යො ච වස්සසතං ජීවෙ දුප්පඤ්ඤො අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො පඤ්ඤවන්තස්ස ඣායිනො.
(ශමථවිදර්‍ශනාප්‍රඥාය) මාර්‍ගඵලප්‍රඥාය යන ලෞකික ලෝකෝත්තර ප්‍රඥායෙන් යුක්ත නොවන හෙයින්) ප්‍රඥා නැත්තාවූ, (උපචාරසමාධි අර්‍පණාසමාධියෙන්) සමාහිත නොවූ, යම් පුද්ගලයකු ඉදින් හවුරුදු සියයක් ජීවත් වූ නමුදු, ඔහුගේ ජීවත් වීමට වඩා ශමථවිදර්‍ශනාප්‍රඥායෙන් ද මාර්‍ගඵලප්‍රඥායෙන් ද යුක්ත වූ, ශමථවිදර්‍ශනාභාවනායෙහි නියුක්ත වූවහුගේ එක් දවසකුදු ජීවත් වීම උතුමි.
ඛාණුකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ බුදුරජුන්ගෙන් කමටහන් ගෙණ වනයට ගියහ. එහිදී උන්වහන්සේ කමටහන්හි යෙදී රහත් වුහ. ඒ බව බුදුරජුන්ට දන්වන්නට මග බැස එද්දී හට ගත් කලාන්තභාවයක් නිසා පාරෙන් මදක් ඈත් ව ගලක් උඩ වාඩි වී ධ්‍යානයට සමවැදුනාහ. ගමක් පැහැර ගත් සොරු, තම තමන්ට ගෙණ යා හැකි නොයෙක් බඩු, පොදි බැඳ හිස තබා ගෙණ එන්නෝ, වෙහෙසට පැමිණියාහු, විඩා හරින්නට සිතා තෙරුන් හුන් ගල ලඟට ගොස්, ධ්‍යානයට සමවැදී නිශ්චල ව සිටි තෙරුන් කණුවකැ යි කල්පනාවට ගෙණ එහි හිඳ ගත්හ. එක් සොරෙක් තම හිස තුබූ බඩු පොදිය, තෙරුන් හිස මත තැබී ය. තවෙකෙක් ඒ මත්තෙහි තව පොදියක් තැබී ය. මෙලෙසින් ඒ හැම දෙන තම තමන් ගෙණා බඩුපොදි එහි එක එක මතුයෙහි තබා තෙරුන් වටේට නිදි ගත්හ.
පසුදා උදෑසන ඔවුහු නිදන් නැගිට, තම තමන් තැබූ බඩුපොදි ගන්නෝ, තෙරුන් දැක, අමනුෂ්‍යයෙකැ යි සිතා දුවන්නට පටන් ගත්හ. එවිට ස්ථවිරයන් වහන්සේ, “උපාසකයෙනි! ඇයි, බිය නො වවු, මම පැවිදෙක්මි, තොපට මාගෙන් බියෙක් නැත, විපතක් නැත, සිටිවු” යි කීහ. මේ කතාව ඇසූ සොරු තෙරුන් පාමුල වැටී, “ස්වාමීනි! අපට කමන්න, අපි කණුවෙකැ යි සිතා මෙසේ කෙළෙමු, අපට කමන්නැ” යි තෙරුන් කමා කරවා ගත්හ. දෙටුසොරු “මම හාමුදුරුවන් ලඟ මහණ වෙමි” යි කී කල්හි අනික් සොරු ද, “අපිත් මහණ වන්නෙමු” යි එක් සිත් ව මහණකම ඉල්ලූහ. උන්වහන්සේ ඒ සියලු දෙනා පැවිදි කළහ. එතැන් පටන් තෙරුන්නාන්සේ ‘ ඛාණුකොණ්ඩඤ්ඤ’ යි ප්‍රසිද්ධ වූහ.
ස්ථවිරයන් වහන්සේ ඒ නවකයන් ගෙණ බුදුරජුන් වෙත ගියහ. බුදුරජානන් වහන්සේ, “කොණ්ඩඤ්ඤ තමුසේට ගෝලයන් ගොඩක්, කොයින් ද මොවුහු?” යි ඇසූහ. කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ඔවුන් පිළිබඳ සියලු තොරතුරු දන්වා ලුහ. බුදුරජානන් වහන්සේ මහණෙනි! එසේ දැ? යි ඇසු කල්හි, “ස්වාමීනි! මේ අන්දමේ පුදුමයක් නම්, මෙයට කලින් අප කවදාවත් දැක නැත, ඒ නිසා ම අපි මහණ වීමු” යි කීහ. “මහණෙනි! මේ අන්දමේ මෝඩ වැඩ කරමින් පව් රැස් කර කර අවුරුදු සියයක් ජීවත් ව ඉන්නවාට වඩා දැන් නුවණින් යුක්ත ව සිහි කල්පනා ඇති ව නිවැරදි ව එක දවසකුදු ජීවත් වන්නා වූ තොපගේ ඒ එක් දවසේ ජීවත් වීම අතිශය ශ්‍රේෂ්ඨ ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
යො ච වස්සසතං ජීවෙ දුප්පඤ්ඤො අසමාහිතො,
එකාහං ජීවිතං සෙය්‍යො පඤ්ඤාවන්තස්ස ඣායිනොති.
නුවණ නැත්තා වූ, දැහැමි වූ එක් අරමුණෙක නො පිහිටි සිත් ඇති යමෙක් අවුරුදු සියයක් ජීවත් වන්නේ ද (ඊට වඩා) නුවණැති ව ධ්‍යාන කරන්නහුගේ එක් දවසේ ජීවත් වීම ඉතා උතුම් වේ.
යො ච වස්සසතං ජීවෙ = යමෙක් අවුරුදු සියයක් ජීවත් වන්නේ ද
දුප්පඤ්ඤො = නුවණ නැත්තා වූ. මෝඩ වූ.
ශමථ - විදර්‍ශනා - මාර්‍ග - ඵල යන ලෞකික - ලෝකෝත්තර ප්‍රඥාවෙන් තොර වූයේ දුප්පඤ්ඤ නම්.
අසමාහිතො = එකඟ නො වූ සිත් ඇති. විසුරුනු සිත් ඇති. [1]
එකාහං ජීවිතං සෙය්‍යා = එක් දවසක් ජීවත් වීම උතුම් වේ. [2]
පඤාවන්තස්ස = ප්‍රඥාවත් වූ. නුවණැති.
ඣායිනො = ධ්‍යන කරන්නා වූ. [3]
නුවණ නැති ව එක් තැනෙක නො පිහිටා ගෙණ සියක් අවුරුද්දක් ජීවත් වීමට වඩා නුවණැති ව එක් තැනෙක පිහිටා ගෙණ එක් දවසක් ජිවත් වීම ඵලදායක ය. උතුම් ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂුහු පිළිසැඹියාවන් ලබා රහත් වූහ. ධර්‍මදේශනාව පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.
ඛාණුකොණ්ඩඤ්ඤස්ථවිර වස්තුව නිමි.