4. 1. 2. 6.
[චතුකොඛුම්ම සූත්‍රය]
16. “මහණෙනි, මේ සියුම් ස්වභාවයන් දැනගන්නා නුවණ සතරෙකි. කවර සතර දෙනෙක්ද යත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපයෙහි උතුම්වූ සියුම් ලක්‍ෂණ දැනගන්නා නුවණින් යුක්ත වේද, ඒ සියුම් රූප ලක්‍ෂණ දැනගන්නාවූ නුවණට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් ඒ සියුම්වූ රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් නොපතයි.
සියුම්වූ වේදනා ලක්‍ෂණ දැනගන්නාවූ නුවණින් යුක්ත වේද, සියුම් වේදනා දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ අනික් සියුම් වේදනා ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් නොදකියි. සියුම් වේදනා ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් වේදනා ලක්‍ෂණ ඇත්තාවූ ඥානයක් නොපතයි.
සියුම්වූ සංඥා ලක්‍ෂණ දැනගන්නා ඥානයෙන් යුක්ත වේද, ඒ සියුම් සංඥා ලක්‍ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණීතවූද, අනික් සංඥා ලක්‍ෂණ දැනගන්නා ඥානයක් නොදකියි. ඒ සියුම් සංඥා ලක්‍ෂණ දැන ගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණීතවූද, අනික් සංඥා ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් නොපතයි.
සියුම්වූ සංස්කාර ලක්‍ෂණ දැනගන්නාවූ උතුම් ඥානයෙන් යුක්තවූයේ වෙයි. ඒ සියුම් සංස්කාර ලක්‍ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණීතවූද, සංස්කාර ලක්‍ෂණ දැනගන්නා අනික් ඥානයක් නොදකියි. ඒ සියුම් සංස්කාර ලක්‍ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණිතවූද අනික් සියුම් සංස්කාර ලක්‍ෂණ දැනගන්නා ඥානයක් නොපතයි.
මහණෙනි, මේ සතර සියුම් බවෝය.
39. “රූපස්කන්‍ධයාගේ සියුම් භාවය දැන, වේදනාවන්ගේ ප්‍රභවය දැන, යම් හෙයකින් සංඥාව උපදීද, එයද දැන, යම් තැනකදී නිරුද්‍ධවේද, එයද දැන,
40. සංස්කාරයන් අනිත්‍ය භාවයෙන් තමාගෙන් අන්‍යවූවක් වශයෙන්ද, දුක් වශයෙන්ද, අනාත්ම වශයෙන්ද දැන, ශාන්ති පදයෙහි ඇළුනු ශාන්තවූ, මනාව දක්නාවූ ඒ මහණ සෙනාවාහන සහිත මාරයා නසා අන්තිම ශරීරය දරයි.”
4. 1. 2. 7.
[පළමුවෙනි අගතිගමන සූත්‍රය]
17. “මහණෙනි, මේ අගතියට යාම් සතරකි. කවර සතර දෙනෙක්ද යත්,
“ඡන්‍දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මෝහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි.
මහණෙනි, මේ සතර අගතියට යෑම් සතරය.
41. “ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යමෙක් ධර්‍මය ඉක්මවයිද, ඔහුගේ යසස කථවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් පිරිහෙයි..”
4. 1. 2. 8.
[දෙවෙනි අගතිගමන සූත්‍රය]
18. “මහණෙනි, මේ අගතියට නොයෑම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
“ඡන්‍දයෙන් අගතියට නොයයිද. ද්වේෂයෙන් අගතියට නොයයිද. මෝහයෙන් අගතියට නොයයිද. භයෙන් අගතියට නොයයිද.
මහණෙනි, මේ සතර අගතියට නොයෑම් සතරය.
42. “ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යමෙක් ධර්‍මය නොයික්මවයිද, ඔහුගේ යසස පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා සේ පිරෙයි.”
4. 1. 2. 9.
[තුන්වෙනි අගතිගමන සූත්‍රය]
19. “මහණෙනි, මේ අගතියට යාම් සතරකි. කවර සතර දෙනෙක්ද යත්,
“ඡන්‍දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මෝහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි.
මහණෙනි, මේ සතර අගතියට යෑම් සතරය.
“මහණෙනි, මේ අගතියට නොයෑම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
“ඡන්‍දයෙන් අගතියට නොයයිද. ද්වේෂයෙන් අගතියට නොයයිද. මෝහයෙන් අගතියට නොයයිද. භයෙන් අගතියට නොයයිද.
මහණෙනි, මේ සතර අගතියට නොයෑම් සතරය.
43. “ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යමෙක් ධර්‍මය ඉක්මවයිද, ඔහුගේ යසස කථවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් පිරිහෙයි..”
44. “ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යමෙක් ධර්‍මය නොයික්මවයිද, ඔහුගේ යසස පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා සේ පිරෙයි.”
4. 1. 2. 10.
[භත්තුද්දේසක සූත්‍රය]
20. “මහණෙනි, මේ ධර්‍ම සතරකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ප්‍රත්‍ය බෙදන්නා ගෙන එන ලද්දක් හෙලන්නේ යම්සේද, එසේ නරකයේ උපදී. කවර සතරකින්ද යත්?
“ඡන්‍දයෙන් අගතියට යයිද, ද්වේෂයෙන් අගතියට යයිද, මෝහයෙන් අගතියට යයිද, භයෙන් අගතියට යයිද,
මහණෙනි, මේ ධර්‍ම සතරින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම් සේද, එසේ නරකයෙහි උපදී.