යො ච වස්සසතං ජීවෙ දුස්සීලො අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො සීලවන්තස්ස ඣායිනො.
දුශ්ශීල වූ, (උපචාරසමාධි අර්‍පණාසමාධියෙන්) සමාහිත නොවූ, යම් පුඟුලෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වන්නේ ද, ඔහුගේ ජීවත් වීමට වඩා සිල්වත් වූ, ශමථවිදර්‍ශනාභාවනායෙහි යෙදුනහුගේ එක් දවසකුදු ජීවත් වීම උතුමි.
අප බුදුරජුන් දවස සැවැත්නුවර වැසි කුලපුත්‍රයෝ තිස් දෙනෙක් බණ අසා පැහැදී පැවිදි වූහ. ඒ තිස් දෙන උපසම්පදාවට පැමිණ පස් වසක් ගෙවා බුදුරජුන් වෙත ගොස්, “අප විසින් පිරිය යුතු ධුර කෙතෙක් දැ” යි අසා දැන, තමන් මහලු බැවින් ග්‍රන්‍ථධූරය පුරන්නට නො හැකිය, යි තීරණයට බැස, විදර්‍ශනා ධුරයෙහි සිත් අලවා කමටහන් කියවා ගත්හ. ඉන් පසු ඔවුහු බුදුරජුන් වෙතින් එක් ම කැලයකට ගොස් කමටහන් වඩන්නට අවසර ඉල්ලූහ. බුදුරජානන් වහන්සේ “තමුසේලා යන කැලය කිනම් දැ” යි ඇසූ කල්හි, “අසුවල් කැල ය” යි කීහ. ඔවුනට එහි දී හිඟන්නකු නිසා බිය හට ගන්නා බව දුටු බුදුරජානන් වහන්සේ, සංකිච්චයන්, ඔවුන් හා ගිය කල්හි ඒ බිය සන්සිඳෙන බව හා මහණකම මුදුන් පැමිණෙන බව ද දත් සේක.
සංකිච්ච හෙරණ තෙමේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගෝලනමෙකි. උත්පත්තියෙන් සත් ඇවිරිදි ය. මවු තොමෝ සැවැත් නුවර පොහොසත් ගෙදරක ප්‍රභූ පවුලක උපන්නියක. සංකිච්ච දරුවන් කුස ඉන්ද දී ම හදිසියේ හට ගත් ලෙඩකින් ඕ තොමෝ මළා ය. මළ සිරුර ගින්නෙන් දවද්දී එහි දරුගැබ පිහිටි කොටස ඉතිරි ව දැවුනේ ය. ඒ දුටු මිනිස්සු නො දැවී ඉතිරි වු කොටස ගින්නෙන් බැහැරට ගෙණ එහි දෙ තුන් තැනකට හුල් වලින් ඇන්නාහ. එක් හුල් පහරක් කුස තුළ හුන් කුඩා දරුගේ ඇස කොණෙක වැදුනේ ය. මිනිස්සු නැවත නැවැතත් එයට හුල් වලින් ඇණ බැලුවෝ ද, කිසිවක් නො දැක එය ගිනි අඟුරෙහි ම ලා වසා දමා ගෙවලට ගියහ. ගැබ්මස දැවුනේ ය. රන්පිළිමයක් වැනි වූ දරු තෙමේ අඟුරු උඩ, පියුමක් මත හුන්නකු සේ හුන්නේ ය.
පශ්චිමභවිකසත්ත්‍ව තෙමේ මහමෙරින් මිරිකුනේ ද, එයට යට වුයේ ද රහත් නො වී නො මියෙන්නේ ය.
පසුදා නෑයෝ, සෑය නිවනට එහි ගියෝ අඟුරු උඩ හුන් දරු දැක පුදුමයට පැමිණ, මෙතෙක් දරගොඩක් වෙද්දීත් මුළු සිරුර ඉතිරි නො ව දැවෙද්දිත් මේ දරු නො දැවුනේ කුමක් නිසා ද, මෙයින් ඉදිරියෙහි වන්නේ කිමැ? යි සිතමින් කියමින් දරු ගෙණ ගොස් දරු පිළිබඳ තොරතුරු නිමිති දන්නන් අතින් අසා බැලූහ. ඔවුහු ලකුණු බලා, “මේ දරු ගෙදර සිටියේ නම්, හත් මුතු පරපුරෙක නෑයෝ හිඟා කන්නෝ ය, පැවිදි වූයේ නම්, පන්සියයක් පමණ මහණුන් පිරිවරා තැන තැන ඇවිදින්නේ ය, යි කීහ. දරුගේ ඇසෙහි කොණක් හුල් පහරට කැඩී ගොස් තුබූ බැවින් සඞ්කිච්ච යි ඔහුට නම් කළහ. ඔහු පසු කාලයෙහි ප්‍රසිද්ධියට ගියේ ද, එනමින් ම ය. ගෙයි අය, “වන්නෙක් වේවා, හොඳ යි, සුදුසු විය පැමිණේවා, එවිට අපගේ තෙරුන් වෙත පැවිදි කළ හැකි” යි හොඳින් රැක බලා ගත්හ. “තා මවු කුස වසද්දී තාගේ මවු කළුරිය කළා, මළ සිරුර දවද්දී කුස තුළ හුන් තෝ නො දැවුනෙහි” යි නුවර වැසි කුඩා දරුවන් කියනු අසා සංවේගයට පැමිණි ලදරු තෙමේ “මම මහත් බියකින් මිදී සිටිමි, එහෙයින් ගිහිකම් කිරීම මට නො සුදුසු ය, මට ගිහිකමෙන් වැඩෙක් නො වේ ය” යි නෑයන් වෙත කියා සිටියේ ය. ඔවුහු ද “තම අදහස පිරුණේ ය” යි දරු ගෙණ ගොස් සැරියුත් තෙරුන්ට පැවිදි කරණු පිණිස පාවා දුන්හ. ස්ථවිරයන් වහන්සේ තචපඤ්චකකර්‍මස්ථානය කියවා ඒ දරු පැවිදි කළහ. පැවිද්දට කෙස් කපද්දී ම හෙතෙමේ සිවු පිළිසැඹියාවන් ලබා රහත් වී ය. මේ සංකිච්ච හෙරණුන් පිළිබඳ කෙටිකතා ය.
වනයට යන්නට අවසර ඉල්ලා සිටි මහණුන්ගේ බිය සන්සිඳී මහණකම මුදුන් පැමිණෙන බව දුටු බුදුරජානන් වහන්සේ “තමුසේලා වනයට යන්නහු නම්, වැඩිමහල් සහෝදර වූ ශාරීපුත්‍ර තැන හමු ව ඒ ගැන කතා කර ගණිවු” යි වදාළ සේක. භික්‍ෂූන් වහන්සේලා “යහපතැ” යි පිළිගෙණ තෙරුන් වෙත ගිය කල්හි උන්වහන්සේ “ආයුෂ්මත්නි! ඔබ වහන්සේලා මෙහි ආවහු කිමැ” යි ඇසූහ. “ස්වාමීනි! අප බුදුරජුන් වෙතින් කමටහන් ගෙණ වනයට යන්නට සූදානම් වීමු, එවිට උන්වහන්සේ හාමුදුරුවන් වහන්සේ හමුව දැක කතා කොට යවු” යි නියම කළ බැවින් ඔබ වහන්සේ දැක, වැඳ පුදා යන්නට ආවෙමු” යි භික්‍ෂූන් වහන්සේලා දැන් වූහ.
ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “මා පිය බුදුරජානන් වහන්සේ මේ භික්‍ෂූන් නිකමට මෙහි නො එවන සේක, මොකක් නමුත් කරුණක් දැක මොවුන් මෙහි එවූහ” යි සිතන්නෝ කරුණ දැක, ඔබ වහන්සේලාට හෙරණෙක් සිටී දැ?” යි ඇසූහ. භික්‍ෂුහු “නැතැ” යි පිළිතුරු දුහ. “එසේ නම්, මේ සංකිච්චයන් කැඳවා ගෙණ යවු” යි කී විට “ආයුෂ්මත්නි! අපට හෙරණකුගෙන් වැඩෙක් නැත, එය අපට කරදරයෙක් වන්නේ ය, වෙනෙහි වසන අපට කුඩා නමක් වුවමනා නැතැ” යි කීහ. “ඇවැත්නි! එසේ නො සිතවූ, නො කියවු, මේ හෙරණ ගෙන් ඔබ වහන්සේලාට කිසිත් කරදරයක් නො වන්නේ ය, මේ නම අන් හෙරණුන් සේ නො වේ, සමහර විට ඔබ වහන්සේලාගෙන් ඒ කුඩානමට කරදර විය හැකි ය, බුදුරජානන් වහන්සේත් ඔබ වහන්සේලා නිකමට මෙහි නො එවූහ, තමුන්නාන්සේලා මෙහි අවුත් පෙරළා යන ගමනේ මා විසින් තමුන්නාන්සේලා සමග හෙරණකු පිටත් කරණු ඇතැ යි සිතා මෙහි එවූහ, ඒ නිසා මේ කුඩා නම කැටු ව යවු” යි ස්ථවිරයන් වහන්සේ කීහ.
එකල්හි ඔවුහු “යහපතැ” යි පිළිගෙණ හෙරණුන් ද ගෙණ තෙරුන් හමු ව වෙහෙරින් නික්ම පිළිවෙළින් යන්නෝ, එක්සිය විසි යොදුනකින් ඈත්හි වූ ගෙවල් දහසක් පමණ ඇති ගමකට ඇතුල් වුහ. එ ගම්වැස්සෝ, ඒ භික්‍ෂූන් දැක පහන් සිත් ඇති ව මනා කොට වළඳවා, “ඔබ වහන්සේලා කොහි වඩින්නහු දැ?” යි අසා “පහසු තැනක් බලා යන්නෙමු” යි කී කල්හි පාමුල්හි වැටී, “ස්වාමීනි! ස්වාමීන් වහන්සේලා මේ වස් තෙමස මෙහි වැඩ වසන්නෝ නම්, අපි තිසරණයෙහි පිහිටා පන්සිල් සමාදන් වී ගෙණ, පොහෝ දිනයන්හි පෙහෙ ව පින් දහම් කරන්නෙමු” යි, නවතින්නට ආරාධනා කළහ. උන්වහන්සේලා ඒ ආරාධනාව ඉවසූහ. ගම්වැස්සෝ ආරාධනාව ඉවසූබව දැන, රෑ වසන තැන් දාවල වසන තැන්, සක්මන් කරණ තැන්, පන්සල් කුටි සියල්ල පිළියෙල කොට වඩා හිඳුවා ඉතා ඕනෑ කමින් උපස්ථාන කළහ.
