1. 6. 5. මෙත්තාමනසිකාර සූත්‍රය.
“මහණෙනි, ඉදින් යම් මහණෙක් තෙම අසුරක් ගසන පමණ කාලයකුදු මෛත්‍රී චිත්තය මෙනෙහි කෙරේද, ඒ මහණතෙමේ හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ශාස්තෲන්වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් ශාස්තෲන්වහන්සේගේ අවවාදය පිළිපදිමින් රටවැස්සන්ගේ පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයි කියනු ලැබේ. යම් කෙනෙක් ඒ සිත බහුල කෙරෙත් නම් (එහි අනුසස් කියනු ම කවරේද?”
1. 6. 6. අකුසලභාගිය සූත්‍රය
“මහණෙනි, අකුසල් වූ, අකුසල් භජනය කරන්නාවූ අකුශලපක්ෂයෙහිවූ, යම්කිසි ධර්ම කෙනෙක් වෙත් ද ඒ සියලු ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තාහ. සිත ඒ ධර්මයන්ට පළමුකොට උපදී. අකුශල ධර්මයෝ සිත අනුව ම උපදිත්.
1. 6. 7. කුසලභාගිය සූත්‍රය.
“මහණෙනි, කුසල්වූ, කුසල් භජනය කරන්නාවූ කුශලපක්ෂයෙහිවූ, යම්කිසි ධර්මකෙනෙක් වෙත්ද, ඒ සියලු ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තාහ. සිත ඒ ධර්මයන්ට පළමු කොට උපදී කුශලධර්මයෝ ඒ අනුව ම උපදිත්.”
1. 6. 8. පමාද සූත්‍රය.
“මහණෙනි, යම් ප්‍රමාදයක් කරණ කොටගෙණ නූපන්නාවූ අකුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, එබඳුවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදීවූ පුද්ගලයා තුළ (පෙර) නූපන් අකුශලධර්මයෝ උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝ පිරිහෙත්.”
1. 6. 9. අප්පමාද සූත්‍රය.
“මහණෙනි, යම් අප්‍රමාදයක් කරණකොටගෙණ නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ බඳුවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාදිවූ තැනැත්තා තුළ නූපන් කුශල ධර්මයෝ උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝ පිරිහෙත්.”
1. 6. 10. කොසජ්ජ සූත්‍රය.
“මහණෙනි, යම් අලසබවක් කරණ කොටගෙණ නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ බඳුවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි මහණෙනි, අලසයා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්.”
සවෙනි වර්ගය නිමි
7. විරීයාරම්භ වර්ගය
1. 7. 1. විරියාරම්භ සූත්‍රය
“මහණෙනි, යම් සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයක් හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තා තුළ නූපන් කුශලධර්මයෝත් උපදිත් උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්.”
1. 7. 2. මහිච්ඡ සූත්‍රය
“මහණෙනි, යම් දැඩි ලෝබකමක් හේතුකොටගෙණ නූපන් අකුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ දැඩි ලෝබකම වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, දැඩිලෝබ පුද්ගලයා තුළ පෙර නූපන් අකුශලධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.”
1. 7. 3. අප්පිච්ඡ සූත්‍රය
“මහණෙනි, යම් අලෝභිබවක් හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ අලෝභිබව වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අලෝභිවූ තැනැත්තා තුළ නූපන් කුශලධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්.”