10. 1. 5. 9.
9. සරීරට්ඨදසධම්ම සූත්රය
[සාවත්ථියෙහි]
49. “මහණෙනි, ශරීරයෙහි වූ මේ කරුණු දසයක් වෙත්. කවර දසයක්ද යත්: සීතය, උෂ්ණය, බඩසාය, පිපාසය, මළ, මූත්ර පහකිරීම, කාය සංවරය, වාක් සංවරය, ජීවිකාව සංවරව කිරීම, නැවත භවය ඇතිකරණ භවගාමී පින් පව්ය. මහණෙනි, මේ කරුණු දසය ශරීරයෙහි පිහිටියාහුය.”
10. 1. 5. 10.
10. සාමග්ගිකරණ ධම්ම සූත්රය
50. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවණ ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පසු බත පිණ්ඩපාතයෙන් වැළැක්කේ, උපස්ථාන ශාලාවෙහි හුන්නාහු, රැස්වූවාහු, හටගත් ඩබර ඇත්තාහු, කොලාහල ඇත්තාහු, විවාදයට බැස ගත්තාහු, ඔවුනොවුන් මුඛ නමැති උල්වලින් විදිමින් වාසය කරත්.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි ඵල සමවතින් නැගිටි සේක්, උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. භාග්යවතුන් වහන්සේ වැඩ සිට, භික්ෂූන්ට ආමන්ත්රණය කළ සේක. “මහණෙනි, මෙහි දැන් කවර කථාවකින් යුක්තව හුන්නාහුද? තොප විසින් කවර කථාවක් කියා නතර කළේද?”
“ස්වාමීනි, අපි මෙහි පසු බත පිණඩපාතයෙන් ආපසු ආවාහු, උපස්ථාන ශාලාවෙහි වැඩ සිටි රැස්වූ හටගත් ඩබර ඇති, හටගත් කලහ ඇති, පැමිණි විවාද ඇති, ඔවුනොවුන් මුඛ නමැති උල්වලින් විදිමින් වාසය කරමු.”
“මහණෙනි, ශ්රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, අනගාරිය ශාසනයෙහි මහණවූ යම්බඳුවූ තොපි, හටගත් ඩබර ඇත්තාහුද, හටගත් කළහ ඇත්තාහුද, පැමිණි විවාද ඇත්තාහු, ඔවුනොවුන් මුඛ නමැති උල්වලින් විදිමින් වාසය කරන්නාහු නම් තොපට මෙය නුසුදුසුය”
“මහණෙනි, ප්රිය භාවය කරණ, ගරු භාවය කරණ, සිහි කටයුතු මේ කරුණු දසයක් රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, හුදකලා බව පිණිස පවතිත්. කවර දසයක්ද යත්:
1. මහණෙනි, මේ ශාසනයේ මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන් හා අරමුණෙන් යුක්තවූයේ, ස්වල්ප මාත්ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්ෂා පදයන් සමාදන්ව රකියිද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන් හා අරමුණෙන් යුක්තවූයේ, ස්වල්ප මාත්ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්ෂා පදයන් සමාදන්ව රකියිද, ප්රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.