10. 5. 1. 2.
දුතියනිරය සූත්‍රය
මහණෙනි, ධර්ම දශයකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන්නාසේ මෙසේ නරකයෙහි වේ. කවර දශයකින්ද යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් රෞද්‍ර වූයේ, ලේ වැකුණු අත් ඇත්තේ, නැසීමෙහි හා පහරදීමෙහි යෙදුණේ, සියලු සතුන් කෙරෙහි දයාවක් නැත්තේ, සතුන් මරන්නේ වෙයි. නුදුන් දෙය ගන්නේ වෙයි -පෙ- කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි -පෙ- බොරු කියන්නේ වෙයි -පෙ- කේළාම් කියන්නේ වෙයි -පෙ- පරුෂ වචන කියන්නේ වෙයි -පෙ- හිස් වචන (සම්ඵප්‍රලාප) කියන්නේ වෙයි -පෙ- අනුන්ගේ දෙයට දැඩි ලෝභ ඇත්තේ (අභිධ්‍යාලු) වෙයි -පෙ- ද්වේෂයෙන් දූෂිත සිත් ඇත්තේ වෙයි -පෙ- ‘දුන් දෙයෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත, හෝමයෙහි විපාක නැත, හොඳින් කළ හා නරකින් කළ කර්මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්ත්වයෝ නැත, මෙලොව ද පරලොව ද තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට ප්‍රකාශ කරන, යහපත් මගට පැමිණි, යහපත් ලෙස පිළිපන් මහණ බමුණෝ ලෝකයෙහි නැතැ’යි වැරදි දැකීම් ඇති මිථ්‍යාදෘෂ්ටිකයෙක් වෙයි.
මහණෙනි, මේ කරුණු දහයෙන් යුක්ත වූ තැනැත්තා ගෙනැවිත් බහා තැබුවාක් මෙන් නිරයෙහි උපදියි.
මහණෙනි, කරුණු දහයකින් යුක්ත වූ තැනැත්තා ගෙනැවිත් බහා තැබුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි. කවර දහයකින් ද යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් සතුන් මැරීම අත්හැර සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. දඬු බහා තැබුයේ, අවි බහා තැබුයේ, පවට ලැජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරයි. නුදුන් දෙය ගැනීම අත්හැර නුදුන් දෙය ගැනීමෙන් වැළකුණේ වෙයි -පෙ- කාමයන්හි වරදවා හැසිරීම අත්හැර කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි -පෙ- බොරු කීම අත්හැර බොරු කීමෙන් වැළකුණේ වෙයි -පෙ- කේළාම් කීම අත්හැර කේළාම් කීමෙන් වැළකුණේ වෙයි -පෙ- පරුෂ වචන අත්හැර පරුෂ වචනයෙන් වැළකුණේ වෙයි -පෙ- හිස් වචන (සම්ඵප්‍රලාප) අත්හැර හිස් වචනයෙන් වැළකුණේ වෙයි -පෙ- අනුන්ගේ දෙයට දැඩි ලෝභ නැත්තේ (අනභිධ්‍යාලු) වෙයි -පෙ- ද්වේෂයෙන් නොදූෂිත සිත් ඇත්තේ වෙයි -පෙ- ‘දුන් දෙයෙහි විපාක ඇත, යාගයෙහි විපාක ඇත, හෝමයෙහි විපාක ඇත, හොඳින් කළ හා නරකින් කළ කර්මයන්ගේ ඵල විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්ත්වයෝ ඇත, මෙලොව ද පරලොව ද තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට ප්‍රකාශ කරන, යහපත් මගට පැමිණි, යහපත් ලෙස පිළිපන් මහණ බමුණෝ ලෝකයෙහි ඇතැ’යි නොවරදින දැකීම් ඇති සම්‍යග්දෘෂ්ටිකයෙක් වෙයි.
මහණෙනි, මේ ධර්ම දශයෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ ස්වර්ගයෙහි උපදී.”
10. 5. 1. 3.
මාතුගාම සූත්‍රය
මහණෙනි, ධර්ම දශයකින් යුක්ත ස්ත්‍රිය ගෙන එන ලද්දක් බහා තබන්නාසේ මෙසේ නිරයෙහි උපදී. කවර දශයකින්ද යත්:
සතුන් මරන්නේ වේ. සොරකම් කරන්නේ වේ. කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේ. බොරු කියන්නේ වේ. කේළාම් කියන්නේ වේ. ඵරුෂ වචන ඇත්තේ වේ. හිස් වචන දොඩන්නේ වේ. දැඩි ලෝබකම ඇත්තේ වේ. ක්‍රෝධ සිත් ඇත්තේ වේ. වැරදි දැකීම් ඇත්තේ වේ.
මහණෙනි, ධර්ම දශයකින් යුක්ත ස්ත්‍රිය ගෙන එන ලද්දක් බහා තබන්නාසේ මෙසේ නිරයෙහි උපදී.