4. 2. 1. 2.
[දුතියපුඤ්ඤාභිසන්ද සූත්‍රය]
2. මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. කවර සතරක්ද යත්?
මහණෙනි,මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම, මේ කාරණයෙනුදු ඒ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ අර්‍හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය. සුගතය, ලොකවිදූය. නිරුත්තර පුරුෂදම්මසාරථීය, දෙවි මිනිසුන්ට ශාස්තෲය, බුද්‍ධය, භාග්‍යවත්යයි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්ත වෙයි. මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ පළමුවැනි පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වෙයි.
තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලදී. සන්දෘෂ්ටිකය, අකාලිකය, එව, බලවයි පෙන්වීමට සුදුසුය, තමා වෙත එළවාගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමා කෙරෙහිම ලා දත යුත්තේයයි, ධර්මයෙහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ දෙවෙනි පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වන්නේය.
තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්නය. යම් මේ පුරුෂ යුග සතරක් ඇද්ද, පුරුෂ පුදගලයන් අට දෙනෙක් වෙත්ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා ආහුණෙය්‍යය, පාහුනෙය්‍යය, දක්ඛිණෙය්‍යය, අංජලි කර්මයට සුදුසුය. ලෝකයාගේ නිරුත්තර පින් කෙතයයි, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ තුන්වෙනි පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වන්නේය.
තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නොකැඩුණු, සිදුරු නොවූ, කබර නොගැසුනු, කිලිටිනුවූ, නිදහස්වූ, නුවණැත්තන් විසින් පසස්නා ලද, තෘෂ්ණාදීන් පරාමර්‍ෂණය නොවූ, සිත එකඟ කර ගැනීමට සුදුසු, ආර්‍ය්‍ය කාන්ත ශීලයෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ සතරවන පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වන්නේය.
මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්.
3. තථාගතයන් වහන්සේ කෙරෙහි යමෙකුගේ ශ්‍රද්‍ධාව අචල වූයේද, මනාකොට පිහිටියේද, යමෙකුගේ ශීලයද යහපත්ද, ආර්‍ය්‍යයන්ට ප්‍රියද, පසසන ලද්දේද,
4. යමෙකුට සංඝයා කෙරෙහි ප්‍රසාදය ඇත්තේද, දර්‍ශනය ඎජු වූයේද ඔහු නොදිලින්දෙකැයි කීහු. ඔහුගේ ජීවිතය නොසිස්ය.
5. එසේ හෙයින් ශ්‍රද්‍ධාවෙහිද, ශීලයෙහිද, පැහැදීමෙහිද, ධර්‍මය දැනීමෙහිද, ඤාණවන්තයා බුදුන්ගේ අනුශාසනය සිහිකරමින් යෙදෙන්නේය.
4. 2. 1. 3.
[පඨමසංවාස සූත්‍රය]
3. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරාවටත්, වේරඤ්ජාවටත් අතර දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නේ විය. බොහෝ ගෘහපතීහුද, ගෘහිණියෝද, වෙරඤ්ජාවටත්, මධුරාවටත් අතර දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් නික්ම එක්තරා ගසක් මුල වැඩහුන් සේක. ඒ ගෘහපතීහුද, ගෘහපතිනියෝද, එක්තරා රුකක් මුල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක හුන් ඒ ගෘහපතීන්ටද, ගෘහපතිනියන්ටද, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
ගෘහපතිවරුනි, මේ එක්ව වාසය කිරීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්?
මළකඳක්, මළකඳක් සමග වාසය කරයි, මළකඳක් දෙව්දුවක් සමග වාසය කරයි, දෙවියෙක් මළකඳක් සමග වාසය කරයි. දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයි.