10. 2. 1. 6.
පඨම දසසඤ්ඤා සූත්රය
[සාවත්ථි නුවර]
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.
කවර දසයක්ද යත්? අශුභ හැඟීම, මරණ හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, අනිත්ය සංඥාව, අනිත්යයෙහි දුක් යන සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව, ප්රහාන සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන සංඥාව, මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.
10. 2. 1. 7.
දුතිය දසසඤ්ඤා සූත්රය
[සාවත්ථි නුවර]
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවණට බැස ගත්තාහු වෙත්. නිවණ අවසන්කොට ඇත්තාහු වෙත්.
කවර දසයක්ද යත්? අනිත්ය හැඟීම, අනාත්ම හැඟීම, මරණ හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, ඇට යන සංඥාව, පණුවන්ය යන සංඥාව, නිල්වූ යන සංඥාව, සිදුරුවූ යන සංඥාව, ඉදිමුණු යන සංඥාව.
මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.
10. 2. 1. 8.
සබ්බ ධම්ම කිම්මුල සූත්රය
[සාවත්ථි නුවර]
“මහණෙනි, ඉදින් අන්ය තීර්ත්ථක පරිබ්රාජකයෝ, ‘ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් කොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමකින් හටගත්තාහුද, කුමකින් පහළවූවාහුද, කුමක රැස්වෙත්ද, කුමක් ප්රධානකොට ඇත්තාහුද, කුමක් අධිපතිකොට ඇත්තාහුද, කුමක් අධිකකොට ඇත්තාහුද, කුමක් හරයකොට ඇත්තාහුද, කුමකට බැසගත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අවසන්කොට ඇත්තාහුදැ’ යි මෙසේ විචාරන්නාහුය. “මහණෙනි, මෙසේ විචාරණ ලද තොපි ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ට කුමක් නම් ප්රකාශ කරන්නාහුදැ” යි විචාළ සේක.
“ස්වාමීනි, අපේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ අධිපතිකොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කියමනේ තේරුම භාග්යවතුන් වහන්සේටම වැටහේ නම් යහපත. භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය” යි කීවාහුය.
“මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මේ සූත්රය වදාළ සේක”