4. 1. 3. 7.
අප්පසුලභ සූත්රය
27. “මහණෙනි, සුලුවූද, සුලභවූද, නිවරදවූද මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“මහණෙනි, සිවුරු අතුරෙන් පාංශුකූල චීවරය සුලුද, සුලභද, නිවැරදිද වේ. මහණෙනි, භොජනයන්ගෙන් පිණ්ඩපාත භොජනය, සුලුද, සුලභද, නිරවද්යද වේ. මහණෙනි, සේනාසන අතුරෙන් වෘක්ෂ මූල සේනාසනය, සුලුද, සුලභද, නිරවද්යද වේ. මහණෙනි, බෙහෙත් අතුරින් ගොමුත්රය, සුලුද, සුලභද, නිවරදද වේ.
මහණෙනි, මේ සතර සුලුද, සුලභද, නිරවද්යද වෙත්.
“මහණෙනි, යම් කලක පටන් භික්ෂුව සුලු දෙයින් සතුටුවූයේ වේද, සුලභ දෙයින් සතුටුවූයේ වේද, මේ ඔහුගේ එක්තරා ශ්රමණ භාවයට සුදුසු අංගයකැයි කියනු ලැබේ.
“සුලුද, සුලභවූද සෙනසුන්, සිවුරු, පියයුතු පානය, බුදියයුතු අහර යන නිර්දෝශ දෙයින් සතුටු භික්ෂුවගේ සිතට බාධාවක්, (දුකක්) නොවේ. දිශාවන්හි නොගැටේ. අප්රමාද සතුටු සිත් ඇති භික්ෂුවට පැවිදිකමට අනුලෝමවූ යම් ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද, ඔව්හු ලබන ලද්දාහ.”
4. 1. 3. 8.
(මහා) අරියවංශ සූත්රය
28. “මහණෙනි, මේ ආර්ය්යවංස සතර අග්රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශය (පරපුර) යයි දත යුත්තාහ. අථත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත්නොහරින්නාහ. ශ්රමණයන් විසිනුදු, බ්රහ්මණයන් විසිනුදු, නුවණැත්තන් විසිනුදු ගර්හා නොකරණ ලද්දාහ. කවර සතර දෙනෙක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සිවුරක් ගැන සතුටුවීමෙහි ගුණ කියන්නේ වේද, සිවුරක් නිසා නුසුදුසු සෙවීමකට නොපැමිණෙයි. සිවුරු නොලැබීම හේතුකොටගෙන නොතැවෙයි. සිවුරු ලැබද, එහි නොඇලුණේ, මුසපත් නොවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් නික්මීමේ නුවණින් යුක්තව පරිභොග කරයිද, ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද, ලද දෙයින් සතුටුවීමෙහි දක්ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්රයයි දත යුතු පැරණි ආර්ය්ය වංශයෙහි සිටියේය.
“මහණෙනි, නැවතද භික්ෂු තෙමේ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද, පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද පිණ්ඩපාතය නොලැබීම නිසා නොතැවෙයිද. පිණ්ඩපාතය ලැබද, එහි නොඇලුණේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් යුක්තව වළඳයිද, ඒ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද, හෙතෙමේ ලද දෙයින් සතුටුවීමෙහි දක්ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්රයයි දත යුතු පැරණි ආර්ය්ය වංශයෙහි සිටියේය.
“මහණෙනි, නැවතද භික්ෂු තෙමේ ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද, සෙනසුන් හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද සෙනසුනක් නොලැබීම නිසා නොතැවෙයිද. සෙනසුන ලැබද, ලෝභ නුවූයේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් පරිභොග කරයිද, ඒ ලැබුණු යම්කිසි සේනාසනයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයි, ලද දෙයින් සතුටුවීමෙහි දක්ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්රයයි දත යුතු පැරණි ආර්ය්ය වංශයෙහි සිටියේය.
“මහණෙනි, නැවතද භික්ෂුතෙම භාවනාවෙහි කැමැත්ත ඇත්තේ වේද, භාවනාවෙහි ඇලුනේ වේද, කෙලෙස් ප්රහාණයෙහි කැමැත්ත ඇත්තේද, කෙලෙස් ප්රහාණයෙහි ඇලුනේ වේද, ඒ භාවනාවෙහි කැමැත්තෙන්, භාවනාවෙහි ඇල්මෙන්, කෙලෙස් පහ කිරීමෙහි කැමැත්තෙන්, කෙලෙස් පහ කිරීමෙහි ඇල්මෙන්, තමා උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. හෙතෙමේ එහි දක්ෂ වූයේ නොමැළි වූයේ. මනාව දන්නා නුවණින්ද, සිහියෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්රයයි දතයුතු පුරාණ ආර්ය්ය වංශයෙහි සිටියේය.