19. උද්ධච්චකුක්කුච්චප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිතෙහි සංසිඳවීම නිසා නූපන් උද්ධච්චකුක්කුච්චය හෝ නූපදීද, උපන් උද්ධච්චකුක්කුච්චය හෝ විනාසයටයේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණ කුදු මම නොම දකිමි. මහණෙනි, සන්හුන් සිත් ඇත්තා තුළ නූපන් උද්ධච්චකුක්කුච්චයත් නූපදී, උපන් උද්ධච්චකුක්කුච්චයත් විනාසයට යයි.”
20. විචිකිච්ඡප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ (යෝනිසෝමනසිකාරය) නුවණින් මෙනෙහිකිරීම නිසා නූපන් සැකය හෝ නූපදීද, උපන් සැකය හෝ විනාසයටයේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් සැකයත් නූපදී, උපන් සැකයත් විනාසයට යයි”
දෙවෙනි වර්ගය නිමි
3. අකම්මනීය වර්ගය
21. අකම්මනීය සූත්‍රය.
සැවැත් නුවර දී ය.
“මහණෙනි, යම්සේ නොවඩනලද සිත කර්මයට යෝග්‍ය නොවේද, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ කර්මයට යොග්‍ය නොවේ.”
22. කම්මනීය සූත්‍රය.
“මහණෙනි, යම්සේ වඩනලද සිත කර්මයට යොග්‍ය වේද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩනලද්දේ කටයුත්තට යොග්‍යවේ.”
23. මහානත්ථ සූත්‍රය.
“මහණෙනි, යම්සේ නොවඩන ලද සිත මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”
24. මහත්ථ සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වඩනලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩනලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”
25. අපාතුභූත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළ නොවූයේ මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පහළ නොවන ලද්දේ මහත් අනර්ථය පිණිස පවතී.”
26. පාතුභූත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”
27. අබහුලීකත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ, පුරුදු නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ නැවත නැවත පුරුදු නොකරණ ලද්දේ මහත් අනර්ථය පිණිස පවතී.”