10. 1. 2. 3.
3. දස සංයෝජන සූත්‍රය
[සැවැත්නුවර දී ය]
“මහණෙනි, මේ සංයෝජන දසයක් වෙත්. කවර දසයක්ද යත්? කාමධාතුව භජනය කරණ සංයෝජන පසකි. රූපාරූප භව භජනය කරණ සංයෝජන පසකි.
“කාමධාතුව භජනය කරණ සංයෝජන කවරහුද? ආත්මදෘෂ්ටිය, සැකය, ශීලව්‍රත දෙකින් අල්වා ගැනීම, කාම ආශාව, ව්‍යාපාදය යන මේ පස කාමධාතුව භජනය කරණ සංයෝජනයෝයි.
“රූපාරූප භවයන් භජනය කරණ සංයෝජනයෝ කවරහුද? රූප ඇල්ම, අරූප ඇල්ම, මාන්නය, නොසන්සුන්කම, නොදැනීම යන පස රූපාරූප භව භජනය කරණ සංයෝජනයෝයි. මහණෙනි, මේ දස සංයෝජනයෝයි.”
10. 1. 2. 4.
4. චෙතොඛීලවිනිබද්‍ධ සූත්‍රය
[සැවැත්නුවර දී ය]
“මහණෙනි, යම් කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ, සිතෙහි උල් පස ප්‍රහීන නොවූවාහුද, සිතෙහි බැමි පස ප්‍රහීන නොවූවාහුද, ඔහුට මේ රාත්‍රියක් හෝ දවාලක් හෝ පැමිණේද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමති විය යුතුය. අභිවෘද්‍ධියක් කැමති නොවිය යුත්තාහ.
සිතෙහි කවර උල් පසක් ප්‍රහීන නොවූවාහු වෙත්ද:
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයිද, විනිශ්චය කරන්ට නොහැකි වේද, නොමිදේද, නොපහදීද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි ද, මෙසේ ඔහුට මේ පළමුවෙනි චෙතොඛීලය ප්‍රහීන නොවූයේ වේ.
“මහණෙනි, නැවත මහණතෙම ධර්‍මයෙහි සැක කරයිද -පෙ- සංඝයා කෙරෙහි සැක කරයිද -පෙ- ශික්‍ෂාපද කෙරෙහි සැක කරයිද -පෙ- සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ, නොසතුටු සිත් ඇත්තේ, නැසුන සිත් ඇත්තේ, උලක් මෙන් වූයේ මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු වූයේ, නැසුන සිත් ඇත්තේ, උලක් මෙන් වූයේ, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරිම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයිද, මෙසේ ඔහුට පස්වෙනි චෙතොඛීලය ප්‍රහීන නොවූයේ වේ. ඔහුට මේ සිතේ උල් පස ප්‍රහීන නොවූයේ වේ.
ඔහුට සිතේ කිනම් බැමි පසක් නොසිඳුනේ වෙත්ද:
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්හි පහ නොවූ ආශා ඇත්තේ වේද, පහනොවූ කැමැත්ත ඇත්තේ වේද, පහනොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහනොවූ පිපාසය ඇත්තේ වේද, පහනොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් කාමයන්හි පහ නොවූ ආශා ඇත්තේ වේද, පහනොවූ කැමැත්ත ඇත්තේ වේද, පහනොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහනොවූ පිපාසා ඇත්තේ වේද, පහනොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නොනැමෙයි ද, මෙසේ ඔහුට මේ පළමුවෙනි සිතේ බැඳීම සිඳුනේ නොවේ.