1. 14. 1. 1-10.
[සාවත්ථි නිදානයි]
මහණෙනි, යම් මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් ස්ථවිර නමක් වේද, මේ තෙම චිරරාත්‍රි දන්නාවූ (ඉකුත්කළ බොහෝ කල් ඇති) මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මහත් ප්‍රඥා ඇත්තවුන් අතුරෙන් මේ ශාරිපුත්‍රස්ථවිර තෙම අග්‍රයි. මහණෙනි, ඍද්ධි ඇත්තවුන් අතුරෙන් මේ මහා මෞද්ගල්‍යාන ස්ථවිර තෙම අග්‍රයි. මහණෙනි, ධුතවාද ඇත්තාවූ (ධූතංගධාරීවූ) භික්ෂූන් අතුරෙන් මේ මහා කාශ්‍යප ස්ථවිර තෙම අග්‍රයි. මහණෙනි, දිවැස් ඇත්තවුන් අතුරෙන් මේ අනුරුද්ධ ස්ථවිර තෙම අග්‍රයි. මහණෙනි, උසස් කුල ඇත්තවුන් අතුරෙන් කාළිගොධා නම් බැමිණියගේ පුත්‍රවූ මේ භද්දිය ස්ථවිර තෙම අග්‍රයි. මහණෙනි, මධුර ස්වර (මිහිරි හඬ) ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් මේ ලකුණ්ටක භද්දිය ස්ථවිර තෙම අග්‍රයි. මහණෙනි, සිංහනාද (අභීතනාද) කරන්නාවූ භික්ෂූන් අතුරෙන් මේ පිණ්ඩොල භාරද්වාජ ස්ථවිර තෙම අග්‍රයි. මහණෙනි, ධර්මකථිකවූ ශ්‍රාවකයන් අතුරෙන් මේ මන්තානි බැමිණියගේ පුත්‍රවූ මේ පුණ්ණ නම් ස්ථවිර තෙම අග්‍රයි. මහණෙනි, සංක්ෂෙපයෙන් කියනලද ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් විභාග කරන්නාවූ භික්ෂූන් අතුරෙන් මේ මහාකච්චාන ස්ථවිර තෙම අග්‍රයි.
ප්‍රථම වර්ගයයි.
1. 14. 2. 1-11.
යම් මේ චුල්ලපන්ථක නම් ස්ථවිර නමක් වේද, මනොමය ශරීරයන් උපදවන්නාවූ මාගේ ශ්‍රාවකවූ භික්ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි. මේ චුල්ලපන්ථක ස්ථවිර තෙම රූපාවචරධ්‍යානලාභීන් අතුරෙන් අග්‍රයි. මේ මහාපන්ථක ස්ථවිර තෙම අරූපාවචරධ්‍යානලාභීන් අතුරෙන් අග්‍රයි. මේ සුභූති ස්ථවිර තෙම රාගාදි කෙලෙසුන් කෙරෙන් තොරවූ වාසය ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මේ සුභූති නම් ස්ථවිර තෙම දක්ෂිණාවට සුදුසු වූවන් අතුරෙන් අග්‍රයි. මේ කිහිරිවන වාසී රෙවත ස්ථවිර තෙම වනයෙහි වසන භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මේ කඩ්ඛාරෙවත නම් ස්ථවිර තෙම ධ්‍යානයෙහි ඇලී වසන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මේ කොලිවීස ගොත්‍ර ඇති සොණ ස්ථවිර තෙම පටන්ගෙණ සම්පූර්ණකරණ ලද වීර්‍ය්‍යය ඇති ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි. (කෙළක් අගනා කන්පළඳනා ඇති හෙයින්) කුටිකණ්ණයයි කියන ලද සොණ නම් මේ ස්ථවිර තෙම යහපත් වචන කියන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මේ සීවලී ස්ථවිර තෙම ප්‍රත්‍යලාභීවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මේ වක්කලී නම් ස්ථවිර තෙම බලවත් ශ්‍රද්ධා ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.
දෙවෙනි වර්ගයයි.
1. 14. 3. 1-10.
මහණෙනි, යම් මේ රාහුල නම් ස්ථවිරනමක් වේද ශික්ෂාකාමීවූ මාගේ ශ්‍රාවකවූ භික්ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි. මහණෙනි, මේ රට්ඨපාල ස්ථවිර තෙම ශ්‍රද්ධායෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ කුණ්ඩධාන ස්ථවිර තෙම සියල්ලන්ට පළමුව සළකා ගන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ වඩ්ගීස ස්ථවිර තෙම සම්පූර්ණවූ වැටහීම් ඇත්තාවූ නොහොත් වහා වැටහෙන නුවණැත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ වංගන්ත බමුණාගේ පුත්‍රවූ උපසෙන ස්ථවිර තෙම සියල්ලන් පහදවන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මල්ලරාජ පුත්‍රවූ දබ්බ නම් ස්ථවිර තෙම සෙනසුන් පනවන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ පිළින්දිගොත්‍රයෙහි උපන් වච්ඡ නම්වූ හෙවත් පිලින්දිවච්ඡ ස්ථවිර තෙම දෙවියන්ට ප්‍රිය මනාපවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, (දැව පතුරෙන් කළ වැහැරි දැරූ නිසා) දාරුවීරියයි කියන ලද බාහිය නම්වූ මේ ස්ථවිර තෙම වහාලත් අරහත් ඵලාවබොධය ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ කුමාරකාශ්‍යප ස්ථවිර තෙම විසිතුරු කොට බණ කියන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මහාකොට්ඨිත ස්ථවිර තෙම සිවු පිළිසිඹියාවට පත් භික්ෂූන් අතුරෙන් අග්‍රයි.
තුන්වෙනි වර්ගයයි.
1. 14. 4. 1-16.
මහණෙනි, යම් මේ ආනන්ද නම් ස්ථවිර නමක් වේද, බහුශ්‍රැතවූ (බොහෝ ඈසූ පිරූ තැන් ඇති) මාගේ ශ්‍රාවකවූ භික්ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි. මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම (ඇසූපිරූ දේ දරාගන්නා සිහි ඇති) ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම ඤාණගති ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම (බුද්ධ වචනය දැරීමාදියෙහි) වීර්‍ය්‍යය ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම බුද්ධොපස්ථායකවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ උරුවෙල කාශ්‍යප ස්ථවිර තෙම මහත් පිරිවර ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ කාලුදායි ස්ථවිර තෙම කුලයන් පහදවන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, බක්කුල ස්ථවිර තෙම නීරෝගීවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ සොහිත ස්ථවිර තෙම පූර්වෙනිවාසය (පෙර විසූ කඳපිළිවෙළ) සිහි කරන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ උපාලි ස්ථවිර තෙම විනයධරවූවන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ නන්දක ස්ථවිර තෙම භික්ෂුණීන්ට අවවාද කරන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, නන්ද නම් ස්ථවිර තෙම ඉන්ද්‍රියයන් කෙරෙහි වසනලද දොර ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මහා කප්පින නම් ස්ථවිර තෙම භික්ෂූන්ට අවවාද කරන්නාවූ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ සාගත ස්ථවිර තෙම තෙජොධාතු සමාපත්තියට සමවදින්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ රාධ ස්ථවිර තෙම දම්දෙසුම් වැටහීමට හේතුවූ නුවණ ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි. මහණෙනි, මේ මොඝරාජ නම් ස්ථවිර තෙම රූක්ෂ (රළු) සිවුරු දරන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.
සතරවෙනි වර්ගයයි.