1. 4. 6. රක්ඛිචිත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත රක්නා ලද්දේ මහත් අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත රක්නා ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”
1. 4. 7. අසංවුතචිත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත (ආරක්ෂා) නොකරණ ලද්දේ මහත් අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවය කුදු මම නොම දකිමි. මහණෙනි, සිත ආරක්ෂා නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”
1. 4. 8. සංවුතචිත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත ආරක්ෂා කරණ ලද්දේ මහත් අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවය කුදු මම නොම දකිමි මහණෙනි, සිත සංවරණය කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී,
1. 4. 9. අදන්තාදි සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත දමනය නොකරණ ලද්දේ, ගොපනය නොකරණ ලද්දේ, නොරක්නා ලද්දේ, සංවරණය නොකරණ ලද්දේ, මහත් අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිත දමනය නොකරණ ලද්දේ, ගොපනය නොකරණ ලද්දේ, නොරක්නා ලද්දේ, සංවරණය නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”
1. 4. 10. දන්තාදි සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත දමනය කරණ ලද්දේ ගොපනය කරණ ලද්දේ, රක්නා ලද්දේ, සංවරණය කරණ ලද්දේ, මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත දමනය කරණ ලද්දේ, ගොපනය කරණ ලද්දේ, රක්නා ලද්දේ, සංවරණය කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”
සතරවන වර්ගය නිමි.
5. පණිහිත (නොහොත් අච්ඡන්න) වර්ගය
1. 5. 1. මිච්ඡාපණිහිතචිත්ත සූත්‍රය.
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, ඇල්වී නණ්ඩුවක් හෝ යවවී නණ්ඩුවක් හෝ වරදවා (තුඩ යටිකුරුකොට, නො ඇණෙනසේ) තබන ලදුව අතින් හෝ පයින් හෝ මඩනා ලද්දේ අත හෝ පය හෝ බිඳෙන්නේය. ලේ හෝ උපදවන්නේයයි ඒ කාරණය විද්‍යාමාන නොවේ. මක්නිසාදයත්, මහණෙනි, නණ්ඩුව (නො ඇණෙන ලෙස) වරදවා තබන ලද හෙයිනි. “මහණෙනි, ඒ පරිද්දෙන් ම ඒකාන්තයෙන් යම් භික්ෂුවක් වරදවා තබන ලද සිතින් අවිද්‍යාව බිඳින්නේය. විද්‍යාව උපදවන්නේය. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නේයයි’ (කියතොත්) ඒ කාරණය ඇත්තක් නොවේ. මක්නිසාදයත්, මහණෙනි, සිත වරදවා යොදනලද හෙයිනි.
1. 5. 2. සම්මාපණිහිත සූත්‍රය.
“මහණෙනි, ඇල්වී නණ්ඩුවක් හෝ යව වී නණ්ඩුවක් හෝ තබන ලදුව අතින් හෝ පයින් හෝ මඩනා ලද්දේ අත හෝ පය හෝ බිඳෙන්නේය, ලේ හෝ උපදවන්නේය යන කාරණය සත්‍යයක් වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, නණ්ඩුව මනා කොට තබන ලද හෙයිනි. “මහණෙනි, ඒ පරිද්දෙන් ම ඒකාන්තයෙන් යම් මහණෙක් තෙම මනා කොට තබන ලද සිතින් ‘මහා අවිද්‍යාව බිඳින්නේය, විද්‍යාව උපදවන්නේය, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නේයයි’ ඒ කාරණය ඇත්තක් වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහුගේ සිත මනා කොට පිහිටුවන ලද හෙයිනි.”
1. 5. 3. පදුට්ඨචිත්ත සූත්‍රය.
“මහණෙනි, මේ ලෝකයෙහි ඉතා දූෂිතවූ ඇතැම් පුද්ගලයෙකුගේ සිත මම මාගේ සිතින් මෙසේ පිරිසිඳ දනිමි මෙසමයෙහි මේ පුද්ගලයා ඉදින් කලුරිය කෙළේ නම්, (අතින්) ගෙණ එන ලද්දක් බහා තබන්නාක් මෙන් හෙතෙම නරකයෙහි උපදනේය. මක්නිසාද යත්, ඔහුගේ සිත ඉතා දූෂිතවූ හෙයිනි. “මහණෙනි, සිත බොහෝසේ කෙලසීම හේතු කොට ගෙණ ද මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු අපාය නම්වූ, දුගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.”
1. 5. 4. පසන්නචිත්ත සූත්‍රය.
“මහණෙනි, මේ ලෝකයෙහි ප්‍රසන්න වූ සිත් ඇති ඇතැම් පුද්ගලයෙකුගේ සිත මම මාගේ සිතින් මෙසේ පිරිසිඳ දනිමි. ඉදින් මෙසමයෙහි මේ පුද්ගලතෙම කාලක්‍රියා කෙළේ නම්, ගෙණ එන ලද්දක් යම්සේ බහා තබනු ලැබේද, එසේම මෙතෙම ස්වර්ගයෙහි පිහිටියෙක් වේය කියායි. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්න හෙයිනි. මහණෙනි, සිතෙහි පැහැදීම හේතුකොටගෙණ ද, මේ ලෝකයෙහි සමහර සත්ත්වයෝ මෙසේ ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු සුගති නම්වූ, ලෝකයෙහි උපදිත්.”