10. 1. 1. 5.
තුන්වන උපනිස සූත්‍රය
[සැවැත් නුවරදී]
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් ඇමතූහ: “ඇවැත්නි, ශීලයෙන් පිරිහුණු දුස්සීලයාට පසුතැවිලි නොවීම (අවිප්පටිසාරය) හේතුව නැසුණේ වෙයි. පසුතැවිලි නොවීම නැති කල්හි, පසුතැවිලි නොවීමෙන් පිරිහුණු අයට ප්‍රමෝදය හේතුව නැසුණේ වෙයි. ප්‍රමෝදය නැති කල්හි, ප්‍රමෝදයෙන් පිරිහුණු අයට ප්‍රීතිය හේතුව නැසුණේ වෙයි. ප්‍රීතිය නැති කල්හි, ප්‍රීතියෙන් පිරිහුණු අයට සංසිඳීම (ප්‍රශ්‍රබ්ධිය) හේතුව නැසුණේ වෙයි. සංසිඳීම නැති කල්හි, සංසිඳීමෙන් පිරිහුණු අයට සැපය හේතුව නැසුණේ වෙයි. සැපය නැති කල්හි, සැපයෙන් පිරිහුණු අයට සම්‍යක් සමාධිය හේතුව නැසුණේ වෙයි.
සම්‍යක් සමාධිය නැති කල්හි, සම්‍යක් සමාධියෙන් පිරිහුණු අයට යථාභූතඥානදර්‍ශනය (ඇති සැටියෙන් දකින ඥානය) හේතුව නැසුණේ වෙයි. යථාභූතඥානදර්‍ශනය නැති කල්හි, යථාභූතඥානදර්ශනයෙන් පිරිහුණු අයට නිබ්බිදාවිරාගය (කලකිරීම හා නොඇල්ම) හේතුව නැසුණේ වෙයි. නිබ්බිදාවිරාගය නැති කල්හි, නිබ්බිදාවිරාගයෙන් පිරිහුණු අයට විමුක්තිඥානදර්‍ශනය (විමුක්තිය දකින ඥානය) හේතුව නැසුණේ වෙයි.
ඇවැත්නි, අතු කොළ නැසුණු ගසක් වේද, එහි පිට පොත්ත ද සම්පූර්ණ නොවෙයි; ඇතුළු පොත්ත ද, එළය ද, අරටුව ද සම්පූර්ණ නොවෙයි. ඇවැත්නි, එසේම ශීලයෙන් පිරිහුණු දුස්සීලයාට පසුතැවිලි නොවීම හේතුව නැසුණේ වෙයි. පසුතැවිලි නොවීම නැති කල්හි, පසුතැවිලි නොවීමෙන් පිරිහුණු අයට -පෙ- විමුක්තිඥානදර්‍ශනය හේතුව නැසුණේ වෙයි.
ඇවැත්නි, ශීලයෙන් යුක්ත සිල්වතාට පසුතැවිලි නොවීම හේතුව සම්පූර්ණ වූයේ වෙයි. පසුතැවිලි නොවීම ඇති කල්හි, පසුතැවිලි නොවීමෙන් යුක්ත වූ අයට ප්‍රමෝදය හේතුව සම්පූර්ණ වූයේ වෙයි. ප්‍රමෝදය ඇති කල්හි, ප්‍රමෝදයෙන් යුක්ත වූ අයට ප්‍රීතිය හේතුව සම්පූර්ණ වූයේ වෙයි. ප්‍රීතිය ඇති කල්හි, ප්‍රීතියෙන් යුක්ත වූ අයට සංසිඳීම හේතුව සම්පූර්ණ වූයේ වෙයි. සංසිඳීම ඇති කල්හි, සංසිඳීමෙන් යුක්ත වූ අයට සැපය හේතුව සම්පූර්ණ වූයේ වෙයි. සැපය ඇති කල්හි, සැපයෙන් යුක්ත වූ අයට සම්‍යක් සමාධිය හේතුව සම්පූර්ණ වූයේ වෙයි. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධියෙන් යුක්ත වූ අයට යථාභූතඥානදර්‍ශනය හේතුව සම්පූර්ණ වූයේ වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති කල්හි, යථාභූතඥානදර්ශනයෙන් යුක්ත වූ අයට නිබ්බිදාවිරාගය හේතුව සම්පූර්ණ වූයේ වෙයි. නිබ්බිදාවිරාගය ඇති කල්හි, නිබ්බිදාවිරාගයෙන් යුක්ත වූ අයට විමුක්තිඥානදර්‍ශනය හේතුව සම්පූර්ණ වූයේ වෙයි.
ඇවැත්නි, අතු කොළ සම්පූර්ණ වූ ගසක් වේද, එහි පිට පොත්ත ද සම්පූර්ණ වෙයි; ඇතුළු පොත්ත ද, එළය ද, අරටුව ද සම්පූර්ණ වෙයි. ඇවැත්නි, එසේම ශීලයෙන් යුක්ත සිල්වතාට පසුතැවිලි නොවීම හේතුව සම්පූර්ණ වූයේ වෙයි. පසුතැවිලි නොවීම ඇති කල්හි, පසුතැවිලි නොවීමෙන් යුක්ත වූ අයට -පෙ- විමුක්තිඥානදර්‍ශනය හේතුව සම්පූර්ණ වූයේ වෙයි.”