4. 1. 3. 5.
බ්රහ්මචරියවාස සූත්රය
[සැවැත් නුවර නිදානයි]
25. “මහණෙනි, මම ජනයා විස්මය පත් කරවනු පිණිස, ජනයාගෙන් ප්රශංසා ලබන පිණිස, ලාභ, සත්කාර, කීර්ති, අනුසස් පිණිස බ්රහ්මචර්ය්යයෙහි නොහැසිරෙමි. වාදයන්ගෙන් ජය ගැනීම පිණිස මා මෙසේ ජන තෙම දනීවායි මේ බ්රහ්මචර්ය්යාවෙහි වසන්නේ නොවේ. හුදෙක් මහණෙනි, සංවරය පිණිස, ප්රහාණය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස බ්රහ්මචර්ය්යයෙහි වසන්නේය.
“ඒ භාග්යවතුන් වහන්සේ සංවරය පිණිසද, ප්රහාණය පිණිසද, නිර්වාණයට පැමිණීම පිණිස මේ බ්රහ්මචර්ය්යය දේශනා කළ සේක.
මහත්වයට ගිය මහර්ෂීන් විසින් අනුගමනය කළ මේ මාර්ගය බුදුන් දේශනා කළ පරිදි යම් කිසිවෙක් එහි පිළිපදිත්ද, ශාස්තෲන් වහන්සේ අනුශාසනය කරන්නාවූ ඔවුහු දුක් කෙළවර කරන්නාහුය.”
4. 1. 3. 6.
ධම්ම විරූහන සූත්රය
26. “මහණෙනි, යම් ඒ මහණ තෙම කුහකද, ක්රෝධයෙන් හා මානයෙන් තදද, ලාභ සත්කාර ගරුකොට කියාද, සිංහ (අඟ) නම් ප්රකට කෙලෙස් ඇද්ද, නැග සිටි මාන ඇත්තාහුද, එකඟ නොවූ සිත් ඇත්තාහුද, මහණෙනි, ඒ භික්ෂූහු මා විසින් මමත්වය නොකරණ ලදහ. මහණෙනි, ඒ භික්ෂූහු මේ ධර්ම විනයෙන් පහවූහ. ඔවුහු මේ ධර්ම විනයෙහි, වෘද්ධියට, වැඩීමට, විපුලත්වයට නොපැමිණෙත්.
“මහණෙනි, යම් ඒ භික්ෂුකෙනෙක් කුහක නොවෙත්ද, ලාභය පිණිස ගරු නම්බු දී කථා නොකරද්ද, ධෛර්ය්යවත්ද, තද නොවූවාහුද, සංසුන් සිත් ඇත්තාහුද, මහණෙනි, ඒ භික්ෂූහු මා විසින් මමත්වය කරණ ලදහ. මේ ධර්ම විනයෙන් පහ නොවූවාහුද වෙත්. ඔවුහු මේ ධර්ම විනයෙහි වෘද්ධියට, වැඩීමට, විපුලත්වයට පැමිණෙත්.
“කුහකවූ, තදවූ, අනුන් පහත්කොට කථා කරන්නාවූ, මාන නමැති අං ඇති, ඔසවන ලද මාන නල ඇති, අසංයමවූ ඔවුහු සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මයෙහි නොවැඩෙත්.
කුහක නොවූ, ලාභ බලාපොරොත්තුවෙන් කථා නොකරණ, ධෛර්ය්යවත්වූ, තද නොවූ, එකඟ සිත් ඇති ඔවුහු සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශිතවූ ධර්මයෙහි වැඩෙත්.”
4. 1. 3. 7.
අප්පසුලභ සූත්රය
27. “මහණෙනි, සුලුවූද, සුලභවූද, නිවරදවූද මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“මහණෙනි, සිවුරු අතුරෙන් පාංශුකූල චීවරය සුලුද, සුලභද, නිවැරදිද වේ. මහණෙනි, භොජනයන්ගෙන් පිණ්ඩපාත භොජනය, සුලුද, සුලභද, නිරවද්යද වේ. මහණෙනි, සේනාසන අතුරෙන් වෘක්ෂ මූල සේනාසනය, සුලුද, සුලභද, නිරවද්යද වේ. මහණෙනි, බෙහෙත් අතුරින් ගොමුත්රය, සුලුද, සුලභද, නිවරදද වේ.
මහණෙනි, මේ සතර සුලුද, සුලභද, නිරවද්යද වෙත්.
“මහණෙනි, යම් කලක පටන් භික්ෂුව සුලු දෙයින් සතුටුවූයේ වේද, සුලභ දෙයින් සතුටුවූයේ වේද, මේ ඔහුගේ එක්තරා ශ්රමණ භාවයට සුදුසු අංගයකැයි කියනු ලැබේ.
“සුලුද, සුලභවූද සෙනසුන්, සිවුරු, පියයුතු පානය, බුදියයුතු අහර යන නිර්දෝශ දෙයින් සතුටු භික්ෂුවගේ සිතට බාධාවක්, (දුකක්) නොවේ. දිශාවන්හි නොගැටේ. අප්රමාද සතුටු සිත් ඇති භික්ෂුවට පැවිදිකමට අනුලෝමවූ යම් ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද, ඔව්හු ලබන ලද්දාහ.”