ඒ ස්ථවිරයන් වහන්සේලා වස් වසන දවසෙහි එක් තැනෙක රැස් ව “ඇවැත්නි! අපි ජීවමාන බුදුරජුන්ගෙන් කමටහන් ගෙණ ආවෝ වෙමු, පිළිවෙත් පිරීමෙන් ම බුදුරජුන් සතුටු කරණු මිසක් උගත් කමින් වත්පොහොසත් කමින් උන්වහන්සේ සතුටු කරණු බැරි ය, නිරයෙහි දොර නිතර ඇරී පවත්නේ ය, එහෙයින් උදය පිඬු සිඟා යන වේලාවත් සවස තෙරුන්ට උපස්ථාන කරණ වේලාවත් හැර අන් කිසි වේලාවක දෙදෙනකු එක් තැන් නො විය යුතු ය, යමක්හට අපහසුවෙක් වී නම්, ගෙඩිය ගැසූ කළ එහි ගොස් ඔහුට උවටැන් කළ යුතු ය, අද සිට මේ වනයෙහි ඒ ඒ තැන එකී ව සිට දිවා රෑ දෙක්හි ම නො පමා ව කමටහන්හි යෙදෙමු” යි නියම කර ගත්හ.
ඔවුන් මෙසේ ව්‍යවස්ථා කර ගෙණ වසන කල්හි ඒ අසල දුප්පත් මිනිසෙක් දුවකගේ ගෙදර නැවැතී ඇයගෙන් උවටැන් ලබමින් හුන්නේ ය. හෙතෙමේ ඒ දුවගේ ගෙයි කන්නට නැති වූ දවසෙක අනික් දුවක නිසා ජීවත් වෙමි, යි ඒ දුවගේ ගෙට යන්නට පිටත් ව මගට බැස්සේ ය. ඒ භික්‍ෂූන් වහන්සේලා ගමෙහි පිඬු සිඟා ගෙණ තමන් වසන තැන් බලා එන්නාහු, අතර මග දී ගඟකින් ස්නානය කොට කල්වේලා පැමිණි යෙන් එහි ම ඉවුරෙහි වැලි මත හිඳ දන් වැළඳූහ. ඒ දුප්පත් මිනිසා ද එහි පැමිණ පසෙකට වී සිටියේ ය. භික්‍ෂූන්, ඔහුගෙන් “කොහි යෙහි දැ” යි ඇසූ කල්හි හෙතෙමේ සියලු තොරතුරු කී ය. භික්‍ෂූන් වහන්සේලා ඒ තොරතුරු අසා ඔහු කෙරෙහි දයානුකම්පා ඇත්තාහු, “උපාසක! තමුසේගේ බඩගින්න බලවත් බව පෙනේ, කොළයක් ගෙණ එන්නැ” යි කොළයක් ගෙන්වා තමන් වළඳන හැටියට ම හැම දෙනා වහන්සේ එක් එක් බත් පිඬ බැගින් ඔහුට දුන්හ.
දන් වළඳන වේලෙහි එ තැනට පැමිණියෙක්හට බත් දෙන භික්‍ෂුනම විසින් තමන් වළඳන සැටියෙන් ම බත් පිඩක් හෝ එයට වැඩියක් හෝ දෙනු ලබන්නේ ය. ඔහු බත් කා තෙරුන් වැඳ, “ස්වාමීනි! ඔබ වහන්සේලාට මේ ලෙසට දන් දෙන්නට කළ ආරාධනා තිබේ දැ” යි ඇසී ය. “ඔව්, ආරාධනා තිබේ, දවස් පතා ම මිනිස්සු මේ ලෙසට දන් දෙත්” යි භික්‍ෂූන් කී විට, “අපට කොතරම් මහන්සි දැරුවත් මෙතරම් රසමසට කෑමක් ලැබෙන්නේ නැත, ඒ නිසා වෙන තැනක නො ගොස් මේ උන්නාන්සේලා ලඟ ම නැවතී ජීවිකාව කරමි” යි සිතා, “ස්වාමීනි! මමත් ඔබ වහන්සේලා වෙත ම නැවැතී වත් පිළිවෙත් කර ගෙණ මෙහි ම නවතින්නට කැමැත්තෙමි” යි කී ය. භික්ෂූහු එයට කැමැත්ත දුන්හ. උපාසක තෙමේ භික්‍ෂූන් සමග භික්‍ෂු නිවාසයට ගොස් වත් පිළිවෙත් කරමින් භික්‍ෂූන්ගේ සිත් ගෙණ වසන්නේ දෙමසකින් පසු දුව දකින්නට යන්නට සිතා, “ස්වාමීන් වහන්සේලාගෙන් ඇසුවොත් යන්නට ඉඩ නො ලැබෙන්නේ ය, එහෙයින් නො දන්වා ම යමි” යි සිතා ඒලෙසට නො දන්වා ම ගියේ ය. මේ කාලය තුළ ඔහු අතින් වූ ලොකු ම වරද භික්‍ෂූන්ට නො දන්වා ගිය මේ ගමන ය.
ඔහු, දුව බලන්නට ගියේ මහාවනයක් අසලින් වැටී තුබූ මගකිනි. ඒ වනයෙහි මංපහරන සොරු, නිතර හැසිරෙති. සොරු දෙවියන් පුදමින් එහි වෙසෙති. ඔවුහු “මේ වනයට යමෙක් පළමු කොට ඇතුල් වූයේ නම්, ඌ මරා උගේ මසින් හා ලෙයින් ඔබ වහන්සේට පිදේනි දෙන්නෙමු” යි දෙවියන්ට පඬුරු ගැට ගසා සිටියහ. එහෙත්, මේ වන තුරුත් එය ඉටු කිරීමට ඔවුන්ට ඉඩ නො ලැබුනේ ය. උපාසක, ඒ වනයට ඇතුල් වූයේ සොරුන්ගේ දේවතාරාධනාවෙන් සත්වන දිනයේ ය. එහෙයින් සොරදෙටු සත්වන දිනයේ කෙසේ නමුත් භාරය ඔප්පු කළ යුතුය යි සිතා ගසකට නැගී මිනිසුන් එනු බලමින් ගස උඩ හුන්නේ ය. මග එන උපාසකයා දුටු සොරදෙටු තෙමේ අවට සැඟ වී සිටි සොරුන්ට ඉඟි කෙළේ ය. ඔවුහු වන මැදට පැමිණි උපාසකයා ඉදිරියට කඩා පැන අල්ලා, යනු බැරි ලෙසින් තද කොට බැඳ දැමූහ.
