිණෙත්.”
4. 2. 1. 8.
[සුදත්ත අනාථපිණ්ඩික සුත්තං]
[සැවැත් නුවර නිදානයයි]
8. ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“ගෘහපතිය, භෝජනය දෙන ආර්ය්ය ශ්රාවක තෙම ප්රතිග්රාහකයන්ට කරුණු සතරක් දෙයි. කවර සතරක්ද යත්?
ආයුෂ දෙයි, වර්ණය දෙයි, සැප දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ ආයුෂයට කොටස් කාරයෙක් වේ. වර්ණය දී, දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ වර්ණයට කොටස් කාරයෙක් වේ. සැපය දී, දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ සැපයට කොටස් කාරයෙක් වේ. බලය දී, දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ බලයට කොටස් කාරයෙක් වේ. ගෘහපතිය, භෝජනය දෙන ආර්ය්ය ශ්රාවක තෙම ප්රතිග්රාහකයන්ට මේ කරුණු සතර දේය” යි වදාළ සේක.
“යමෙක් කාය, වාක් සංයමවූ අනුන් දුන් දෙයින් යැපෙන්නවුන්ට සුදුසු කාලයෙන් සකස් කොට භොජනය දෙයිද, හෙතෙම කරුණු සතරක් දෙයි. ආයුෂද, වර්ණයද, සැපයද, බලයද යන සතරයි.
ආයුෂ දෙන, වර්ණ දෙන, සැප දෙන, බල දෙන මනුෂ්ය තෙම යම් යම් තැනක උපදීද දීඝායුෂ, යශස් ඇත්තේ වේ.”
4. 2. 1. 9.
[භොජනදායකසුත්තං]
9. “මහණෙනි, භෝජනය දෙන ආර්ය්ය ශ්රාවක තෙම ප්රතිග්රාහකයන්ට කරුණු සතරක් දෙයි. කවර සතරක්ද යත්?
ආයුෂ දෙයි, වර්ණය දෙයි, සැප දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්යමයවූ හෝ මනුෂ්යමයවූ හෝ ආයුෂයට කොටස් කාරයෙක් වේ. වර්ණය දී, දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ වර්ණයට කොටස් කාරයෙක් වේ. සැපය දී, දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ සැපයට කොටස් කාරයෙක් වේ. බලය දී, දිව්යවූ හෝ මනුෂ්යවූ හෝ බලයට කොටස් කාරයෙක් වේ. මහණෙනි, භෝජනය දෙන ආර්ය්ය ශ්රාවක තෙම ප්රතිග්රාහකයන්ට මේ කරුණු සතර දේය” යි වදාළ සේක.
“යමෙක් කාය, වාක් සංයමවූ අනුන් දුන් දෙයින් යැපෙන්නවුන්ට සුදුසු කාලයෙන් සකස් කොට භොජනය දෙයිද, හෙතෙම කරුණු සතරක් දෙයි. ආයුෂද, වර්ණයද, සැපයද, බලයද යන සතරයි.
ආයුෂ දෙන, වර්ණ දෙන, සැප දෙන, බල දෙන මනුෂ්ය තෙම යම් යම් තැනක උපදීද දීඝායුෂ, සශස් ඇත්තේ වේ.”
4. 2. 1. 10.
[ගිහිසාමීචිපටිපදාසුත්තං]
10. ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාට, භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“ගෘහපතිය, කරුණු සතරකින් යුක්ත ආර්ය්ය ශ්රාවක තෙම යසස් ලබන්නාවූද, ස්වර්ගය පිණිස පවත්තාවූද, ගිහි සාමීචි ප්රතිපදාවට පැමිණියේ වෙයි. කවර සතරකින්ද යත්?
“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම භික්ෂු සංඝයා චීවරයෙන් උපස්ථාන කෙළේද, භික්ෂු සංඝයා පිණ්ඩපාතයෙන් උපස්ථාන කළේ වේද, භික්ෂු සංඝයා සෙනසුනෙන් උපස්ථාන කළේ වේද, භික්ෂු සංඝයා ගිලන්පස බෙහෙත් පිරිකරින් උපස්ථාන කළේ වේද,
ගෘහපතිය, මේ කරුණු සතරින් යුක්ත ආර්ය්ය ශ්රාවක තෙම යසස් ලැබෙන, ස්වර්ගය පිණිස පවත්නා ගිහි සාමීචි ප්රතිපදාවට පිළිපන්නේ වේ.
“යහපත් මාර්ගයෙහි පිළිපන්නාවූ, සීලවන්තයෝ චීවරයෙන්ද, පිණ්ඩපාතයෙන්ද, සෙනස්නෙන්ද, ගිලන්පස බෙහෙත් පිරිකරින්ද, උපස්ථාන කරණ ලද්දාහුද, ඒ පණ්ඩිතයෝ ගිහි සාමීචි ප්රතිපදාවට පිළිපන්නාහුය.
යහපත් කර්මයක් කොට රෑ දවල් සියලු කල්හි පින් වැඩේ. ස්වර්ගයටද පැමිණේ.”
හයවැනි පුඤ්ඤාභිසන්ද වර්ගය නිමි.
තස්සුද්දානං:
පුඤ්ඤාභිසන්ද සූත්ර දෙක ද, සංවාස සූත්ර දෙක ද, සමජීවි සූත්ර දෙක ද, සුප්පවාසා, සුදත්ත, භෝජන සහ ගිහිසාමීචි සූත්ර ද වේ.