3. 1. 5. 6. ශීලවන්ත සෙවන සූත්‍රය
46. “මහණෙනි, සිල්වත්වූ පෘතග්ජනයෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරුකොට වාසය කරන්නාහු වෙත්ද, එහි මනුෂ්‍යයෝ කරුණු තුනකින් බොහෝ පින් රැස්කරත්. කවර තුනකින්ද යත්. කයින්, වචනයෙන්, සිතින් යන තුනෙනි. මහණෙනි, සිල්වත් පෘතග්ජනයෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරුකොට වාසය කරන්නාහු වෙත්ද, එහි මනුෂ්‍යයෝ මේ කරුණු තුනකින් බොහෝ පින් රැස් කරත්.”
3. 1. 5. 7. සංඛත ලක්‍ෂණ සූත්‍රය
47. “මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්කළ ධර්‍මයාගේ ප්‍රත්‍යයෙන් සකස්කළ ලක්‍ෂණයෝ තුන් දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් පෙනේද, මහණෙනි, මේ තුන සංඛතයාගේ ලක්‍ෂණ තුන වෙත්.”
3. 1. 5. 8. අසඞ්ඛතලක්ඛණ සූත්‍රය
48. “මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්නොකළ අසංඛතයාගේ නොහොත් නිර්‍වාණයාගේ මේ ලක්‍ෂණ තුනක් වෙත්. කවර තුනක්ද යත්, ඉපදීම නොපෙනේද, විනාශය නොපෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් නොපෙනේද, මහණෙනි, මේ තුන අසංඛත සංඛ්‍යාත නිර්‍වාණයාගේ ප්‍රත්‍යයෙන් සකස් නොකළ ලක්‍ෂණයෝයි.”
3. 1. 5. 9. පබ්බතරාජ සූත්‍රය
49. “මහණෙනි, හිමාල පර්‍වතය නිසා මහා වෘක්‍ෂයෝ වැඩීම් තුනකින් වැඩෙත්. අතු කොළවලින් වැඩෙත්. සිවියෙන් හා පොත්තෙන් වැඩෙත්. ඵලයෙන් හා හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමාල පර්‍වතයා නිසා මහා වෘක්‍ෂයෝ මේ වැඩීම් තුනින් වැඩෙත්.”
“මහණෙනි, එපරිද්දෙන්ම, සැදැහැවත්වූ කුල ප්‍රධානියෙකු නිසා ඔහුගේ අභ්‍යන්තර ජන තෙමේ වැඩීම් තුනකින් වැඩෙයි. ශ්‍රද්‍ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ප්‍රඥාවෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැවත් කුල පුත්‍රයෙකු නිසා ඔහුගේ අතවැසි පිරිස ශ්‍රද්‍ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ප්‍රඥාවෙන් වැඩෙයි.”
“ගමින් ඈත්වූ මහා වනයෙහි ශෛලමය පර්‍වතයක් වේද, එය ආශ්‍රයකොට ඒ මහා වෘක්‍ෂයෝ යම්සේ වැඩෙත්ද,”
“එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ශීලයෙන් යුක්තවූ ශ්‍රද්‍ධාවත්වූ කුලපුත්‍රයා ආශ්‍රයකොට අඹුදරුවෝද, බන්ධුවරයෝද, හිතවන්තයෝද, ඤාති සමූහයාද, යමෙක් තුමූ ඔහු අනුව ජීවත් වන්නාහුද, ඔවුහු වැඩෙත්.”
“යම් කෙනෙක් නුවණැත්තෝ වෙත්ද, ඔවුහු සිල්වත්වූ ඔහුගේ ශීලයද, ත්‍යාගයද, සුචරිතයන්ද බලමින් ඒ අනුව පිළිපදිත්.”
“මේ ලෝකයෙහි සුගතිගාමී මාර්‍ගයෙහි පිළිපැද කම්සැප කැමති වෙමින් සතුටුවන්නෝ දෙලොව සතුටුවෙත්.”
3. 1. 5. 10. ආතප්පකරණීය සූත්‍රය
50. “මහණෙනි, කරුණු තුනකින් වීර්‍ය්‍ය කටයුතුවේ. කවර තුනකින්ද යත්. නූපන්නාවූ ලාමක අකුශල ධර්‍මයන්ගේ නොඉපදවීම පිණිස වීර්‍ය්‍ය කටයුතුයි. නූපන්නාවූ කුශල ධර්‍මයන්ගේ ඉපදවීම පිණිස වීර්‍ය්‍ය කටයුතුයි. උපන්නාවූ ශාරීරිකවූ, දුක්වූ, තියුණුවූ, කෲරවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ප්‍රාණය නැති කරන්නාවූ, වේදනාවන් ඉවසීම පිණිස වීර්‍ය්‍ය කටයුතුයි. මහණෙනි, මේ කරුණු තුනෙහි වීර්‍ය්‍ය කටයුතුයි.”
“මහණෙනි, මහණතෙම යම් කලක පටන් නූපන්නාවූ ලාමක අකුශල ධර්‍මයන්ගේ නොඉපදවීම පිණිස වීර්‍ය්‍ය කෙරේද, නූපන්නාවූ කුශල ධර්‍මයන්ගේ ඉපදවීම පිණිස වීර්‍ය්‍ය කෙර්ද, උපන්නාවූ ශාරීරිකවූ, දුක්වූ, තියුණුවූ, කෲරවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ප්‍රාණය නැති කරන්නාවූ, වේදනාවන් ඉවසීම පිණිස වීර්‍ය්‍ය කෙරේද, මහණෙනි, මේ මනාකොට දුක් කෙළවර කිරීම පිණිස කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, නුවණ ඇත්තාවූ, සිහියෙන් යුක්තවූ භික්‍ෂුවයයි කියනු ලැබේ.”
3. 1. 5. 11. මහාචොර සූත්‍රය
51. “මහණෙනි, අඞ්ග තුනකින් යුක්තවූ මහා සොරතෙම ගෙවල් බිඳීමද කරයි. උමං කැපීමද කරයි. එක ගෙයක් වටකර කරණලද පැහැරගැන්මද කරයි. මංපැහැරීමද කරයි. කවර තුනකින්ද යත්. මහණෙනි, මේ ලෙව්හි මහා සොරතෙම විෂම ස්ථානයන් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි. වන ලැහැබක් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි. බලවතුන් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි.”
“මහණෙනි, මහා සොරතෙම කෙසේනම් විෂමවූ තැන් ඇසුරුකොට වාසය කරන්නේද, මහණෙනි, මෙහි මහා සොරතෙම නදී දුර්‍ගමස්ථාන හෝ ඇසුරුකොට වාසය කරයි. විෂමවූ පර්‍වතයන් හෝ ඇසුරුකොට වාසය කරයි. මහණෙනි, මහා සොරතෙම මෙසේ විෂම ස්ථාන ඇසුරුකොට වාසය කරන්නේ වෙයි.”