10. 2. 3. 2.
2. කණ්ටක සූත්‍රය
72. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ ස්ථවිර ශ්‍රාවකයන්වූ, ආයුෂ්මත් චාල, උපචාල, කක්කට, කවිම්භ, කට, කටිස්සඞ්ග යන තෙරුන් හා අන්‍යවූත් ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ ස්ථවිර ශ්‍රාවකයන් සමග වාසය කරන සේක.
එකල්හි ඉතා ප්‍රසිද්‍ධ බොහෝ ලිච්ඡවීහුද, උස්හඬ මහහඬ ඇත්තාහු භද්‍ර භද්‍ර යානාවන්ගෙන්, පෙර - පසුව යන මහ සෙනඟ සමග නික්ම භාග්‍යවතුන් වහන්සේ දක්නට මහා වනයට ඇතුළු වෙති. එකල්හි ඒ ආයුෂ්මත්වරුන්ට මෙසේ සිත් විය: මේ ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ බොහෝ ලිච්ඡවීහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහ සෙනඟ සමග උස් හඬින්, මහා හඬින්, භාග්‍යවතුන් වහන්සේ දක්නට මහා වනයට වදිත්. භාග්‍යවතුන් වහන්සේ විසින්, ‘ධ්‍යානයන්ට ශබ්දය කටුවකැ’යි වදාරන ලදී. අපි ගොසිඞ්ගසාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි එළඹෙමු නම් යෙහෙක. එහි අපි අල්පශබ්ද ඇත්තාහු, අල්පගැවසීම් ඇත්තාහු, සුවසේ වසමෝ නම් යෙහෙකැ’යි කියායි. ඉක්බිති ඒ ආයුෂ්මත්වරු ගොසිඞ්ගසාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. එහි සිටි ඒ ආයුෂ්මත්වරු අල්පශබ්ද වූවාහු අල්පගැවසීම් වූවාහු සුවසේ වසත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, චාල කොහිද? උපචාල කොහිද? කක්කට කොහිද? කවිම්භ කොහිද? කට කොහිද? කටිස්සඞ්ග කොහිද? මහණෙනි, ඒ ස්ථවිර වූ ශ්‍රාවකයෝ කොහි ගියාහුදැ?'යි.
ස්වාමීනි, මෙහිලා ඒ ආයුෂ්මතුන්ට මෙසේ සිත් විය: "මේ ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ බොහෝ ලිච්ඡවීහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහසෙන් සමඟ උස් හඬින්, මහා හඬින්, භාග්‍යවතුන් වහන්සේ දක්නට මහා වනයට වදිත්. භාග්‍යවතුන් වහන්සේ විසින්, ‘ධ්‍යානයන්ට ශබ්දය කටුවකැ’යි වදාරන ලදී. ‘අපි ගොසිඞ්ගසාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි එළඹෙමු නම් යෙහෙක. එහි අපි අල්පශබ්ද ඇත්තාහු, අල්පගැවසීම් ඇත්තාහු, සුවසේ වසමෝ නම් යෙහෙකැ’යි කියායි. ස්වාමීනි, ඉක්බිති ඒ ආයුෂ්මත්වරු ගොසිඞ්ගසාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි එළැඹියහ. එහි සිටි ඒ ආයුෂ්මත්වරු අල්පශබ්ද ඇත්තාහු, අල්පගැවසීම් ඇත්තාහු, සුවසේ වාසය කරත්”යි.
මහණෙනි, යහපත, යහපත. යම් පරිදි ඒ මහා ශ්‍රාවකයෝ මනාවට පවසන්නාහු කියත් නම් එසේ මවිසින් "ධ්‍යානයෝ ශබ්ද නමැති කටු ඇත්තාහ"යි කියන ලදී.
මහණෙනි, කටු දහයක් වෙත්. කවර දසයක්ද යත්: උසස් විවේකයෙහි ඇලුනහුට සමූහය මැද ඇලෙන බව කටුවකි. අශුභ නිමිති භාවනාවේ යෙදුනහුට ශුභ නිමිත්තෙහි යෙදීම කටුවකි. ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොර ඇත්තහුට විසුළු දැකීම කටුවකි. බ්‍රහ්මචාරී පුද්ගලයාට ස්ත්‍රීන් පිරිවැරීම කටුවකි. ප්‍රථම ධ්‍යානයට ශබ්දය කටුවකි. දෙවෙනි ධ්‍යානයට විතර්‍කය හා විචාරය (සිත යෙදීම, හැසිරවීම) කටුවකි. තුන්වෙනි ධ්‍යානයට ප්‍රීතිය කටුවකි. සතරවෙනි ධ්‍යානයට ආශ්වාශ ප්‍රශ්වාසයෝ කටුය. හැඟීම් හා විඳීම් නැතිකිරීමේ සමවතට (සංඥාවේදයිත නිරෝධසමාපත්තියට) සංඥාවද, වේදනාවද කටුය. රාගය කටුවකි. ද්වේෂය කටුවකි. මෝහය කටුවකි. “මහණෙනි, කටු නැත්තෝව වාසය කරව්. මහණෙනි, නොකටුව වාසය කරව්. කටු නැත්තෝවද, නොකටුවද වාසය කරව්. මහණෙනි, රහත්හු කටු නැත්තෝය. මහණෙනි, රහත්හු නොකටු වූවෝය. මහණෙනි, රහත්හු කටු නැති නොකටු වූවෝය.”
10. 2. 2. 3.
3. දුල්ලභ දස ධම්ම සූත්‍රය
[සාවත්ථි]
73. “මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්‍ම දහයක් වෙත්.
“කවර දහයක්ද යත්, භෝගයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. වර්‍ණය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. නීරෝගීකම යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ශීලය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. බ්‍රහ්මචර්‍ය්‍යය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. මිත්‍රයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. බහුශ්‍රුත භාවය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ප්‍රඥාව යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ධර්‍මයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ස්වර්‍ගයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය.
මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්‍ම දහයක් වෙත්.