10. 1. 1. 10.
පාසාදික පරිපූර සූත්‍රය
සැවැත් නුවර දී ය.
“මහණෙනි, මහණතෙම ශ්රද්ධාවත් වේද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද වන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්ණ කටයුතුයි.
මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත් වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්ණවූයේ වේ.
මහණෙනි, භික්ෂුව ශ්රද්ධාවත් ද වෙයි, සිල්වත් ද වෙයි, එහෙත් බහුශ්‍රුත නොවෙයි -පෙ- බහුශ්‍රුත ද වෙයි, එහෙත් ධර්මකථික නොවෙයි - ධර්මකථික ද වෙයි, එහෙත් පිරිස් මැද හැසිරෙන්නෙක් (පරිසාවචර) නොවෙයි - පිරිස් මැද හැසිරෙන්නෙක් ද වෙයි, එහෙත් බිය නැතිව (විසාරදව) පිරිසට දහම් නොදෙසයි - බිය නැතිව පිරිසට දහම් ද දෙසයි, එහෙත් විනයධර නොවෙයි - විනයධර ද වෙයි, එහෙත් නොයෙක් ආකාර වූ පෙර විසූ ජීවිත (පූර්වේනිවාසය) සිහි නොකරයි. එනම්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද -පෙ- මෙසේ ආකාර සහිතව, නම් ගොත් ආදී විස්තර (උද්දේස) සහිතව නොයෙක් ආකාර වූ පූර්වේනිවාසය සිහි කරයි -පෙ- එහෙත් පිරිසිදු වූ, මිනිස් ඇස ඉක්මවූ දිවැසින් -පෙ- කර්මය පරිදි යන සත්වයන් නොදනියි, ආශ්‍රවයන් ක්ෂය වීමෙන් -පෙ- ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය නොකරයි. මෙසේ හෙතෙම ඒ අංගයෙන් අසම්පූර්ණ වූයේ වෙයි.
ඔහු විසින් ඒ කොටස සම්පූර්ණ කටයුතුයි: “කෙසේ නම් මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්ම කථිකද, පිරිස්හි හැසිරෙන්නෙම්ද, විසාරදව පිරිසෙහි ධර්ම දේශනා කරන්නෙම්ද, විනයධරද වී නානාප්‍රකාර පූර්වෙනිවාසය සිහි කරන්නෙම්ද, එනම්: එක ජාතියක්ද, ජාති දෙකක්ද -පෙ- මෙසේ හැඩහුරුකම් සහිත, උදෙසීම් සහිත, නානාප්‍රකාර පූර්වෙනිවාසය සිහි කරන්නෙම්ද, පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවැසින් -පෙ- කර්මානුරූපව පරලොව ගිය සත්ත්වයන් දන්නෙම්ද, ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් -පෙ- ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරන්නෙම් නම් යෙහෙකැ” යි.
“මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්රද්ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්ම කථික වේද, පිරිස්හි හැසිරෙන්නේ වේද, විසාරදවූයේ පිරිසෙහි ධර්ම දේශනා කරයිද, විනයධර වේද, නානාප්‍රකාර පූර්වෙනිවාසය සිහි කරයිද, ඒ මෙසේය. මෙසේ හැඩහුරුකම් සහිත, උදෙසීම් සහිත, නානාප්‍රකාර පූර්වෙනිවාසය සිහි කරයි. පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මවා සිටි දිවැසින් කම්වූ පරිදි ආ සත්ත්වයන් දනී. ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත ඵල සමාධියද, ඵල ප්‍රඥාවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයි. මෙසේ හෙතෙම ඒ කොටසින් සම්පූර්ණවූයේ වේ.
මහණෙනි, මේ දශ ධර්මයෙන් යුක්තවූ මහණතෙම හාත්පසින් පැහැදීම් ඇතිකරන්නේ වේ. සර්වප්රකාරයෙන් සම්පූර්ණවූයේ වේ.”
ආනිශංස වර්ගය නිමි.
එහි උද්දානය:
කිමත්ථිය, චේතනා, සීල, උපනිසා, ආනන්ද (පස්වැන්න), සමාධි, සාරිපුත්ත, සද්ධා, සන්ත, විජ්ජා යයි දසයකි.