273. අරහත්තජීවිත සූත්‍රය
“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් සම්පූර්ණවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් තෙම යම් හේතුවක් නිසා රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය, යන මෙය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘථග්ජනයෙක් රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ දේ නම් විද්‍යමාන වේ.”
274. ලොහිතුප්පාද සූත්‍රය
“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් සම්පූර්ණවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් දූෂ්‍යවූ සිතින් ලේ උපදවන්නේය, යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘථග්ජනයෙක් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් දූෂ්‍යවූ සිතින් යුක්තව ලේ උපදවන්නේය, යන මේ කාරණය නම් විද්‍යමානවේ.”
275. සංඝභෙද සූත්‍රය
“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් සම්පූර්ණවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් තෙම යම් හේතුවක් නිසා සංඝයා භේද කරන්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමාන වේ (එනම්) යම් හෙයකින් පෘථග්ජනයෙක් සංඝයා බිඳුවන්නේය, යන මේ කාරණය නම් දක්නට ලැබේ.”
276. අඤ්ඤසත්ථාරුදේදස සූත්‍රය
“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් සම්පූර්ණවූ (සෝවාන්) පුද්ගලයෙක් යම් හෙයකින් අන්‍ය ශාස්තෘවරයෙක් අදහන්නේය, යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පෘථග්ජනයෙක් අන්‍ය ශාස්තෘවරයෙකු විශ්වාස කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමාන වේ.”
277. එකසම්මාසම්බුද්ධ සූත්‍රය
“මහණෙනි, එක ලොක ධාතුවෙක්හි අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයන් වහන්සේලා දෙනමක් පෙර නොව පසු නොව (එකවර) උපදින්නාහුය. යන මේ කාරණයක් වේද ඒ හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් ඇත්තේය. (එනම්) යම් හෙයකින් එක ලොකධාතුවෙක්හි අර්හත්වූ එකම සම්බුදුවරයෙක් උපදනේය යන මේ කාරණය වනාහි විද්‍යමානවේ.”
278. එකචක්කවත්ති සූත්‍රය.
“මහණෙනි, එක ලොක ධාතුවෙක්හි සක්විති රජවරු දෙදෙනෙක් පෙර නොව පසු නොව (එකවර) උපදනාහුය යන මේ කාරණයක් වේද ඒ හේතුරහිතයි. ප්‍රත්‍යය රහිතයි. මේ කාරණය විද්‍යමානනොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් ඇත්තේය. (එනම්) එක ලොකධාතුවෙක්හි එකම සක්විති රජෙක් උපදනේය යන මේ කාරණයක් වේද ඒ වනාහි විද්‍යමානවේ.”
279. පුරිසසම්මාසම්බොධි සූත්‍රය.
“මහණෙනි, ස්ත්‍රියක් තොම අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයෙක් වේය යන මේ කාරණයක් වේද, ඒ හේතුරහිතයයි. ප්‍රත්‍යය රහිතයි ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමාන වේ (එනම්) යම්හෙයකින් පුරුෂයෙක් අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයෙක් වේද, මේ කාරණය නම් විද්‍යමානවේ.