අනතුරුව වියලි දඬුකඩ දෙකක් එකට ගටා ගිනි දල්වා වියලි දර කැබැලි ගොඩ ගසා ගින්න මහත් කොට එහි යකඩහුල් බහා ඒවා මුවහත් කළහ. ඒ දුටු උපාසක තෙමේ “යකඩහුල් මුවහත් කරන්නහු කුමට දැ” යි ඔවුන්ගෙන් ඇසී ය. “තා මරා තාගේ මසින් හා ලෙයින් මේ වනයෙහි අරක් ගෙණ සිටින දෙවියන්ට පිදේනි දෙන්නටය” යි උන් කී කල්හි මරණ බියෙන් බියපත් උපාසක තෙමේ, භික්‍ෂූන් කළ උපකාර ගැණ නො සලකා තම දිවි රැක ගන්නට “පින්වත්නි! මම හිඟන්නෙක්මි, උනුන් කා ඉතිරි කොට කසළ ගොඩට දමන බත් ටිකක් කා ජීවත් වන්නෙමි මම, එබඳු කාලකණ්ණියකුගේ මසින් ලෙයින් දෙවියන්ට පිදේනි දීම දෙවියන්ගේ සතුට පිණිස, ඔබ තුමන්ලාගේ වැඩීම පිණිස නො වන්නේ ය, මාගේ මස් ලේ අපිරිසිදු ය, එයින් දෙවියන් පිදීම යුතු නැත, මම එකක් කියමි, රජකුලවලින් නික්ම පැවිදි වූ තිස් එක් නමක් භික්‍ෂූහු, අන්න, අතන වාසය කරත්, ඔවුහු පිරිසිදු පුරුෂයෝ ය, ඔවුන්ගේ මස් ලේ පිරිසිදු ය, ඒ නිසා ඒ භික්‍ෂූන් මරා උන්ගේ මසින් හා ලෙයින් ඔය පිදේන්න පිළියෙල කිරීම ය සුදුසු, එසේ කළා ම දෙවියන්ගේ සිත් සතුටු වන්නේ ය, ඔබ තුමන්ලාගේ දියුණුව ද එයින් ම ලැබෙන්නේ ය” යි කී ය. “අහෝ! දුර්‍ජන ලෝක ය. අහෝ කළගුණ නො සලකන ලෝක ය. අහෝ අසත්පුරුෂයලෝක ය.”
සොරු ද මොහුගේ කීම පිළිගත්හ. “මූ කාලකණ්ණියකු බව හැඩහුරු කමින් ම පෙනේ, මූගේ මස් ලේ පිදේන්නට නො සුදුසු ය, හොඳ වංශවත් මිනිසක්හුගේ මස් ලෙයින් පිදේනිය පිළියෙල කළ හැකි නම් වඩා හොඳ යයි පිළිගත් හොරු, වර යන්නට, උන් ඉන්නා තැන පෙන්වාලව” යි ඌත් ගෙණ ඌගෙන් පාර අසමින් භික්‍ෂූන් වසන තැනට ගියහ. හොරු එහි යන වේලේ භික්‍ෂූහු එහි නො වූහ. එවිට ඔවුන් “කෝ බොල! උන්නාන්සේලා?” යි උපාසකයාගෙන් ඇසූහ. “ඔවුහු තම තමන් අයත් කාමරවල භාවනා කරමින් සිටිති, අර පෙනෙන ගෙඩිය ගැසූ විට සියලු දෙන එක් තැන් වෙති, ඔවුන්ගේ ව්‍යවස්ථාව එසේ ය” යි ඌ කී විට සොරදෙටු තෙමේ ගෙඩිය ගැසූයේ ය. භික්‍ෂූහු ගෙඩිහඩ අසා “වෙනදා නො ගසන වේලාවෙක ගෙඩිය ගසන ලද්දේ ය, කාට නමුත් කරදරයෙකැ” යි සිතා තම තමන් හුන් කාමරවලින් වහා එලියට බැස, වෙහෙර මැදට ගොස්, එහි තිබූ ගල්ලෑලි උඩ වාඩි ගත්හ.
ප්‍රධාන ස්ථවිරයන් වහන්සේ හොරුන් දෙස බලා “ගෙඩිය ගැසුවෝ කවුරු දැ?” යි ඇසූහ. “ස්වාමීනි! මම” යි සොරදෙටු තෙමේ කී ය. “කුමක් නිසා ගෙඩිය ගැසූයෙහි දැ” යි ඇසූ විට “මේ වනයෙහි අරක් ගත් දෙවියන්ට අප දුන් පොරොන්දුවක් තිබේ, එය ඉටු කිරීමට මෙයින් මහණකු ගෙණ යන්නට වුවමනා බැවිනැ” යි කී ය. එවිට ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට කතා කොට, “ඇවැත්නි! සහෝදරයන් පිළිබිඳ කටයුත්තක දී පළමුවෙන් එහි ලා ඉදිරිපත් විය යුත්තේ වැඩිමල් සහෝදරයා ය, වැඩිමලා ම එහි බර කරට ගත යුතු ය, එහි ලා වග කිය යුතු ය, එහෙයින් මම මොවුන් සමග යමි, කිසිවක් හටත් අනතුරෙක් නො වේවා, තමුන්නාන්සේලා පැමිණි කටයුත්තෙහි අප්‍රමත්ත ව මහණ කම මුදුන් පමුණුවා ගණිවු” යි කී ය.
අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ නැගී සිට, ‘ස්වාමීනි! එසේ නො වදාරනු මැනැවි, වැඩිමාල් සොහොයුරාගේ කටයුතු අයිති බාල සොහොයුරාට ය, ඒ නිසා ඔය ගමන අයිති මට ය, මම යමි’ යි කීහ. මේ ලෙසින් ඒ පිරිසෙහි වූ හැම දෙනා වහන්සේ ම ‘මම යමි, මම යමි’ යි නැගී සිටියාහ. ඒ භික්‍ෂූන් වහන්සේලා එක් මවකගේ එක් පියකුගේ දරුවෝ නො වූහ. වීතරාගීහු ද නො වූහ. එහෙත් හැම දෙන ම සෙසු පිරිස සඳහා දිවි දෙන්නට කැමැති වූහ. ඔවුන් අතරෙහි, ‘තමුන්නාන්සේ යා යුතු’ යි කියනට එකෙකුත් සමර්‍ත්‍ථ නො වී ය.
සංකිචව හෙරණ තෙමේ මේ භික්‍ෂූන්ගේ කතා අසා, “ස්වාමීනි! ඔබ වහන්සේලා කිසිවකුත් මේ ගමන යා යුතු නො වේ, යා යුත්තේ මම ය, එහෙයින් මම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දිවි දෙමි, මම යමි” යි නැගී සිටියේ ය. එවිට භික්‍ෂූන් වහන්සේලා “හා! මේ ගමන එසේ යෑමට ඉඩ නො දිය හැකි ය, යන්නමෝ නම්, අපි කවුරුත් යමු, එකලා වූ තට යන්නට ඉඩ දෙනු බැරිය” යි කීහ. “ඇයි ස්වාමීනි! එසේ කියහු?” යි හෙරණුන් ඇසූ විට, “ඔබ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන්ගේ ගෝලනමෙකි, සාමාන්‍ය ස්ථවිර කෙනකුගේ ගෝලයෙක් නො වහු, තොප ගොස් මෙයට බිලි වුවොත් මාගේ කුඩා නම, ගෙණ ගොස් හොරුන්ට පාවා දුන්නහු, යි ස්ථවිරයන් වහන්සේ අපට දොස් කියන්නෝ ය, ඒ දෝෂය මග හැර ගැණිම ඉතා ම අපහසු ය, ඒ නිසා අප විසින් විශේෂයෙන් ඔබ රැකිය යුත්තහු ය, මේ ගමනට ඉඩ දෙනු නො හැකි ය” යි භික්‍ෂූන් වහන්සේලා කීහ. “ස්වාමීනි! ඔබ වහන්සේලා කුමක් කියහු ද, බුදුරජානන් වහන්සේ ඔබ වහන්සේලා මාගේ ගුරු හාමුදුරුවන් වෙත එව්වෝත්, මාගේ ගුරු හාමුදුරුවෝ මා ඔබ වහන්සේ ලා කැටුව එව්වෝත් මේ කරදරය දැන වදාරා ය, ඒ නිසා මේ කරදරය මා පිටට ගත යුතු ය, මා විසින් ම ය එය බේරා දැමිය යුත්තේ, ඒ නිසා මට යන්නට අවසර දෙනු මැනැවි, මම යමි, මා අත යම් වරදක් තිබේ නම්, ඒ හැමට කමා කරන්නැ” යි කමා කරවා ගෙණ හෙරණ තෙමේ යන්නට පිටත් වී ය.
ඒ වේලෙහි භික්‍ෂූන් වහන්සේ තුළ මහත් සංවේගයෙක් උපන. කඳුලු කඩා වැටෙන්නට වන. පපු ගැහෙන්නට වන. පා සැලෙන්නට වන. මහතෙරුන් වහන්සේ “උපාසකයෙනි තොප ගිනි දැල්වන විට හුල් මුවහත් කරණ විට කොළ අතුරන විට ඒවා දැකීමෙන් මේ ලදරු බිය විය හැකි ය, ඒ නිසා ලදරුවාට නො පෙනෙන්නට ඒ කටයුතු කර ගණිවු” යි හොරුන්ට කීහ. හොරු හෙරණුන් ගෙණ ගොස්, හෙරණුන් පසෙක හිඳුවා මහතෙරුන් කී ලෙසට ඒ කටයුතු අවසන් කළහ. ඉන් පසු සොරදෙටු කඩුව කොපුවෙන් ඇද ගෙණ හෙරණුන් ඉදිරියට ආයේ ය. සොරු කියූ තැන හිඳ ගත්තා වූ හෙරණ තෙමේ ධ්‍යානයට සම වැදැ ම හිඳ ගත්තේ ය. සොරදෙටු කඩුව, අර අත මේ අත පෙරළ පෙරළා අවුත් හෙරණුන්ගේ කරට කඩු පහරක් දුන්නේ ය. එ කෙණහි කඩුව නැමී, දෙ මුවහත, එකෙක එක හැපී හැකිළී සිටියේ ය. හොර තෙමේ “මේ කඩු පහර හොඳට නො වැදුනේ ය” යි සිතා කඩුව ඇද දිග හැර, ඇද කුද හැර, නැවැතත් පහරක් ගැසී ය. එවර එය තල් පතක් සේ කඩුමිට දක්වා හැකිලී ගියේ ය. එ වේලෙහි මේ හෙරණුන් මහමෙරිනුත් යට කොට මරන්නට සමතෙක් මේ ලොව නො වූයේ ය. මහමෙරට යට වුවත් ඒ වේලෙහි සාමණේර තෙමේ නො මියෙන්නේ ය. එසේ නම් කඩු පහරින් කෙසේ මියෙන්නේ ද.
