2. 3. 11. 10.
10. “මහණෙනි, මේ ආපත්තීහු (වරද) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ලහුක (සැහැල්ලු) ආපත්තියද, ගරුක (මහත්වූ) ආපත්තියද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ආපත්තීහු දෙදෙන වෙත්.”
2. 3. 11. 11.
11. “මහණෙනි, මේ ආපත්තීහු (වරද) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පාරාජිකාදී ආපත්තියද (පචිති ආදී) අදුට්ඨුල්ල ආපත්තියද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ආපත්තීහු දෙදෙන වෙත්.”
2. 3. 11. 12.
12. “මහණෙනි, මේ ආපත්තීහු (වරද) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සාවසෙස (සංඝාදිසෙස) ආපත්තියද, අනවසේස (පාරාජිකා) ආපත්තියද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ආපත්තී දෙදෙන වෙත්.”
පළමුවෙනි ආසා වර්‍ගය නිමි.
(12) 2. ආයාචන වර්‍ගය
[සැවැත් නිදානයි]
2. 3. 12. 1.
13. “මහණෙනි, මනාව ප්‍රාර්ත්‍ථනා කරන්නාවූ සැදැහැවත් භික්‍ෂුවක් වේ නම්, හෙතෙම මෙසේ ප්‍රාර්ත්‍ථනා කරයි. ‘ශාරීපුත්‍ර, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේලා යම්බඳු වෙත් නම් එබඳු වෙමියි (කියායි.) මහණෙනි, යම් මේ ශාරීපුත්‍ර, මොග්ගල්ලාන ස්ථවිර දෙනමක් වෙද්ද, මාගේ ශ්‍රාවක භික්‍ෂූන්ට මේ (දෙනම) තුලාව (තරාදිය) යි. මේ (දෙනම) ප්‍රමාණය (මැනීම) යි.”
2. 3. 12. 2.
14. “මහණෙනි, මනාව ප්‍රාර්ත්‍ථනා කරන්නාවූ සැදැහැවත් මෙහෙණක් වේ නම්, ඕතොමෝ මෙසේ ප්‍රාර්ත්‍ථනා කරයි. ‘ඛෙමා, උප්පලවණ්ණා ස්ථවිරීන් වහන්සේලා යම්බඳු වෙත්ද, මමද එබඳු වෙමි’ යි (කියායි.) මහණෙනි, යම් මේ ඛෙමා, උප්පලවණ්ණා යන භික්‍ෂුණීන් දෙනමක් වෙද්ද, මාගේ ශ්‍රාවිකාවූ භික්‍ෂූණීන්ට මේ (දෙනම) තුලාවයි. මේ (දෙනම) ප්‍රමාණයයි.”
2. 3. 12. 3.
15. “මහණෙනි, මනාව ප්‍රාර්ත්‍ථනා කරන්නාවූ සැදැහැවත් උපාසක කෙනෙක් වේ නම්, හෙතෙම මෙසේ ප්‍රාර්ත්‍ථනා කරයි. ‘චිත්තගහපති, හත්‍ථකආලවක දෙදෙනා යම් සේද, මමත් එසේ වෙමි’ යි (කියායි.) මහණෙනි, යම් මේ චිත්තගහපති, හත්‍ථකආලවක යන දෙදෙනෙක් වෙද්ද, මාගේ ශ්‍රාවකවූ උපාසකයන්ට මේ (දෙදෙන) තුලාවයි. මේ (දෙදෙන) ප්‍රමාණයි.”
2. 3. 12. 4.
16. “මහණෙනි, මනාව ප්‍රාර්ත්‍ථනා කරන්නාවූ සැදැහැවත් උපාසිකාවක් වේ නම්, ඕතොමෝ මෙසේ ප්‍රාර්ත්‍ථනා කරයි. ‘ඛුජ්ජුත්තරා, වෙළුකණ්ටකී (නම් නුවර වැසි) නන්‍දමාතා යන උපාසිකාවන් යම් සේද, මමත් එසේම වෙමි’ යි (කියායි.) මහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරා, වෙළුකණ්ටකී නන්‍දමාතා යන දෙදෙනෙක් වෙද්ද, මාගේ ශ්‍රාවිකාවූ උපාසිකාවන්ට මේ (දෙදෙන) තුලාවයි. මේ (දෙදෙන) ප්‍රමාණයි.”
2. 3. 12. 5.
17. “මහණෙනි, කරුණු දෙකකින් යුක්තවූ, අව්‍යක්තවූ, අසත්පුරුෂවූ, අඥානතෙම, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති ආත්මයක් රක්‍ෂා කෙරෙයි. ප්‍රාඥයන් විසින් වරද පැමිණවිය යුත්තෙක්, උපවාද කටයුත්තෙක්ද වේ. බොහෝ අකුසල්ද රැස්කරයි. කවර කරුණු දෙකකින්ද යත්, “නොමදැන, නොම පිවිස, (විනිශ්චයෙන් තීරණයට නොපැමිණ) අගුණ කියයුත්තාගේ ගුණ කීමද, නොම දැන, නොම පිවිස, ගුණ කියයුත්තාගේ අගුණ කීමද, (යන කරුණු) දෙකයි. “මහණෙනි, මේ කරුණු දෙකින් යුත්, අව්‍යක්තවූ, අසත්පුරුෂවූ, බාල තෙම, උදුරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, ආත්මයක් පෝෂණය කෙරෙයි. ප්‍රාඥයන්ට සදොස් කෙනෙක්ද වේ. උපවාද සහිත වූවෙක්ද වේ. (හෙතෙම) බොහෝ අකුසල්ද රැස්කෙරෙයි.”
2. 3. 12. 6.
18. “මහණෙනි, දෙකරුණකින් යුක්තවූ, ව්‍යක්තවූ, සත්පුරුෂවූ ප්‍රාඥතෙම, නොම සාරාදමන ලද ගුණ ඇති, නොම නසන ලද ගුණ ඇති, ආත්මයක් රක්‍ෂා කරයි. නුවණැතියන්ට උපවාද රහිතවූයේ, නිරවද්‍යවූයේද වේ. බොහෝ කුසල්ද රැස්කරයි. කවර දෙකරුණකින්ද යත්, “දැන විනිශ්චයෙන් තීරණයට බැස, අගුණ කීමට සුදුසුසාගේ අගුණ කීමද, එසේ දැන තීරණයට එළඹ, ගුණ කීමට සුදුස්සාගේ ගුණ කීමද (යන දෙකෙනි.) “මහණෙනි, මේ කරුණු දෙකින් යුක්තවූ, ව්‍යක්තවූ, සත්පුරුෂ වූ ප්‍රාඥතෙම, නොම සාරා දමනලද ගුණ ඇති නොම නසනලද ගුණ ඇති, ආත්මයක් පෝෂණය කෙරෙයි. ප්‍රාඥයන්ට උපවාද රහිත වූයේ, නිරවද්‍යවූයේද වේ. (හෙතෙම) බොහෝ කුසල්ද රැස් කෙරේ.”