10. 1. 1. 2.
2. චෙතනාකරණීය සූත්රය
සැවැත් නුවර නිදාන කොට ගෙනය
“මහණෙනි, සීලයෙන් යුත් සිල්වතාට, ‘පසුතැවිලි නොවීම මට උපදීවා’ යි සිතෙහි නොකට යුතුය. මහණෙනි, යම් හෙයකින් සීලයෙන් යුත් සිල්වතාට, පසුතැවිලි නොවීම උපදීද. මෙය ස්වභාවයකි. මහණෙනි, පසුතැවිලි නොවූවහුට, ‘මට ප්රමෝදය උපදීවා’ යි සිත්හි නොකට යුතුය. පසුතැවිලි නොවන්නාහට යම් ප්රමෝදයක් උපදීද, මෙය ස්වභාව ධර්මයකි. මහණෙනි, ප්රමෝදයෙන් යුක්ත වූවහුට, ‘ප්රීතිය මට උපදීවා’ යි සිත්හි නොකට යුතුය. මහණෙනි, ප්රමෝද වූවහුට ප්රීතිය ඉපදීම ස්වභාවයකි. මහණෙනි, ප්රීතියෙන් යුත් සිත ඇත්තාහට, ‘මාගේ ශරීරය සංසිඳේවා’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, ප්රීතියෙන් යුත් සිත් ඇත්තාගේ ශරීරය සංසිඳේද, මෙය ස්වභාවයකි. මහණෙනි, සන්සුන් සිත් ඇත්තාහට, ‘සැපක් විඳිමි’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, සන්සුන් කය ඇත්තේ යම් සැපයක් විඳීද, මෙය ස්වභාවයකි. මහණෙනි, සැප ඇත්තාහට, ‘මාගේ සිත එකඟවේවා’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, සැප ඇත්තාගේ සිත එකඟ වේද, මෙය ස්වභාවයකි. “මහණෙනි, එකඟවූ සිත් ඇත්තාහට, ‘තත්වූ පරිද්දෙන් දනිමි, දකිමි’ යි සිත්හි ලා නොකට යුතුයි. මහණෙනි, එකඟවූයේ යමක් තත්වූ පරිද්දෙන් දනීද, දකීද, මෙය ස්වභාවයකි. මහණෙනි, තත්වූ පරිද්දෙන් දන්නාහට, දක්නාහට. ‘බලවත් විදර්ශනාවට පැමිණෙන්නෙමි, මාර්ගයට පැමිණෙන්නෙමි’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, තරුණ විදර්ශනා වෙන් දන්නාහට, දක්නාහට, බලවත් විදර්ශනාවට පැමිණේද, මාර්ගයට පැමිණේද යන මෙය ස්වභාවයකි. මහණෙනි, බලවත් විදර්ශනාවට පැමිණියහුට, මාර්ගයට පැමිණියහුට, ‘අර්හත් ඵලය හා ප්රත්යවෙක්ෂා ඤාණය ප්රත්යක්ෂ කරමි’ යි සිත්හි ලා නොකට යුතුයි. මහණෙනි, බලවත් විදර්ශනාවට පැමිණියේ, මාර්ගයට පැමිණියේ, අර්හත් ඵලය හා ප්රත්යවෙක්ෂා ඤාණය ප්රත්යක්ෂ කරයි යන යමක් ඇද්ද, මෙය ධර්මතාවයකි.
“මහණෙනි, මෙසේ වනාහි බලවත් විදර්ශනාව හා මාර්ගය අර්හත් ඵලය හා ප්රත්යවෙක්ෂා ඤාණ සඳහාය. අර්හත් ඵලය හා ප්රත්යවෙක්ෂා ඤාණය අනුසස්කොට ඇත්තාහ. තරුණ විදර්ශනාව, බලවත් විදර්ශනාව හා මාර්ගය පිණිස වේ. බලවත් චිදර්ශනාව හා මාර්ගය අනුසස්කොට ඇත්තේ වේ. සිත එකඟ කිරිම තරුණ විදර්ශනාව පිණිස වේ. තරුණ විදර්ශනාව අනුසස්කොට ඇත්තේ වේ. සැපය සමාධිය පිණිසය, සමාධිය අනුසස්කොට ඇත්තේය. සංසිඳීම සැපය පිණිසය. සැපය අනුසස්කොට ඇත්තේය. ප්රීතිය සන්සිඳීම පිණිසය, සන්සිඳීම අනුසස්කොට ඇත්තේය. ප්රමෝදය ප්රීතිය පිණිස වේ, ප්රීතිය අනුසස්කොට ඇත්තේ වේ. නොපසුතැවිල්ල ප්රමෝදය පිණිස වේ. ප්රමෝදය අනුසස්කොට ඇත්තේ වේ. නිරවද්ය ශීලයෝ නොපසුතැවිල්ල ප්රයෝජනකොට ඇත්තාහ, නොපසුතැවිල්ල අනුසස්කොට ඇත්තාහ.
