1. 5. 5. ආවිලචිත්ත සූත්‍රය
“මහණෙනි, නොපැහැදුනාවූ, කැළඹුණු, කලල්වූ, මඩවූ, යම් දියවිලක් වේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඉවුරෙහි සිටියේ විලෙහි ඔබමොබ හැසිරෙන්නාවූද, නැවතී සිටින්නාවූද, සිප්පිබෙල්ලන්ද, හා සක්බෙල්ලන්ද, කැට හා කැබිලිතිද මත්ස්‍ය සමූහයාද නොදක්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ජලය නොපැහැදුනු බවයි. “මහණෙනි, එපරිද්දෙන් ම ඒකාන්තයෙන් යම් භික්ෂුවක් තෙම නොපැහැදුනාවූ සිතින් යුක්තව ආත්මාර්ථය හෝ දැන ගන්නේය, පරාර්ථය හෝ දැනගන්නේය. උභයාර්ථය හෝ දැනගන්නේය. මනුෂ්‍යධර්මයෙන් මත්තෙහි වූ ආර්‍ය්‍යභාව කරණයට (අර්හත් බවසැලසීමට) සමර්ථවූ ඥානදර්ශනවිෂයෙක් හෝ ප්‍රත්‍යක්ෂ කරන්නේයයි (කියතොත්) ඒ කාරණය විද්‍යමාන නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, (ඔහුගේ) සිත නොපැහැදුනු බවයි.”
1. 5. 6. අනාවිලචිත්ත සූත්‍රය.
“මහණෙනි, පිරිසිදුවූ, අතිශයින් ප්‍රසන්නවූ, නො කැළඹුනාවූ යම් දියවිලක් වේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ විල ඉවුරෙහි සිටියේ විලෙහි ඔබමොබ හැසිරෙන්නාවූද, නැවතී සිටින්නාවූද, සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද කැට කැබිලිතිද මත්ස්‍ය සමූහයාද දක්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ජලය පැහැදුනු බවයි. “මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් මහණෙක් තෙම පැහැදුනාවූ සිතින් යුක්තව ආත්මාර්ථය හෝ දැනගන්නේය, පරාර්ථය හෝ දැනගන්නේය, උභයාර්ථය හෝ දැන ගන්නේය, මනුෂ්‍යධර්මයෙන් මත්තෙහි වූ ආර්‍ය්‍යභාවය කරණයට (අර්හත්බව සැලසීමට) සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් හෝ ප්‍රත්‍යක්ෂ කරන්නේයයි (කියතොත්) ඒ කාරණය විද්‍යමාන වේ. ඊට හේතු කවරේද? මහණෙනි, (ඔහුගේ) චිත්තය පැහැදුනු බවයි.”
1. 5. 7. මුදුචිත්ත (අථවා පන්දන) සූත්‍රය
“මහණෙනි, යම් කිසි වෘක්ෂ වර්ගයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් මෘදු බැවින් හා කටයුත්තකට සුදුසු බැවින් කොළොම් ගස යම්සේ අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි එපරිද්දෙන්ම වඩනලද, නැවත නැවත පුරුදු කරණ ලද සිත හා, සමාන මෘදුබව හා කටයුත්තට සුදුසු බව ඇති අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි මහණෙනි’ වඩන ලද නැවත නැවත පුරුදුකරණලද සිත මෘදුවද වේ, කටයුත්තට සුදුසුද වේ.”
1. 5. 8. ලහුපරිවත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වහා ඉපිද වහා නැසෙන ස්වභාවද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත කොතරම් වහා ඉපිද වහා නස්නා ස්වභාවද යත්, ඊට උපමාවකුදු පහසු නොවේ.”
1. 5. 9. උපක්කිලිට්ඨචිත්ත සූත්‍රය.
“මහණෙනි, මේ සිත පැහැ විහිදුවන්නේය. එය වනාහි ආගන්තුකවූ (රාගාදි) උපක්ලෙශයන් විසින් කිලිටි කරණ ලද්දේය.
1. 5. 10. විප්පමුත්තචිත්ත සූත්‍රය.
