1. 13. 1.
[සාවත්ථි නිදානයි]
මහණෙනි, එකම පුද්ගලයෙක් තෙම ලෝකයෙහි උපදනේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස උපදී. කවරනම් අසහාය පුද්ගලයෙක්ද? තථාගත (නම්වූ) අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, මේ අසහාය පුද්ගලතෙම වනාහි ලෝකයෙහි උපදනේ බොහෝදෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
1. 13. 2.
මහණෙනි, ලෝකයෙහි එකම පුද්ගලයෙකුගේ පහළවීම දුර්ලභය. කවර එකම පුද්ගලයෙකුගේද? තථාගතවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන්ගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ ලොව පහළ වීම වනාහි දුර්ලභය.
1. 13. 3.
මහණෙනි, ලෝකයෙහි එකම පුද්ගලයෙක් උපදනේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෙක්ව උපදී. කවර එකම පුද්ගලයෙක් ද? තථාගතවූ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, ලෝකයෙහි මේ අසහාය පුද්ගල තෙම වනාහි උපදින්නේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෙක්ව උපදී.
1. 13. 4.
මහණෙනි, එකම පුද්ගලයෙකුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපද වන්නීය. කවර එකම පුද්ගලයෙකුගේද යත්; තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපදවන්නීය.
1. 13. 5-13.
මහණෙනි, තමහට සරිලන දෙවැන්නකු නැතිවූ සමානයකු නැතිවූ, සම කරනට දෙයක් නැතිවූ ආත්මභාවයෙන් සමානයකු නැතිවූ, තමාගේ ධර්මයෙහි අඩුපාඩු ප්‍රකාශ කිරීමට කිසිවකු නැතිවූ, (‘මම බුදුවෙමි”යි ප්‍රතිඥා දෙන්නට සමර්ථවූ අන් කිසිවකු නැතිවූ, (සියලු පුද්ගලයන් හා අසමානවූ) අසම නම්ලද බුදුවරයන්ට සමානවූ, දෙව්මිනිසුන් අතුරෙන් අග්‍රවූ, එක පුද්ගලයෙක් ලෝකයේ උපදනේය. කවර එකම පුද්ගලයෙක්ද යත්; තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, තමාට සම දෙවැනියකු නැති, සහායයකු නැති, ප්‍රතිමායෙන් සමානයෙකු නැති, අප්‍රති සමවූ, ප්‍රතිභාගවීමට සුදුස්සකු නැති, අප්‍රතිපුද්ගලවූ, අසමවූ, අසමසමවූ මේ අසහාය පුද්ගල තෙම වනාහි දෙපා ඇත්තවුන්ට අග්‍රව උපදී.
1. 13. 14-25.
මහණෙනි, එකම පුද්ගලයෙකුගේ පහළවීමෙන් මහත්වූ (ප්‍රඥා) චක්ෂුසයාගේ පහළවීම වේ. මහත්වූ (ප්‍රඥා) ආලෝකයාගේ පහළවීම වේ, මහත්වූ (ප්‍රඥා) දීප්තියකගේ පහළවීම වේ. සවැදෑරුම් අනුත්තරිය ධර්මයන්ගේ පහළවීම වේ, සිවුපිළිසිඹියාවන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. නොයෙක් ධාතූන්ගේ ප්‍රතිවෙධය වේ. නානාප්‍රකාර ස්වභාවය දැනගැනීම ඇති වේ. මාර්ගඵලඥානය හා ඒ සමග යෙදුනු අවශෙෂ ධර්මයන්ගේ හා අර්හත් ඵලයාගේ ප්‍රත්‍යක්ෂකිරීම වේ. සොවාන් ඵලයාගේ ප්‍රත්‍යක්ෂකිරීම වේ. සකෘදාගාමී ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අනාගාමී ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අර්හත් ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. කවර එකම පුද්ගලයෙකුගේද යත්? තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ පහළවීමෙන් මහත්වූ (ප්‍රඥා) චක්ෂුසයාගේ පහළවීම වේ. මහත්වූ ප්‍රඥාලෝකයාගේ පහළවීම වේ. මහත්වූ ප්‍රඥාභාවයාගේ පහළවීම වේ. ෂඞ්විධ අනුත්තරිය ධර්මයන්ගේ පහළවීම වේ. චතුර්විධ ප්‍රතිසම්භිදා ධර්මයන්ගේ පහළවීම වේ. නොයෙක් ධාතූන්ගේම ප්‍රතිවේධය වේ. ඒ නානා ස්වභාවයන්ගේ ප්‍රතිවෙධය වේ. විද්‍යාවිමුක්ති ඵලයන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීමවේ. ශ්‍රොතාපත්ති ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීමවේ. සකෘදාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අනාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අර්හත් ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ.