1. 7. 10. පාපමිත්ත සූත්‍රය
“මහණෙනි, යම් පාපමිත්‍රයන් ඇති බවක් හේතුකොටගෙණ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පාපමිත්‍රයන් ඇත්තාතුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.”
සත් වන වර්ගය නිමි.
8. කල්‍යාණමිත්‍ර වර්ගය
[සාවත්ථිනිදානං]
1. 8. 1. කල්‍යාණමිත්ත සූත්‍රය
“මහණෙනි, යම් කල්‍යාණ මිත්‍රතාවක් (යහපත් මිතුරන් ඇතිබවක්) හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රයන් ඇත්තාහට නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”
1. 8. 2. අකුසලානුයොග සූත්‍රය
“මහණෙනි, යම් අකුශල ධර්මයන්හි යෙදීමක් හා කුශලධර්මයන්හි නොයෙදීමක් නිසා නූපන් අකුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මෙ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීමෙන්ද කුශලධර්මයන්හි නොයෙදීමෙන්ද, නූපන් අකුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.”
1. 8. 3. කුසලානුයොග සූත්‍රය
“මහණෙනි, යම් කුශල ධර්මයන්හි යෙදීමක් හා අකුශලධර්මයන්හි නොයෙදීමක් නිසා නූපන් කුශලධර්මයෝත් උපදිත් ද, උපන් අකුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීමෙන් හා අකුශල ධර්මයන්හි නොයෙදීමෙන් (පෙර) නූපන් කුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.
1. 8. 4. බොජ්ඣංගඅනුප්පාද සූත්‍රය
“මහණෙනි, යම් අනුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙණ නූපන් බොජ්ඣංගධර්මයෝ (ඥානයට කරුණුවන ධර්මයෝත්) නූපදිත්ද, උපන්නාවූ බොජ්ඣංගධර්මයෝත් සම්පූර්ණභාවයට නොයෙත් ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් බොජ්ඣංග ධර්මයෝත් නූපදිත්, උපන්නාවූ බොජ්ඣංග ධර්මයෝත් වැඩීමට සම්පූර්ණ බවට නොයෙත්.”
1. 8. 5. බොජ්ඣංගුප්පාද සූත්‍රය
“මහණෙනි, යම් නුවණින් මෙනෙහිකිරීමක් කරණකොට ගෙණ නූපන් බොජ්ඣංග ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ බොජ්ඣංගධර්මයෝත් වැඩීමෙන් සම්පූර්ණභාවයට යෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ බොජ්ඣංග ධර්මයෝත් උපදිත්. උපන්නාවූ බොජ්ඣංගධර්මයෝත් වැඩීමෙන් සම්පූර්ණවීමට යෙත්.”
1. 8. 6. ඤාතිපරිහානි සූත්‍රය
“මහණෙනි, නෑයන්ගේ යම් පිරිහීමක් වේද, මේ පිරිහීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවගේ යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරින් මේ ප්‍රඥාවගේ පිරිහීම ලාමකය.