10. 1. 5. 2.
2. පඨම විවාදමූල සූත්‍රය
[සාවත්ථිනිදානං]
42. “ස්වාමීනි, විවාදයට මුල් කොපමණද?”
“උපාලිය, විවාදයට මුල් දසයකි. කවර දසයක්ද යත්, උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය ධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද, උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. උපාලිය මේ විවාද මූලයෝ දසය වෙත්.”
10. 1. 5. 3.
3. දුතිය විවාදමූල සූත්‍රය
[සාවත්ථිනිදානං]
43. “ස්වාමීනි, විවාදයට මුල් කොපමණද?”
“උපාලිය, විවාදයට මුල් දසයකි. කවර දසයක්ද යත්? උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම ඇවැත් නොවූ දේ ඇවැත්යයි ප්‍රකාශ කරත්ද, ඇවත ඇවැත් නොවේයයි ප්‍රකාශ කරත්ද, සැහැල්ලු ඇවත, බර ඇවතැයි ප්‍රකාශ කෙරෙත්ද, බර ඇවත, සැහැල්ලු ඇවැතැයි ප්‍රකාශ කරත්ද, නපුර ඇසුරු කළ ඇවැත, නපුර ඇසුරු නොකළ ඇවැතයයි ප්‍රකාශ කෙරෙත්ද, නපුර ඇසුරු නොකළ ඇවත, නපුර ඇසුරු කළ ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, වැඩියක් ඇති ඇවත වැඩියක් නැති ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, වැඩියක් නැති ඇවත වැඩියක් ඇති ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, ප්‍රතිකර්ම සහිත ඇවත ප්‍රතිකර්ම රහිත ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, ප්‍රතිකර්ම රහිත ඇවත ප්‍රතිකර්ම සහිත ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, උපාලිය, මේ දහය විවාදයට මුල්ය.”
10. 1. 5. 4.
4. චොදකධම්ම සූත්‍රය
44. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර බලිහරණ වන ලැහැබෙහි වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, “පින්වතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“මහණෙනි, අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්‍ෂුව විසින් ධර්ම පසක් තමා තුළ නුවණින් සිහි කොට, ධර්ම පසක් තමා තුළ පිහිටුවා අනුන්හට චෝදනා කටයුතුයි. කවර ධර්ම පසක් තමා තුළ නුවණින් සිහි කටයුතුද?
“මහණෙනි, චොදනා කරණ භික්‍ෂුව විසින් අනුන්ට චොදනා කරණු කැමැත්තේ මෙසේ සිතිය යුතයි. පිරිසිදු කායික හැසිරීම් ඇත්තෙම්, සිදුරු නැති, නොකැළැල්, පිරිසිදු කායික හැසිරීමෙන් යුක්ත වෙම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නොහොත් නැත්තේදැයි මෙසේ කල්පනා කටයුතුය. මහණතෙම ඉදින් පිරිසිදු කාය සමාචාර නැත්තේද, නොසිදුරු, නොකැළැල්, පිරිසිදු කායික හැසිරීමෙන් යුක්ත නොවූයේ, ‘දැන් ආයුෂ්මත් තෙමේ ඒතාක් කයින් කරණ දෙයෙහි හික්මෙව’ යි කියන්නාහු වෙත්. මෙසේ ඔහුට කියන්නාහු වෙත්.
“මහණෙනි, නැවතද අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්‍ෂුව විසින් මෙසේ සිතිය යුතයි. පිරිසිදු වාක් හැසිරීම් ඇත්තෙම්ද, නොසිදුරු, නොකැළැල්, පිරිසිදු වාක් හැසිරීමෙන් යුක්ත වෙම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නොහොත් නොවේද, මහණෙනි, ඉදින් මහණතෙම පිරිසිදු වාක් හැසිරීම් නැත්තේද, නොසිදුරු, නොකැළැල්, පිරිසිදු වාක් සමාචාරයෙන් යුක්ත නොවූයේද, එසේ නම් දැන් ආයුෂ්මත් තෙමේ වචනයෙහි හික්මෙව’ යි කියන්නාහු වන්නාහ. මෙසේ ඔහුට කියන්නාහු වෙත්.
“මහණෙනි, නැවතද අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්‍ෂුව විසින් මෙසේ නුවණින් සිහි කටයුතුය. සබ්‍රම්සරුන් කෙරෙහි ද්වේෂ නොවූ, මෛත්‍රී සිත එළඹ සිටියේද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නැත්දැයි, මහණෙනි, ඉදින් භික්‍ෂුවට සබ්‍රහ්මචාරීන් කෙරෙහි ද්වේෂ නොවූ මෛත්‍රී සිත එළඹ නොසිටියේ වේද, ඔහුට එසේ නම් ආයුෂ්මත් තෙමේ පළමුකොට සබ්‍රහ්මචාරීන් කෙරෙහි මෛත්‍රී සිත උපදවයි කියන්නාහු වන්නාහ. මෙසේ ඔහුට කියන්නාහු වෙත්.