මේ දැක පුදුමයට පැමිණි සොර තෙමේ “මාගේ මේ කඩුව ඉස්සර නම් ගල්කණුවක් කිහිරිකණුවක් වුවත් කපා හෙලීමෙහි සමත් ය, දැන් එක්වරක් නැමී ගියේ ය, එක්වරක් තල්කොළයක් හැකිළෙන්නා සේ හැකිලී ගියේ ය, මේ කඩුවට සිත් පිත් නැත ද හෙරණුන්ගේ ගුණ දන්නා සේ ය, මට සිත් පිත් තුබුන ද මම ඒ නො දනිමි” යි කඩුව බිම දමා හෙරණුන්ගේ පාමුල වැටී යටි කුරුව, “ස්වාමීනි! අපි ධනය සොයන්නට මේ වනයට පැමිණියෙමු, ඒ අප දුරදී වුවත් දුටු කල එක් ව සිටි දහස් ගණන් මිනිස්සු ද තැති ගණිති, වෙවුලති, දෙතුන් විටක් කතා කරන්නට අපොහොසත් වෙති, ඔබ වහන්සේට බින්දුවක් තරමටවත් තැති ගැණීමෙක් වෙවුලීමෙක් නැත, කෝවමුවෙහි සිටි ස්වර්‍ණයක් සේ ද, පිපීගිය කිණිහිරි මලක් සේ ද, ඔබ වහන්සේගේ මූණ දිලිසෙන්නේ ය, එයට හේතු කිමැ” යි.
තැති ගැන්මෙක් ඔබට නැත - නැත බියෙක් වත් කිසි,
සිරුරේ පැහැය දිලිසේ - මෙබඳු බිය ඇති කල්හිත්.
.
එබැවින හිමියනේ! - මෙහි ලා නො අඬනෙහි කිම,
කරුණු පහදා දෙනු මැන - ඉතිරි නො කොට මැනැවින්.
යි මෙසේ විචාළේ ය.
එකෙණෙහි ධ්‍යානයෙන් නැගී සිටි හෙරණ තෙමේ ඔහුට “සොරදෙටුව! රහතුන් වහන්සේ සිය අත්බව හිස තුබූ බරක් වැනි ය, එය නැසී වැනසී බිඳී යන කල්හි උන්වහන්සේ සතුටු වෙති, එයට බිය නො වෙති” යි වදාරා,
හැරියහුට අත්බව - දුක් නැත සිතේ ගණදෙටු!
සුන් කළ බැඳුම් ඇති - ඉසි සියලු බිය ගෙව්වේ.
.
රහතුන් ඇලුම් හා - දුක් දහම් ඇති සැටි දත්,
මරණය බියට නො කරුණු - බර බහා තැබුමක් සේ.
යි ධර්‍මදේශනා කෙළේ ය.
සොරදෙටු තෙමේ සෙසු හොරුන් දෙස බලා, “තොපගේ අදහස් කෙසේ ද, මේ මහණහුට කුමක් කරන්නට තොපි සිතහු දැ?” යි ඇසී ය. ඔවුහු එක්විට ම “ඔබ වහන්සේ ?” යි ඇසූහ. “මම මෙයට කලින් කිසි ම දිනෙක මෙබඳු පුදුමයක් නො දුටිමි, මට සිතෙන්නේ ගිහිගෙය හැර දමන්නට ය, මේ ස්වාමීන් වහන්සේ ලඟ පැවිදි වන්නට ය, මම එසේ කරමි” යි හොරදෙටු කී විට සෙසු සොරුත් “අපිත් පැවිදි වෙමු” යි කීහ. මෙසේ කතා කොට ගෙණ, සොරු සියලු දෙන හෙරණුන් වැඳ මහණ කම ඉල්ලූහ. හෙරණ තෙමේ ඔවුන් අත තිබූ කඩුවලින් ම කෙරැවුලු ගා දමා රෙදිකඩමාලු ම දාවලු සිඳ දමා, තඹ පැහැති මැටි, දිය කොට පොවා ඒ රෙදිකඩ අන්දවා දසසිල් ගන්වා ඔවුනුත් ගෙණ මග බැස යන්නේ, “මම තෙරුන් වසන තැනට නො ගොස් පිට පාරේ ම ගියෙම් නම්, උන්වහන්සේලාට අස්වැසිල්ලෙක් නැත, මහණදම් නිසි සේ කරණු නො හැකි ය, සොරුන් මා ගෙණ ගිය දවසේ පටන් නො අඩා සිටින එක නමකුත් නැත, කඳුලු නො වගුරන්නෙක් නැත, හෙරණ තෙමේ මරණ ලද ද, නො මරණ ලද දැ යි යන සිතිවිල්ලෙන් කල් යවන උන්වහන්සේලාගේ සිත කමටහනට නො නගින්නේ ය, ඒ නිසා එහි ගොස් උන්වහන්සේලා හමු ව කතා කොට යමි” යි සිතා වනයෙහි දී පැවිදි කර ගත් නවකයන් පිරිවරා ගෙණ එහි ගියේ ය.
