4. 1. 3. 3.
3. ලොකවිජානන සූත්රය
[සැවැත් නිදානය]
23. “මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝකය (දුකඛ සත්යය) මනාව අවබෝධ කරණ ලදී. තථාගතයන් වහන්සේ ලෝකයෙන් වෙන්වූහ. මහණෙනි, ලෝකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලෝකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් ප්රහීණ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්රතිවේධ කරණ ලදී. ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්රත්යක්ෂ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධගාමිනී ප්රතිපදාව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලොක නිරෝධගාමිනී ප්රතිපදාව තථාගතයන් වහන්සේ විසින් වඩන ලදී.
“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත ප්රජාවෙහි දෙවියන් සහිත ලෝකයාගේ යම් රූපායතනයක් වේද, ශබ්දායතනයක් වේද, ගන්ධ රස පොට්ඨබ්බායතනයක් වේද, සැප දුක් ආදී ධර්මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණි, යමක් වේද, සොයන ලද්දක් වේද, සිතින් හැසිරෙන ලද්දක් වේද, ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. එසේ හෙයින් තථාගතයයි කියනු ලැබේ.
“මහණෙනි, යම් රාත්රියක තථාගත තෙම අවබෝධ කරයිද, යම් රාත්රියක පිරිනිවෙයිද, මේ අතරෙහි යමක් වදාරයිද, කථාකරයිද, දක්වයිද, ඒ සියල්ල එසේම වේ. අනික් විධියකින් නොවේ. එසේ හෙයින් තථාගතයයි කියනු ලැබේ.
“මහණෙනි, තථාගත තෙම යම්සේ කියන්නේද, එසේම කරන්නේ වෙයි. යම්සේ කරන්නේද, එසේම කියන්නේ වෙයි. මෙසේ යම්සේ කියන්නේද, එසේ කරන්නේද, යම්සේ කරන්නේද, එසේ කියන්නේද. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.
“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත ප්රජාවෙහි දෙවි මිනිසුන් සහිත ලෝකයන් තථාගත තෙම සියල්ලන් මැඩ පවත්වන්නේය. කවරකු විසිනුත් මැඩ පැවැත්විය නොහැක. ඒකාන්තයෙන් දක්නේය. වශඟයෙහි පවත්වන්නේය. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.
53. “සියලු ලෝකය දැන, ත්රිවිධ ලෝකය යම්සේද, එසේ අවිපරීතකොට දැන, සියලු ලෝකයෙහි නොඇලුනේ, සියලු ලෝකයෙහි තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තොරවූයේ,
54. “සියලු ගැට මුදන්නාවූ, සියල්ල මැඩ පවත්වන්නාවූ, ප්රඥාවත්වූ, උන්වහන්සේ කිසිවකින් බිය නැති, පරම ශාන්ත නිවන ස්පර්ශ කෙළේ වේ.
55. “ආශ්රවයන් ක්ෂය කළාවූ, දුක් නැත්තාවූ, සිඳිනලද සැක ඇත්තාවූ, සියලු කර්මයන් ක්ෂය කළාවූ, බුදුරජ තෙම, නිවන අරමුණුකොට ඇත්තාවූ ඵල විමුක්තියෙන් මිදුනේ වෙයි.
56. “ඒ භාග්යවත් තෙම බුද්ධය. උන්වහන්සේ අනුත්තරවූ සිංහ නම්. දෙවියන් සහිත ලෝකයාට ශ්රේෂ්ඨ ධර්ම චක්රය පැවැත්වූයේය.”
57. “එහෙයින් යම් දෙවියෝද, මනුෂ්යයෝද, බුදුන් සරණ ගියාහුද, ඔවුහු එක්ව පහවූ දැවීම් ඇති උන්වහන්සේ නමස්කාර කරත්.
58. “දැමුණේය. දමනය කරන්නවුන්ට ශ්රේෂ්ඨය. සංසිඳුනේය. සංසිඳෙන්නවුන්ට ඎෂිය. මිදුනේය. මිදෙන්නවුන්ට අග්රය. එතෙර විය. එතෙර වන්නවුන්ට උතුමි.”
59. “දෙවියන් සහිත ලෝකයෙහි නුඹ වහන්සේට සමාන පුද්ගලයෙක් නැතැයි මෙසේ මහත්වූ වීතසාරදයන් වහන්සේ වඳිත්.”
4. 1. 3. 4.
4. කාලකාරාම සූත්රය
24. “එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ සාකේත නුවර කාලකාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු, “පිනවතුන් වහන්සැ” යි භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත, දිව්ය මනුෂ්යයන් සහිත ප්රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, ඒ සියල්ල මම මනාව අවබෝධ කෙළෙමි.
“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත, දිව්ය මනුෂ්යයන් සහිත ප්රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය තථාගතයන් විසින් ප්රකටව දැන ගන්නා ලදී. තථාගත තෙමේ ඊට (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඑළඹෙයි.
“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත, දිව්ය මනුෂ්යයන් සහිත ප්රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියි කියන්නෙම් නම් එය මගේ මුසාවක් වන්නේය.