3. 1. 5. 1. තිණ්ණං සම්මුඛිභාව සූත්‍රය
41. “මහණෙනි, කරුණු තුනක් සම්මුඛවීමෙන් ශ්‍රද්‍ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. කවර තුනක්ද යත්. මහණෙනි, ශ්‍රද්‍ධාව සම්මුඛවීමෙන් ශ්‍රද්‍ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. මහණෙනි, දියයුතු දාන වස්තුවක් සම්මුඛවීමෙන් ශ්‍රද්‍ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. මහණෙනි, දියයුතු පුද්ගලයන් සම්මුඛවීමෙන් ශ්‍රද්‍ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි.”
3. 1. 5. 2. සඞ්ලක්ඛණ සූත්‍රය
42. “මහණෙනි, කරුණු තුනකින් සැදැහැවත් පැහැදුන පුද්ගලයා දතයුතුයි. කවර තුනකින්ද යත්, සිල්වතුන් දකිණු කැමැති වේද, සද්‍ධර්‍මය අසනු කැමතිවේද, පහවූ මසුරු මළ ඇති සිතින් යුක්තවූයේ, දීමට මුදනලද අත් ඇත්තේ, දන් දීමෙන් පිරිසිදු කරණ ලද අත් ඇත්තේ, දානයෙහි ඇලුනේ, බෙදාදීමෙහි ඇලුනේ, ගිහිගෙයි වාසය කරයිද, මහණෙනි, මේ කරුණු තුනින් සැදැහැවත්, පැහැදුන පුද්ගලයා දතයුතුයි.”
“සිල්වතුන් දකිනු කැමතිවේද, සද්‍ධර්‍මය අසනු කැමතිවේද, මසුරු මළ පහකොට සිටියාවූ හෙතෙම ඒකාන්තයෙන් සැදැහැවත්යයි කියනු ලැබේ.”
3. 1. 5. 3. අලංධම්මදේශනා සූත්‍රය
43. “මහණෙනි, මේ කරුණු තුනක් දක්නහු විසින් අනුන්ට ධර්‍ම දේශනා කරන්ට යුතුමය. කවර තුනක්ද යත්. “යමෙක් තෙම ධර්‍මය දේශනා කරයිද, හෙතෙම අර්ත්‍ථය දන්නේ වේද, ධර්‍මය දන්නේ වේද, යමෙක් තෙම ධර්‍මය අසාද, හෙතෙම අර්ත්‍ථය දන්නේ වේද, ධර්‍මය දන්නේ වේද, යමෙකුන් දහම් දෙසාද, යමෙකුන් දහම් අසාද, දෙදෙනම අර්ත්‍ථය දන්නේ වේද, ධර්‍මය දන්නේ වේද, මහණෙනි, මේ කරුණු තුන දක්නහු විසින් අනුන්ට ධර්‍මය දෙසීමට සුදුසුමය.”
3. 1. 5. 4. කථා පවත්තිඨාන සූත්‍රය
44. “මහණෙනි, කරුණු තුනකින් කථා තොමෝ නිවන් කරා පමුණුවන්නී වේ. කවර තුනකින්ද යත්. “යමෙක් තෙම ධර්‍මය දේශනා කරයිද, හෙතෙම අර්ත්‍ථය දන්නේ වේද, ධර්‍මය දන්නේ වේද, යමෙක් තෙම ධර්‍මය අසාද, හෙතෙම අර්ත්‍ථය දන්නේ වේද, ධර්‍මය දන්නේ වේද, යමෙකුන් දහම් දෙසාද, යමෙකුන් දහම් අසාද, දෙදෙනම අර්ත්‍ථය දන්නේ වේද, ධර්‍මය දන්නේ වේද, මහණෙනි, මේ කරුණු තුන දක්නහු විසින් අනුන්ට ධර්‍මය දෙසීමට සුදුසුමය.”
3. 1. 5. 5. පණ්ඩිත පඤ්ඤත්ත සූත්‍රය
45. පණ්ඩිතයන් විසින් ප්‍රශංසා කරණ ලද්දාවූ, සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරණ ලද්දාවූ, මේ ධර්‍ම තුනක් වෙත්. කවර තුනක්ද යත්. “මහණෙනි, දානය පණ්ඩිතයන් විසින් සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරණ ලද්දේය. මහණෙනි, ප්‍රව්‍රජ්‍යාව පණ්ඩිතයන් විසින් සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරණ ලද්දේය. මහණෙනි, මව් පිය උපස්ථානය පණ්ඩිතයන් විසින් සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරණ ලද්දේය. මහණෙනි, මේ කරුණු තුන පණ්ඩිතයන් විසින් සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරණ ලද්දේය.”
“දානයද, අහිංසාවද, ශීල සංවරයද, ඉන්‍ද්‍රිය දමනයද, මවුපියන්ට උපස්ථාන කිරීමද, සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහුය.”
“ශාන්තවූ, උතුම් හැසිරීම් ඇත්තාවූ, සත්පුරුෂයන් හෝ මේ ධර්මයන් පණ්ඩිත තෙම සේවනය කරන්නේය. ආර්‍ය්‍යවූ දැකීමෙන් යුක්තවූ හෙතෙම දෙව්ලොව භජනය කරන්නේය.”
3. 1. 5. 6. ශීලවන්ත සෙවන සූත්‍රය
46. “මහණෙනි, සිල්වත්වූ පෘතග්ජනයෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරුකොට වාසය කරන්නාහු වෙත්ද, එහි මනුෂ්‍යයෝ කරුණු තුනකින් බොහෝ පින් රැස්කරත්. කවර තුනකින්ද යත්. කයින්, වචනයෙන්, සිතින් යන තුනෙනි. මහණෙනි, සිල්වත් පෘතග්ජනයෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරුකොට වාසය කරන්නාහු වෙත්ද, එහි මනුෂ්‍යයෝ මේ කරුණු තුනකින් බොහෝ පින් රැස් කරත්.”
3. 1. 5. 7. සංඛත ලක්‍ෂණ සූත්‍රය
47. “මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්කළ ධර්‍මයාගේ ප්‍රත්‍යයෙන් සකස්කළ ලක්‍ෂණයෝ තුන් දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් පෙනේද, මහණෙනි, මේ තුන සංඛතයාගේ ලක්‍ෂණ තුන වෙත්.”
3. 1. 5. 8. අසඞ්ඛතලක්ඛණ සූත්‍රය
48. “මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්නොකළ අසංඛතයාගේ නොහොත් නිර්‍වාණයාගේ මේ ලක්‍ෂණ තුනක් වෙත්. කවර තුනක්ද යත්, ඉපදීම නොපෙනේද, විනාශය නොපෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් නොපෙනේද, මහණෙනි, මේ තුන අසංඛත සංඛ්‍යාත නිර්‍වාණයාගේ ප්‍රත්‍යයෙන් සකස් නොකළ ලක්‍ෂණයෝයි.”