හෙරණුන් දැකීමෙන් අස්වැසුනු ඒ ස්ථවිරයන් වහන්සේලා, “කොහොම ද, සංකිච්ච! දිවි ලද දැ?” යි ඇසූහ. හෙරණ තෙමේ “එසේ ය, ස්වාමීනි! මොවුහු මා මරන්නට මහන්සි ගත්තෝ ද, නො හැකි ව මාගේ ගුණයෙහි පැහැද බණ අසා පැවිදි වූහ, මම ඔබ වහන්සේලා දැක යන්නට මෙහි ආයෙමි, පමා නො වී මහණ දම් කරණු මැනැවි, මම බුදුරජුන් වෙත යමි” යි ඒ භික්‍ෂූන් වැඳ අවසර ගෙණ නවකයන් ද කැටු ව පළමු කොට උපාද්ධ්‍යායයන් වෙත ගියේ ය. උන්වහන්සේ “කොහොම ද, සංකිච්ච! ගෝල පිරිසක් ලැබුයෙහි?” යි ඇසූ විට, “එසේ ය ස්වාමීනි! ලැබූයෙමි” යි සියලු තොරතුරු දන්වා සිටියේ ය. ඉක්බිති සංකිච්ච හෙරණ තෙමේ බුදුරජුන් වෙත ගියේය. උන්වහන්සේ ද තොරතුරු අසා, “එසේ ද සංකිච්ච” යි අසා “එසේ ය” යි කී කල්හි “මහණෙනි! තොපි සොරකම් කරමින් දුශ්ශීල කම් කරමින් මෙතෙක් දවස් ගෙවූ වහු ය, එසේ පව්කම් කරමින් අවුරුදු සියයක් ජීවත් වීමට වඩා දැන් මෙසේ ශීලයෙහි පිහිටා මනා පැවැතුම් ඇති ව එක් දවසක් ජීවත්වීම ම අතිශය ශ්‍රේෂ්ඨ” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
යො ච වස්සසතං ජීවෙ දුස්සීලො අසමාහිතො,
එකාහං ජීවිතා සෙය්‍යො සීලවන්තස්ස ඣායිනො ති.
දුස්සීල වු, එක දැහැමි අරමුණෙක නො පිහිටි සිත් ඇති යමෙක් අවුරුදු සියයක් ජීවත් වන්නේ ද, (ඔහුගේ ඒ ජීවත් වීමට වඩා) සිල්වත් ව ධ්‍යාන කරනහුගේ එක් දවසක් ජීවත්වීම උතුම් වේ.
යො ච වස්සසතං ජිවෙ = යමෙක් අවුරුදු සියයක් ජීවත් වන්නේ ද.
දුස්සීලෝ = සිල් නැත්තා වූ.
සිල් නැත්තේ දුස්සීල නම්. එහි ‘දුස්සීලො ති නිස්සිලො, සීලවිරහිතොති අත්‍ථො’ යනු අටුවා ය.
ශ්‍රමණ දුශ්ශීල - ගෘහස්ථදුශ්ශීල යි දුශ්ශීල තෙමේ දෙවැදෑරුම් ය.
ශ්‍රමණජීවිතය දෙවියන් සහිත ලෝකයට වැඩ වන පරිදි සකස් කරනට බුදුරජුන් පැන වූ ශික්‍ෂාපදසමූහය, ආපත්තිස්කන්‍ධ වශයෙන් සතෙකි. පාරාජිකා - සංඝාදිසේස - ථූල්ලච්වය - පාචිත්තිය - පාටිදෙසනීය - දුක්කට - දුබ්භාසිත, යි. එහි පාරාජිකා - සංඝාදිසෙස ආපත්තිස්කන්‍ධයෝ, ආදිබ්‍රහ්මචරියකසීලයෙහි ද, සෙසු ආපත්තිස්කන්‍ධයෝ ආභිසමාචාරිකසීලයෙහි ද ඇතුළත් වෙති. එහි ‘යානි වා පන සික්ඛාපදානි ඛුද්දානුඛුද්දකානීති වුත්තානි, ඉදං ආභිසමාචාරිකං, සෙසං ආදිබ්‍රහ්මචරියකං’ යනු ආචාර්‍ය්‍යවචනයි.
යම් උපසම්පන්නයකු විසින් ආදිබ්‍රහ්මචරියකසීලයෙහි ගැණෙන පාරාජිකා - සංඝාදිසේස ආපත්තිස්කන්‍ධ දෙකට ඇතුළත් ශික්‍ෂා පදයෙක් මඩින ලද්දේ නම්, හෙතෙමේ ශ්‍රමණදුශ්ශීල නම් වේ. එහි ලා මේ ද දත යුතු ය. පාරාජිකාපත්තිස්කන්‍ධයට අයත්, ආපත්තීන් ඡේද්‍යගාමිනී බැවින්, පාරාජිකාපත්තියකට පැමිණියේ ම ඒකාන්ත දුශ්ශීල වන්නේ ය. හෙතෙමේ එයින් ශාසනයෙන් සහමුලින් ගිලිහී ගියේ ය. ඔහුට පිළියම් නො කොට හැකි ය.
සංඝාදිසේසාපත්තීන් උත්‍ථානගාමිනී බැවින්, සඞ්ඝාදිසේසාපත්තියකට පැමිණි මහණ තෙමේ දුශ්ශීල වූයේ ද ඔහුට ඒ දුශ්ශීල භාවයෙන් නැගී සිටිනු හැකි ය. ඔහු නැවැත සිල්වත් කරන්නට පිළියම් ඇත්තේ ය. එහෙයින් ඔහු සතෙකිච්ඡ ය. අභව්‍ය ම නො වේ. පිළියම් ලබනතුරු දුශ්ශීල වේ.
