10. 1. 2. 9.
සංඛිත්ත අරියවාස සූත්රය
[සැවැත් නිදානයි]
“මහණෙනි, යමක ආර්ය්යයෝ විසුවාහුද, වෙසෙත්ද, වසන්නාහුද, මේ ආර්ය්යවාස දසයක් වේ. කවර දසයක් වෙත්ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කරුණු පසකින් දුරුවූයේ වේද, අඞ්ග සයකින් යුක්තවූයේ වේද, එක් ආරක්ෂාවක් ඇත්තේද, විමසීම් සතරක් ඇත්තේද, වෙන වෙන ඇත්තයයි කියාගත් දේ විශේෂයෙන් ප්රහීන කළේද නැත්තේද, බැහැර කරණ ලද සියලු සෙවීම් ඇත්තේද, අවුල් නොවූ කල්පනා ඇත්තේ වේද, සංසිදුණු කාය සංස්කාර ඇත්තේ වේද, කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තේද, කෙලෙසුන්ගෙන් මිදුණු ප්රඥා ඇත්තේ වේද, මහණෙනි, යමක ආර්ය්යයෝ විසුවාහුද, වෙසෙත්ද, වසන්නාහුද, මේ ආර්ය්යවාස දසයක් වේ.
10. 1. 2. 10.
විත්ථත සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කුරු රටෙහි කල්මාෂ්යදම්ය නම් කුරුන්ගේ නියම් ගමක් වේද, එහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්රණය කළ සේක. භික්ෂූහු, ‘ස්වාමීනි’ යි භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ, ‘මහණෙනි, යමෙක්හි ආර්ය්යයෝ විසුවාහුද, වසත්ද, වසන්නාහුද, මේ ආර්ය්ය වාසයෝ දසයෙකැ’යි වදාළ සේක. කවර දසයක් වෙත්ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කරුණු පසකින් දුරුවූයේ වේද, අඞ්ග සයකින් යුක්තවූයේ වේද, එක් ආරක්ෂාවක් ඇත්තේද, විමසීම් සතරක් ඇත්තේද, වෙන වෙන ඇත්තයයි කියාගත් දේ විශේෂයෙන් ප්රහීන කළේද නැත්තේද, බැහැර කරණ ලද සියලු සෙවීම් ඇත්තේද, අවුල් නොවූ කල්පනා ඇත්තේ වේද, සංසිදුණු කාය සංස්කාර ඇත්තේ වේද, කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තේද, කෙලෙසුන්ගෙන් මිදුණු ප්රඥා ඇත්තේ වේද,
“මහණෙනි, කෙසේ මහණ තෙම අඞ්ග පසකින් දුරුවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට කාමයෙහි ආශාව ප්රහීණවූයේ වේ. ව්යාපාදය, නිදිබර ගතිය, සිතේ ඇවිස්සිම, කුකුස, සැකය ප්රහීනවූයේ වේද, මහණෙනි, මෙසේ මහණතෙම අඞ්ග පසකින් යුක්තවූයේ වේ.
“කෙසේ මහණතෙම අඞ්ග සයකින් යුක්තවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක, සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවුයේ, උපෙක්ෂා ඇතිව වාසය කරයි. කනින් ශබ්දයක් අසා සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවුයේ, උපෙක්ෂා ඇතිව වාසය කරයි. නාසයෙන් ගඳ සුවඳක් ආඝ්රාණය කොට සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවුයේ, උපෙක්ෂා ඇතිව වාසය කරයි. දිවින් රසයක් විඳ සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවුයේ, උපෙක්ෂා ඇතිව වාසය කරයි. කයින් ස්පර්ශයක් ලබා සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවුයේ, උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිතින් ධර්මයක් දැන සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවුයේ, උපෙක්ෂා ඇතිව වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම අඞ්ග සයකින් යුක්තවූයේ වේ.
“මහණෙනි, කෙසේ මහණතෙම එකම ආරක්ෂාවක් ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිහියෙන් ආරක්ෂාවූ සිතින් යුක්තව වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම එකම ආරක්ෂාවක් ඇත්තේ වේ.