1. 14. 3. 1-10.
මහණෙනි, යම් මේ රාහුල නම් ස්ථවිරනමක් වේද ශික්ෂාකාමීවූ මාගේ ශ්‍රාවකවූ භික්ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි. මහණෙනි, මේ රට්ඨපාල ස්ථවිර තෙම ශ්‍රද්ධායෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ කුණ්ඩධාන ස්ථවිර තෙම සියල්ලන්ට පළමුව සළකා ගන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ වඩ්ගීස ස්ථවිර තෙම සම්පූර්ණවූ වැටහීම් ඇත්තාවූ නොහොත් වහා වැටහෙන නුවණැත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ වංගන්ත බමුණාගේ පුත්‍රවූ උපසෙන ස්ථවිර තෙම සියල්ලන් පහදවන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මල්ලරාජ පුත්‍රවූ දබ්බ නම් ස්ථවිර තෙම සෙනසුන් පනවන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ පිළින්දිගොත්රයෙහි උපන් වච්ඡ නම්වූ හෙවත් පිලින්දිවච්ඡ ස්ථවිර තෙම දෙවියන්ට ප්‍රිය මනාපවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, (දැව පතුරෙන් කළ වැහැරි දැරූ නිසා) දාරුවීරියයි කියන ලද බාහිය නම්වූ මේ ස්ථවිර තෙම වහාලත් අරහත් ඵලාවබොධය ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ කුමාරකාශ්‍යප ස්ථවිර තෙම විසිතුරු කොට බණ කියන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මහාකොට්ඨිත ස්ථවිර තෙම සිවු පිළිසිඹියාවට පත් භික්ෂූන් අතුරෙන් අග්‍රයි.
තුන්වෙනි වර්ගයයි.
1. 14. 4. 1-16.
මහණෙනි, යම් මේ ආනන්ද නම් ස්ථවිර නමක් වේද, බහුශ්‍රැතවූ (බොහෝ ඈසූ පිරූ තැන් ඇති) මාගේ ශ්‍රාවකවූ භික්ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි. මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම (ඇසූපිරූ දේ දරාගන්නා සිහි ඇති) ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම ඤාණගති ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම (බුද්ධ වචනය දැරීමාදියෙහි) වීර්‍ය්‍යය ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම බුද්ධොපස්ථායකවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ උරුවෙල කාශ්‍යප ස්ථවිර තෙම මහත් පිරිවර ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ කාලුදායි ස්ථවිර තෙම කුලයන් පහදවන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, බක්කුල ස්ථවිර තෙම නීරෝගීවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ සොහිත ස්ථවිර තෙම පූර්වෙනිවාසය (පෙර විසූ කඳපිළිවෙළ) සිහි කරන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ උපාලි ස්ථවිර තෙම විනයධරවූවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ නන්දක ස්ථවිර තෙම භික්ෂුණීන්ට අවවාද කරන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, නන්ද නම් ස්ථවිර තෙම ඉන්ද්රියයන් කෙරෙහි වසනලද දොර ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මහා කප්පින නම් ස්ථවිර තෙම භික්ෂූන්ට අවවාද කරන්නාවූ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ සාගත ස්ථවිර තෙම තෙජොධාතු සමාපත්තියට සමවදින්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ රාධ ස්ථවිර තෙම දම්දෙසුම් වැටහීමට හේතුවූ නුවණ ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මොඝරාජ නම් ස්ථවිර තෙම රූක්ෂ (රළු) සිවුරු දරන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.
සතරවෙනි වර්ගයයි.
1. 14. 5. 1-13.
මහණෙනි, යම් මේ මහාප්‍රජාපතී ගොතමී නම් ස්ථවිරියක් වේද, චිර රාත්‍රි (ඉකුත්කළ බොහෝ කල් දන්නාවූ මාගේ ශ්‍රාවිකා භික්ෂුණීන් අතුරෙන් ඕතොමෝ අග්‍රයි. මහණෙනි, මේ ඛෙමා භික්ෂුණී තොමෝ මහා ප්‍රඥා ඇති භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ උප්පලවණ්ණා භික්ෂුණිය ඍද්ධිමත්වූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ පටාචාර නම් භික්ෂුණිය විනයධරවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ ධම්මදින්නා ස්ථවිරී තොමෝ ධර්මකථිකවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ නන්දා නම් භික්ෂුණිය ධ්‍යානයෙහි ඇලුනාවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ සොණා නම් භික්ෂුණිය පවත්නාලද පරිපූර්ණ වීර්‍ය්‍යය ඇති භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ සකුලා නම් භික්ෂුණිය දිවැස් ඇත්තාවූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ (කුණ්ඩලවූ හෙවත් වක්‍ර කෙහෙ ඇති) කුණ්ඩලකෙසා භික්ෂුණිය වහා පැමිණෙන ලද අභිඥා අවබෝධ ඇති මාගේ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ භද්දා කාපිලානී නම්වූ භික්ෂුණිය පූර්වෙනිවාසය (පෙරවිසූ කඳපිළිවෙළ) සිහි කරන්නාවූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ භද්දා කච්චානා නම්වූ භික්ෂුණිය මහත්වූ අභිඥාවන්ට පැමිණියාවූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ කිසා ගොතමී නම් භික්ෂුණිය රළුසිවුරු දරන්නාවූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ සිගාලමාතා භික්ෂුණිය බලවත් ශ්‍රද්ධා ඇත්තාවූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි.
පස්වෙනි වර්ගයයි.
1. 14. 6. 1-10.
මහණෙනි, යම් මේ තපස්සුය භල්ලිකය යන වෙළෙඳ දෙබෑ කෙනෙක් වෙත්ද, පළමු සරණගියාවූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙන් මොහු තුමූ අග්‍රයි. මහණෙනි, මේ (අසරණයන්ට අහර දෙන බැවින්) අනාථ පිණ්ඩික නම් ඇති සුදත්ත නම් ගෘහපති තෙම දානයෙහි ඇලුනාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මච්ඡිකා සණ්ඩ නුවරවාසී චිත්ත නම් ගෘහපති තෙම ධර්මකථිකවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ හත්ථක නම් ඇති ආලවක නම්වූ කුමාර තෙම සිවූ සඟරාවකින් පිරිසට සංග්‍රහ කරණ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මහානාම නම් ශාක්‍ය තෙම ප්‍රණීත දේ දෙන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ විශාලා මහනුවර වාසීවූ ඒ උග්ග නම් ගෘහපතියා මනාප දේ දෙන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ උග්ගත නම් ගෘහපතියා සංඝයාට උපස්ථාන කරන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි මේ සූර අම්බට්ඨ උපාසක තෙම අචල ප්‍රසාදයෙන් යුක්තවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, කොමාරභච්ච නම් ඇති මේ ජීවක උපාසක තෙම පුද්ගලයන්ගේ ප්‍රසාදය දිනාගත් මාගේ ශ්‍රාවකවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ නකුල පිතා නම් ගෘහපතියා විශ්වාස කටයුතු දේ කියන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.
සයවෙනි වර්ගයයි.