මහණෙනි, මෙසේ වනාහි මෙතෙර වැනි ත්රෛභූමික වෘත්තයෙන් පරතෙරට යාමට ධර්මයෝම ධර්මයෙහිම පවතිත්, ධර්මයෝම ධර්මයන් පුරවත්.”
10. 1. 1. 3.
3. දුස්සීල හතුපනිස සූත්රය
සාවත්ථියෙහිදීය
“මහණෙනි, සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්රමෝදය නැසුනේ වේ. ප්රමෝදය නැති කල්හි ප්රමෝදයෙන් වැලැක්කහුට ප්රීතිය නැසුනේ වේ. ප්රීතිය නැති කල්හි ප්රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්යක් සමාධිය නැසුනේ වේ. සම්යක් සමාධිය නැති කල්හි සම්යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්ශනාව නැසුනේ වේ. තරුණ විදර්ශනාව නැති කල්හි තරුණ විදර්ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්ශනාව හා මාර්ගය නැසුනේ වේ. බලවත් විදර්ශනාව හා මාර්ගය නැති කල්හි බලවත් විදර්ශනාවෙන් හා මාර්ගයෙන් වැලැක්කහුට අර්හත් ඵලය හා ප්රත්යවෙක්ෂා ඤාණය නැසුනේ වේ.
“මහණෙනි, අතු කොළ නැති වෘක්ෂයක් යම් සේද, ඒකේ පලතුරුද සම්පූර්ණ නොවෙත්. පොත්තද, ඵලයද, හරයද සම්පූර්ණ නොවේද, මහණෙනි, එසේම සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්රමෝදය නැසුනේ වේ. ප්රමෝදය නැති කල්හි ප්රමෝදයෙන් වැලැක්කහුට ප්රීතිය නැසුනේ වේ. ප්රීතිය නැති කල්හි ප්රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්යක් සමාධිය නැසුනේ වේ. සම්යක් සමාධිය නැති කල්හි සම්යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්ශනාව නැසුනේ වේ. තරුණ විදර්ශනාව නැති කල්හි තරුණ විදර්ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්ශනාව හා මාර්ගය නැසුනේ වේ. බලවත් විදර්ශනාව හා මාර්ගය නැති කල්හි බලවත් විදර්ශනාවෙන් හා මාර්ගයෙන් වැලැක්කහුට අර්හත් ඵලය හා ප්රත්යවෙක්ෂා ඤාණය නැසුනේ වේ.
“මහණෙනි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්රමෝදය හේතුව වේ. ප්රමෝදය ඇති කල්හි ප්රමෝදයෙන් යුක්ත වූවහුට ප්රීතිය හේතුව වේ. ප්රීතිය ඇති කල්හි ප්රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්යක් සමාධිය හේතුව වේ. සම්යක් සමාධිය ඇති කල්හි සම්යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්ශනාව හේතුව වේ. තරුණ විදර්ශනාව ඇතිකල්හි තරුණ විදර්ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්ශනාව හා මාර්ගය හේතුව වේ. බලවත් විදර්ශනාවෙන් හා මාර්ගය ඇති කල්හි බලවත් විදර්ශනාවෙන් හා මාර්ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්රත්යවෙක්ෂා ඤාණය හේතුව වේ.
“මහණෙනි, අතු කොළ ඇති වෘක්ෂයක් යම් සේද, එහි පතුරුද සම්පූර්ණ වීමට යයි. පොතුද සම්පූර්ණ වීමට යයි. ඵලයද සම්පූර්ණ විමට යයි. හරයද සම්පූර්ණ වීමට යයි. මහණෙනි, එසේම සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්රමෝදය හේතුව වේ. ප්රමෝදය ඇති කල්හි ප්රමෝදයෙන් යුක්ත වූවහුට ප්රීතිය හේතුව වේ. ප්රීතිය ඇති කල්හි ප්රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්යක් සමාධිය හේතුව වේ. සම්යක් සමාධිය ඇති කල්හි සම්යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්ශනාව හේතුව වේ. තරුණ විදර්ශනාව ඇතිකල්හි තරුණ විදර්ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්ශනාව හා මාර්ගය හේතුව වේ. බලවත් විදර්ශනාවෙන් හා මාර්ගය ඇති කල්හි බලවත් විදර්ශනාවෙන් හා මාර්ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්රත්යවෙක්ෂා ඤාණය හේතුව වේ.