10. 2. 2. 9.
9. දසකථාවත්‍ථු සූත්‍රය
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කාහු, උපස්ථාන ශාලාවෙහි හුන්නාහු, රැස්වූවාහු, නන්වැදෑරුම් තිරිසන් කථාවෙන් යෙදී වාසය කරත්. ඒ කෙසේද, රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බියවීම පිළිබඳ කථා, යුද්ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පානය පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, නිදීම පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, ගඳ සුවඳ පිළිබඳ කථා, ඤාතීන් පිළිබඳ කථා, යානා පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම් ගම් පිළිබඳ කථා, නුවර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, සූරකම් පිළිබඳ කථා, මාර්‍ග පිළිබඳ කථා, වතුර ගෙන යන තැන් පිළිබඳ කථා, පූර්‍ව ප්‍රෙතයන් පිළිබඳ කථා, නොයෙක් ආකාර ඇති කථා, ලෝකයේ අග මුල ගැන කථා, සමුද්‍රය ගැන කථා, භවයෙන් භවය පිළිබඳ කථා, යන මෙසේයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගී සිටි සේක්, උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිට, “මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුද, තොප විසින් කවර කථාවක් කොට නතර කරණ ලද්දීදැ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
“ස්වාමීනි, මෙහි අපි පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණ, උපස්ථාන ශාලාවෙහි එක්ව හිඳ, රැස්ව, නොයෙක් ආකාර තිරිසන් කථාවල යෙදී වාසය කරමු. ඒ කවරේ ද යත්: රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා -පෙ- මෙසේ වැඩීම මෙසේ පිරිහීම පිළිබඳ කථා යන මේ ය.” “මහණෙනි, ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරිය වූ පැවිද්දට පැමිණි කුලපුත්‍රයන් වූ තොපට, තෙපි යම් නොයෙක් ආකාර තිරිසන් කථාවල යෙදී වාසය කරව් නම්, එය සුදුසු නොවේ ම ය. ඒ කවරේ ද යත්: රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බිය පිළිබඳ කථා, යුද්ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පාන පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, යහන් පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, සුවඳ පිළිබඳ කථා, ඥාතීන් පිළිබඳ කථා, යාන පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම්ගම් පිළිබඳ කථා, නගර පිළිබඳ කථා, ජනපද පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, ශූරයන් පිළිබඳ කථා, වීදි පිළිබඳ කථා, දිය තොටු පිළිබඳ කථා, මියගිය ඥාතීන් (පූර්වප්‍රේත) පිළිබඳ කථා, නොයෙක් දේ පිළිබඳ (නානත්ත) කථා, ලෝකය මැවීම ආදිය පිළිබඳ (ලෝකාඛ්‍යායික) කථා, සමුද්‍රය පිළිබඳ (සමුද්‍රාඛ්‍යායික) කථා, මෙසේ වැඩීම මෙසේ පිරිහීම පිළිබඳ (ඉතිභවාභව) කථා යන මේ ය.
“මහණෙනි, මේ කථා වස්තු දසයක් වෙත්. කවර දසයක්ද යත්, ආශා අඩු කථාය, ලද දෙයින් සතුටුවන කථාය, විවේක පිළිබඳ කථාය, නොඇලීම පිළිබඳ කථාය, වීර්‍ය්‍යය පටන් ගැනීම පිළිබඳ කථාය, ශීලය පිළිබඳ කථාය, සිත එකඟ කිරීම පිළිබඳ කථාය, ප්‍රඥාව පිළිබඳ කථාය, කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ කථාය, ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ පිළිබඳ කථාය. මහණෙනි, මේ දස කථා වස්තූහු වෙත්.
මහණෙනි, තෙපි මේ දස කථා වස්තු ගනිමින්ම කථා කියව්. මෙසේ මහත් ඍද්‍ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්‍ද්‍ර සූර්‍ය්‍යයන්ගේ තම තෙදින් ඒ තෙද යට කරව්. අන්‍ය තීර්ත්‍ථක ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන කියනුම කවරේද?”
10. 2. 2. 10.
10. පාසංසඨාන සූත්‍රය
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කාහු උපස්ථාන ශාලාවෙහි රැස්ව හුන්නාහු නානාප්‍රකාර තිරශ්චීන කථා ඇත්තාහු විහරති. එනම්: රාජ කථා, චොර කථා, මහාමාත්‍ය කථා -පෙ- භවාභව කථා යන මෙසේයි.
1. “මහණෙනි, ප්‍රශංසා කටයුතු මේ ස්ථාන දශයක් වෙති. කවර දශයක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම තමාද අල්පෙච්ඡ වෙයි. භික්‍ෂූන්ටද අල්පෙච්ඡ කථාව කරන්නේ වෙයි. අල්පෙච්ඡ භික්‍ෂුව භික්‍ෂූන්ට අල්පෙච්ඡ කථාවද කරන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
2. “තමාද ලද දෙයින් සතුටු වේ. භික්‍ෂූන්ට සතුට පිළිබඳ කථා කරන්නේ වේ. සතුටු භික්‍ෂුව සතුට පිළිබඳ කථා කරන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.