1. 5. 10. විප්පමුත්තචිත්ත සූත්රය.
“මහණෙනි, මේ සිත වනාහි ආගන්තුකවූ (රාගාදි) උපක්ලෙශයන් ගෙන් හාත්පසින් මිදුනේය.
පස්වන වර්ගය නිමි.
6. අච්ඡරාසංඝාත වර්ගය
1. 6. 1. අස්සුතවා සූත්රය.
“මහණෙනි, මේ සිත ඉක්මනින් ආගන්තුකවූ (පසුව උපදිනා) රාගාදි කෙලෙසුන් විසින් කිලිටිකරණ ලද්දේය. ඒ සිත ධර්මය අසා පුරුදු නැති පෘථග්ජන තෙම තත්වූ පරිද්දෙන් නොදනී. එහෙයින් ධර්මය අසා පුරුදු නැති පෘථග්ජනයාහට සිතෙහි වැඩීමක් නැතැයි කියමි”
1. 6. 2. සුතවා සූත්රය
“මහණෙනි, මේ සිත පැහැවිහිදුවන්නේය. ඉක්මනින් ආගන්තුකවූ රාගාදි කෙලෙසුන්ගෙන් මිදුනේය. ඇසූ පිරූ තැන් ඇති ආර්ය්ය ශ්රාවක තෙම සිත (ඇතිසැටියෙන්) දනී. එහෙයින් ඇසූපිරූතැන් ඇති ආර්ය්යශ්රාවකයාහට සිතෙහි වැඩීමක් ඇතැයි කියමි.”
1. 6. 3. මෙත්තාසෙවන සූත්රය
මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් තෙම ඇසුරු සතක් ගසන පමණ කාලයකුදු මෛත්රී චිත්තය පුරුදු කෙරේද මහණෙනි, ඒ භික්ෂුතෙම හිස් නොවූ ධ්යාන ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් අවවාදය මනාකොට රකිමින් වාසය කෙරෙයි. රටවැසියාගෙන් ලත් පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයයි ද කියනු ලැබේ. යමෙක් ඒ මෙත් සිත බහුල කෙරෙත්නම් (එහි අනුසස්) කියනුම කවරේද?”
1. 6. 4. මෙත්තාභාවනා සූත්රය.
“මහණෙනි, ඉදින් යම් මහණෙක් තෙම අසුරක් ගසන පමණ කාලයකුදු මෛත්රී චිත්තය වඩාද, මහණෙනි, ඒ මහණතෙම හිස් නොවූ ධ්යාන ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් ශාස්තෲන් වහන්සේගේ අවවාදය රකිමින් රටවැස්සන්ගේ පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයයි ද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ සිත බහුල වශයෙන් වඩත්නම් (එහි අනුසස්) කියනුම කවරේද?
1. 6. 5. මෙත්තාමනසිකාර සූත්රය.
“මහණෙනි, ඉදින් යම් මහණෙක් තෙම අසුරක් ගසන පමණ කාලයකුදු මෛත්රී චිත්තය මෙනෙහි කෙරේද, ඒ මහණතෙමේ හිස් නොවූ ධ්යාන ඇත්තේ ශාස්තෲන්වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් ශාස්තෲන්වහන්සේගේ අවවාදය පිළිපදිමින් රටවැස්සන්ගේ පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයි කියනු ලැබේ. යම් කෙනෙක් ඒ සිත බහුල කෙරෙත් නම් (එහි අනුසස් කියනු ම කවරේද?”
1. 6. 6. අකුසලභාගිය සූත්රය
“මහණෙනි, අකුසල් වූ, අකුසල් භජනය කරන්නාවූ අකුශලපක්ෂයෙහිවූ, යම්කිසි ධර්ම කෙනෙක් වෙත් ද ඒ සියලු ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තාහ. සිත ඒ ධර්මයන්ට පළමුකොට උපදී. අකුශල ධර්මයෝ සිත අනුව ම උපදිත්.
1. 6. 7. කුසලභාගිය සූත්රය.
“මහණෙනි, කුසල්වූ, කුසල් භජනය කරන්නාවූ කුශලපක්ෂයෙහිවූ, යම්කිසි ධර්මකෙනෙක් වෙත්ද, ඒ සියලු ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තාහ. සිත ඒ ධර්මයන්ට පළමු කොට උපදී කුශලධර්මයෝ ඒ අනුව ම උපදිත්.”