1. 10. 7. අසන්තුට්ඨිතා සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවතී.
1. 10. 8. සන්තුට්ඨිතා සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වන බව මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටුවන බව මහත් අර්ථය පිණිස පවතී.
1. 10. 9. අයොනිසොමනසිකාර සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ අයෝනිසෝමනසිකාරය මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, ඇතිදේ ඇති සැටි නොදැකීම මහත් අනර්ථය පිණිස පවතී.
1. 10. 10. යොනිසොමනසිකාර සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ යෝනිසෝමනසිකාරය මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, ඇතිදේ ඇතිසැටි දැකීම මහත් අර්ථය පිණිස පවතී.
1. 10. 11. අසම්පජඤ්ඤ සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ මනාප්‍රඥා නැති බව මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, මනාප්‍රඥා නැතිබව මහත් අනර්ථය පිණිස පවතී.
1. 10. 12. සම්පජඤ්ඤ සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ මනාප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, මනාප්‍රඥා ඇතිබව මහත් අර්ථය පිණිස පවතී.
1. 10. 13. පාපමිත්ත සූත්‍රය
මහණෙනි, බාහිර කරුණු පිළිබඳව සලකනවිට යම්සේ පාපමිත්‍රතාව මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳු අනික් එක ධර්මයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, පාපමිත්‍රතාව මහත්වූ අනර්ථය පිණිස පවතී.
1. 10. 14. කල්‍යාණමිත්ත සූත්‍රය
මහණෙනි, බාහිර කරුණු පිළිබඳව සලකනවිට යම්සේ කල්‍යාණ මිත්‍රතාව (යහපත් මිතුරන් ඇති බව) මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳු අනික් එක ධර්මයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත්වූ අර්ථය පිණිස පවතී.
1. 10. 15. අකුශලානුයොග සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මික වූ කරුණු වශයෙන් සලකනවිට යම්සේ අකුශලයන්හි යෙදීම හා කුසලයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, එබඳුවූ අන් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතී.
1. 10. 16. කුසලානුයොග සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මික වූ කරුණු වසයෙන් සලකනවිට යම්සේ කුසලයන්හි යෙදීම හා අකුසලයන්හි නොයෙදීම මහත් අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එක කාරණයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීමද අකුශලධර්මයන්හි නොයෙදීමද මහත්වූ අර්ථය පිණිස පවතී.
1. 10. 17. සද්ධම්මන්තරධාන පමාද සූත්‍රය
මහණෙනි, යම්සේ ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද, ඒ බඳු අනික් එක කාරණයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසද අතුරුදන්වීම පිණිසද පවතී.
1. 10. 18. සද්ධම්මට්ඨිති අප්පමාද සූත්‍රය
මහණෙනි, යම්සේ අප්‍රමාද බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසත් නොවිනාසය පිණිසත් අතුරුදන් නොවීම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාදබව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද නොවිනාසය පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.
1. 10. 19. සද්ධම්මන්තරධාන කොසජ්ජ සූත්‍රය
මහණෙනි, යම්සේ කුසීතභාවය, සද්ධර්මයාගේ විනාසය පිණිසත්, අතුරුදන්වීම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී.