15. විචිකිච්ඡුප්පාද සූත්‍රය.
“මහණෙනි, යම්සේ අයෝනිසෝමනසිකාරය (අනුවණින් වැරදිලෙස මෙනෙහිකිරීම) නිසා නූපන් විචිකිච්ඡාව (සැකය) හෝ උපදී ද, උපන් විචිකිච්ඡාව හෝ බහුලභාවයට හා විපුලභාවයට පැමිණේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. අනුවණින් වැරදිලෙස මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් විචිකිච්ඡාවත් උපදී, උපන් විචිකිච්ඡාවත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ.”
16. කාමච්ඡන්දප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ අසුභනිමිත්තක් (රාගය තුනී කරණ අරමුණක්) නිසා නූපන් කාමච්ඡන්දය (පඤ්චකාමයන් කෙරෙහි ආසාව) හෝ නූපදී ද, උපන් කාමච්ඡන්දය හෝ විනාසයට යේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි අසුභ නිමිත්ත නුවණින් මෙනෙහිකරන්නා තුළ (පෙර) නූපන් කාමච්ඡන්දයත් නූපදන්නේය, උපන් කාමච්ඡන්දයත් විනාසයට යන්නේය.”
17. ව්‍යාපාදප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ මෛත්‍රීසහගතව මිදුනු සිත නිසා නූපන් ක්‍රෝධය හෝ නූපදීද, උපන්නාවූ ක්‍රෝධය හෝ විනාසයට යේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මෛත්‍රීසහගතව මිදුනු සිත නුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් ක්‍රෝධයත් නූපදන්නේය, උපන් ක්‍රෝධයත් විනාසයට යන්නේය”
18. ථීනමිද්ධප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ ප්‍රථමාරම්භ වීර්‍ය්‍යය, කුසීතභාවයෙන් තොරවූ ඊට වඩා බලවත් වීර්‍ය්‍යය, මතු මත්තෙහි සම්පතට පමුණුවමින් උපදනා ඊටත් වඩා බලවත්වූ වීර්‍ය්‍යය නිසා නූපන් ථීනමිද්ධය හෝ නූපදීද, උපන් ථීනමිද්ධය හෝ විනාසයට යේද මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, පරිපූර්ණ වූද අල්වාගන්නාලද්දාවූද වීර්‍ය්‍යය ඇත්තා තුළ නූපන් ථීනමිද්ධයත් නූපදී, උපන් ථීනමිද්ධයත් විනාසයට යයි.”
19. උද්ධච්චකුක්කුච්චප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිතෙහි සංසිඳවීම නිසා නූපන් උද්ධච්චකුක්කුච්චය හෝ නූපදීද, උපන් උද්ධච්චකුක්කුච්චය හෝ විනාසයටයේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණ කුදු මම නොම දකිමි. මහණෙනි, සන්හුන් සිත් ඇත්තා තුළ නූපන් උද්ධච්චකුක්කුච්චයත් නූපදී, උපන් උද්ධච්චකුක්කුච්චයත් විනාසයට යයි.”
20. විචිකිච්ඡප්පහාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ (යෝනිසෝමනසිකාරය) නුවණින් මෙනෙහිකිරීම නිසා නූපන් සැකය හෝ නූපදීද, උපන් සැකය හෝ විනාසයටයේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් සැකයත් නූපදී, උපන් සැකයත් විනාසයට යයි”
දෙවෙනි වර්ගය නිමි