6. පුරුෂ රූප පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ රූපය ස්ත්රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රූපයකුදු මම නො දකිමි. මහණෙනි, පුරුෂ රූපය ස්ත්රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
7. පුරිසසද්ද පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ හඬ ස්ත්රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ශබ්දය ස්ත්රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
8. පුරිසගන්ධ පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ ගන්ධය ස්ත්රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගඳකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ගන්ධය ස්ත්රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
9. පුරිස රස පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ රසය ස්ත්රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂරසය ස්ත්රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
10. පුරිසපොට්ඨබ්බ පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ ස්පර්ශය ස්ත්රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ස්පර්ශයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂයාගේ ස්පර්ශය ස්ත්රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
පළමුවන වර්ගය නිමි
2. නීවරණ වර්ගය
11. කාමච්ඡන්දුප්පාද සූත්රය.
සැවැත් නුවර දී ය.
“මහණෙනි, යම් සුභ නිමිත්තක් (රාගය ඇති කරණ අරමුණක්) නිසා නූපන් කාම ආශාව උපදීද, උපන්නාවූ කාම ආශාව නැවත නැවත ඉපදීම හා විශාලලෙස රැස්වීම වන්නේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, රාගය ඇතිකරණ අරමුණ අනුවණින් වැරදිලෙස මෙණෙහි කරන්නා තුළ නූපන් කාමආශාවක් උපදී, උපන්නාවූ කාමආශාවෙහි බහුලභාවය හා විශාල භාවයත් ඇතිවන්නේය.”
12. ව්යාපාදුප්පාද සූත්රය.
“මහණෙනි, සිතෙහි නුරුස්නා බව ඇතිකරණ යම් අරමුණක් නිසා නූපන් ක්රෝධය උපදී ද, උපන්නාවූ ක්රෝධයෙහි නැවත නැවත ඉපදීම හා විසාලලෙස රැස්වීම ඇති වන්නේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, සිතෙහි නුරුස්නා බව ඇතිකරණ අරමුණ අනුවණින් වැරදිලෙස මෙනෙහිකරන්නා තුළ (කලින්) නූපන් ආශාවත් උපදී, උපන්නාවූ ආශාවත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ”
13. ථීනමිද්ධුප්පාද සූත්රය.
“මහණෙනි, යම්සේ කුශලධර්මයන්හි නොඇලීම, අලස බව, ඇඟමැලිකැඩීම, බත්මත, සිතෙහි හැකුළුණු බව යන මේ කරුණු නිසා නූපන් ථීනමිද්ධය (සිතෙහි අලස බව හා කයෙහි අලස බව) උපදී ද, උපන්නාවූ ථීනමිද්ධයෙහි බහුලභාවය විපුලභාවය ඇතිවන්නේ ද, මහණෙනි, එබඳු වූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, මැලි සිත් ඇත්තා කෙරෙහි නූපන් ථීනමිද්ධයත් උපදී, උපන්නාවූ ථීනමිද්ධයෙහි බහුලභාවය හා විපුලභාවයත් ඇතිවන්නේය.”
14. උද්ධච්චකුක්කුච්චුප්පාද සූත්රය
“මහණෙනි, යම්සේ සිත්හි නොසංසිඳුනු බව නිසා නූපන් උද්ධච්චකුක්කුච්චය උපදී ද, උපන් උද්ධච්චකුක්කුච්චය හෝ බහුලභාවයට හා විපුලභාවයට පැමිණේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. නොසන්සුන් සිත් ඇත්තා තුළ නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී, උපන් උද්ධච්චකුක්කුච්චයත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ.”
15. විචිකිච්ඡුප්පාද සූත්රය.
“මහණෙනි, යම්සේ අයෝනිසෝමනසිකාරය (අනුවණින් වැරදිලෙස මෙනෙහිකිරීම) නිසා නූපන් විචිකිච්ඡාව (සැකය) හෝ උපදී ද, උපන් විචිකිච්ඡාව හෝ බහුලභාවයට හා විපුලභාවයට පැමිණේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. අනුවණින් වැරදිලෙස මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් විචිකිච්ඡාවත් උපදී, උපන් විචිකිච්ඡාවත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ.”