1. 8. 4. බොජ්ඣංගඅනුප්පාද සූත්රය
“මහණෙනි, යම් අනුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙණ නූපන් බොජ්ඣංගධර්මයෝ (ඥානයට කරුණුවන ධර්මයෝත්) නූපදිත්ද, උපන්නාවූ බොජ්ඣංගධර්මයෝත් සම්පූර්ණභාවයට නොයෙත් ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් බොජ්ඣංග ධර්මයෝත් නූපදිත්, උපන්නාවූ බොජ්ඣංග ධර්මයෝත් වැඩීමට සම්පූර්ණ බවට නොයෙත්.”
1. 8. 5. බොජ්ඣංගුප්පාද සූත්රය
“මහණෙනි, යම් නුවණින් මෙනෙහිකිරීමක් කරණකොට ගෙණ නූපන් බොජ්ඣංග ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ බොජ්ඣංගධර්මයෝත් වැඩීමෙන් සම්පූර්ණභාවයට යෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ බොජ්ඣංග ධර්මයෝත් උපදිත්. උපන්නාවූ බොජ්ඣංගධර්මයෝත් වැඩීමෙන් සම්පූර්ණවීමට යෙත්.”
1. 8. 6. ඤාතිපරිහානි සූත්රය
“මහණෙනි, නෑයන්ගේ යම් පිරිහීමක් වේද, මේ පිරිහීම සුලුවේ. මහණෙනි, ප්රඥාවගේ යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරින් මේ ප්රඥාවගේ පිරිහීම ලාමකය.
1. 8. 7. ඤාතිවුද්ධි සූත්රය
“මහණෙනි, නෑයන්ගේ යම් වැඩීමක් දියුණුවක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, ප්රඥාවගේ යම් වැඩීමක් වේද, වැඩීම් අතුරෙන් මේ ප්රඥා වැඩීම ශ්රේෂ්ඨවේ. මහණෙනි, එහෙයින් මේ කාරණයෙහි මෙසේ හික්මිය යුතුයි. (කෙසේදයත්) ‘අපි ප්රඥා වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් වනාහි මෙසේ හික්මිය යුතුයි”
1. 8. 8. භොගපරිහානි සූත්රය
“මහණෙනි, යම් සම්පත් පිරිහීමක් වේද, ඒ මේ පිරිහීම සුලුවේ. මහණෙනි, පිරිහීම් අතුරෙන් ප්රඥාවගේ යම් පිරිහීමක් වේද මෙය පිරිහීම් අතුරෙන් ලාමක වන්නේය.”
1. 8. 9. භෝගවුද්ධි සූත්රය
“මහණෙනි, සම්පත්තියෙන් යම් වැඩීමක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, වැඩීම් අතුරෙන් යම් ප්රඥාවැඩීමක්වේද, ඒ මේ වැඩීම අග්රය. මහණෙනි එහෙයින් මෙහිලා තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘ප්රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.”
1. 8. 10. යසොපරිහානි සූත්රය
“මහණෙනි, යසසෙහි (කීර්තියෙහි හා පිරිවරෙහි) යම් පිරිහීමක්වේද, ඒ පිරිහීම සුලුවේ. මහණෙනි, ප්රඥාවෙහි යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරෙන් ඒ ලාමකය.”
1. 8. 11. යසොවුද්ධි සූත්රය
“මහණෙනි, යසසෙහි (කීර්තියෙහි හා පිරිවරෙහි) යම් වැඩීමක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, වැඩීම් අතුරෙන් ප්රඥාවගේ යම් වැඩීමක් වේද මේ අග්රයි. මහණෙනි, එහෙයින් මෙහිදී මෙසේ හික්මිය යුතුයි. ‘ප්රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් වනාහි මෙසේම හික්මිය යුතුය.”
අට වෙනි වර්ගය නිමි.
9. ප්රමාද වර්ගය
[සාවත්ථිනිදානං]
1. 9. 1. පමාද සූත්රය
“මහණෙනි, යම්සේ ප්රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි මහණෙනි, ප්රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී.”
1. 9. 2. අප්පමාද සූත්රය
“මහණෙනි, යම්සේ අප්රමාදය මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී.”
1. 9. 3. කොසජ්ජ සූත්රය
“මහණෙනි, යම්සේ අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතී.”