“මහණෙනි, මේ සිත වනාහි ආගන්තුකවූ (රාගාදි) උපක්ලෙශයන් ගෙන් හාත්පසින් මිදුනේය.
පස්වන වර්ගය නිමි.
6. අච්ඡරාසංඝාත වර්ගය
1. 6. 1. අස්සුතවා සූත්‍රය.
“මහණෙනි, මේ සිත ඉක්මනින් ආගන්තුකවූ (පසුව උපදිනා) රාගාදි කෙලෙසුන් විසින් කිලිටිකරණ ලද්දේය. ඒ සිත ධර්මය අසා පුරුදු නැති පෘථග්ජන තෙම තත්වූ පරිද්දෙන් නොදනී. එහෙයින් ධර්මය අසා පුරුදු නැති පෘථග්ජනයාහට සිතෙහි වැඩීමක් නැතැයි කියමි”
1. 6. 2. සුතවා සූත්‍රය
“මහණෙනි, මේ සිත පැහැවිහිදුවන්නේය. ඉක්මනින් ආගන්තුකවූ රාගාදි කෙලෙසුන්ගෙන් මිදුනේය. ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත (ඇතිසැටියෙන්) දනී. එහෙයින් ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයාහට සිතෙහි වැඩීමක් ඇතැයි කියමි.”
1. 6. 3. මෙත්තාසෙවන සූත්‍රය
මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් තෙම ඇසුරු සතක් ගසන පමණ කාලයකුදු මෛත්‍රී චිත්තය පුරුදු කෙරේද මහණෙනි, ඒ භික්ෂුතෙම හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් අවවාදය මනාකොට රකිමින් වාසය කෙරෙයි. රටවැසියාගෙන් ලත් පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයයි ද කියනු ලැබේ. යමෙක් ඒ මෙත් සිත බහුල කෙරෙත්නම් (එහි අනුසස්) කියනුම කවරේද?”
1. 6. 4. මෙත්තාභාවනා සූත්‍රය.
“මහණෙනි, ඉදින් යම් මහණෙක් තෙම අසුරක් ගසන පමණ කාලයකුදු මෛත්‍රී චිත්තය වඩාද, මහණෙනි, ඒ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් ශාස්තෲන් වහන්සේගේ අවවාදය රකිමින් රටවැස්සන්ගේ පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයයි ද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ සිත බහුල වශයෙන් වඩත්නම් (එහි අනුසස්) කියනුම කවරේද?
1. 6. 5. මෙත්තාමනසිකාර සූත්‍රය.
“මහණෙනි, ඉදින් යම් මහණෙක් තෙම අසුරක් ගසන පමණ කාලයකුදු මෛත්‍රී චිත්තය මෙනෙහි කෙරේද, ඒ මහණතෙමේ හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ශාස්තෲන්වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් ශාස්තෲන්වහන්සේගේ අවවාදය පිළිපදිමින් රටවැස්සන්ගේ පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයි කියනු ලැබේ. යම් කෙනෙක් ඒ සිත බහුල කෙරෙත් නම් (එහි අනුසස් කියනු ම කවරේද?”
1. 6. 6. අකුසලභාගිය සූත්‍රය
“මහණෙනි, අකුසල් වූ, අකුසල් භජනය කරන්නාවූ අකුශලපක්ෂයෙහිවූ, යම්කිසි ධර්ම කෙනෙක් වෙත් ද ඒ සියලු ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තාහ. සිත ඒ ධර්මයන්ට පළමුකොට උපදී. අකුශල ධර්මයෝ සිත අනුව ම උපදිත්.
1. 6. 7. කුසලභාගිය සූත්‍රය.
“මහණෙනි, කුසල්වූ, කුසල් භජනය කරන්නාවූ කුශලපක්ෂයෙහිවූ, යම්කිසි ධර්මකෙනෙක් වෙත්ද, ඒ සියලු ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තාහ. සිත ඒ ධර්මයන්ට පළමු කොට උපදී කුශලධර්මයෝ ඒ අනුව ම උපදිත්.”