ආභිසමාචාරිකසීලයෙහි ලා ගැණෙන අන්‍යාපත්තිස්කන්‍ධ පසට අයත් ශික්‍ෂාපදයක් දැන දැන ව්‍යතික්‍රමණය කෙළේ ද, දුශ්ශීල වේ. මෙතෙමේ දුශ්ශීල වූයේ ආචාරවිපත්තියෙනි. මෙ කී ආපත්තිස්කන්‍ධ පස දේශනාගාමිනී බැවින්, විධි වූ පරිදි උපසපන් මහණකු පාමුල එය ආරෝචනය කිරීමෙන් නැවැත දේශනාමාත්‍රයෙන් සිල්වත් විය හැකි ය. පිරිසිදු වනතුරු මෙතෙමේත් දුශ්ශීල ය යි කියන ලද්දේ ය.
මෙහි පාරාජිකා - සංඝාදිසේසාපත්තීහු ශීලවිපත්තියෙහි ද, ථුලච්චය - පාචිත්තිය - පාටිදේසනීය - දුක්කට - දුබ්භාසිතාපත්තීහු ආචාර විපත්තියෙහි ද ඇතුළත් වෙති. මෙකී ආපත්තීන් පිළිබඳ කෙටිකතාවක් ඉදිරියෙහි එන්නී ය.
සාමණේරදුස්සීල තෙමේ ද, ශ්‍රමණදුශ්ශීලයන්ගේ ගණයෙහි වැටේ. හෙරණසීලය ද ආභිසමාචාරික - ආදිබ්‍රහ්මචරියක වසයෙන් දෙ පරිදි ය. පන් සත්තෑවක් සෙඛියාවත් ද, ආගන්තුක වත් ආදී තුදුස් කඳුවත් ද, සුක්කවිසට්ඨි ආදි ලෝකවද්‍ය සම පනසක් ශික්‍ෂා ද ආභිසමාචාරිකසීලයෙහි ඇතුළත් ය.
දසසිල් - දසසික - දසපරිජි - දසනාසනා - දසදඬුවම් යන සමපනස් භේදගත දසසීලය, ආදිබ්‍රහ්මචරියකසීලයෙහි ඇතුළත්ය. මෙකී දසසීලය, ආදිබ්‍රහ්මචරියකසීලය, යි කී සේ ය.
පණිවායෙන් දුරුවීම - අයිනාදනින් දුරුවීම - අබ්‍රම්සරින් දුරු වීම - මුසවායෙන් දුරුවීම - රහමෙරින් දුරුවීම - විකල්බොජුනෙන් දුරුවීම - නටනු ගණු වයනු විසුළු දැක්මෙන් දුරුවීම - මල්ගඳ විලවුන් ඈ දැරීමෙන් දුරුවීම - උසසුන් මහසුනෙන් දුරුවීම - රන්රිදී මසු කහවණු පිළිගැන්මෙන් දුරුවීම යන මෙ දස හෙරණහු පිළිබඳ දසසීලය යි. මෙය ම හික්මිය යුතු බැවින් දසසික ද වේ.
දැන දැන සතක්හු දිවිගැලවුම - දැන දැන දනා අයත් දෑ සොර සිතින් ගැණුම - දැන දැන තිරිසන් ගිය මාගමක් හා ද මෙවුන් දම් සෙවුම - දැන දැන සිනාමුසු බසිනිදු මුසවාකීම - දැන දැන පිණිබිඳක් සා ද, රාටිකක් පීම - බුදුරුවන්හි අයුණුකීම - දමුරුවන්හි අයුණු කීම - සඟුරුවන්හි අයුණු කීම - පුවතක් මෙහෙණක හා ද මෙවුන් දම් සෙවුම - අනියත මිසදිටුගැණුම යන මෙදස, හෙරණහු පිළිබඳ පරිජි වේ. මේ එකක් ම හෙරණහුගේ දුසිල් බවට පමණ ය. මේ දසය ම දසනාසනා නම් ද වේ. මෙහි පසෙක් ලිඞ්ගනාසනා ය. පසෙක් සර්‍වනාශනා ය. දසපරිජියෙහි මුල්පස ලිඞ්ගනාසනා ය. සෙසු පස සර්‍වනාශනා ය.
සංවාසනාසනා - ලිඞ්ගනාසනා - දණ්ඩකම්මනාසන යි නාසනා තුනෙකි. එහි ධර්‍මාමිෂසම්භොගයන් තහනම් කොට උතේක්‍ෂපණීය කර්‍මයෙන් බැහැර කිරීම සංවාසනාසනා නම්. සිවුරු හරවා ඉවත් කිරීම ලිඞ්ගනාසනා නම්. රත්නත්‍රය ඇසුරු කිරීමෙන් බැහැර කිරීම් දණ්ඩකම්මනාසනා නම්. හෙරණසිකෙහි සබ්බනාසනා යි කීවා මේ දණ්ඩකම්මනාසනා ය.
යම් හෙරණෙක් ප්‍රාණඝාතාදීන් අතුරෙහි එකකුදු කෙරේ නම් හෙතෙමේ ලිඞ්ගනාසනයෙන් නැසිය යුතු ය. සිවුරු හරවා ඉවත් කළ යුතු ය. කුරුකුහුඹුවකු පවා මැරූ මකුණුබිජුවක් පවා නැසු හෙරණ තෙමේ සිවුරු හරවා බැහැර කළ යුතු ය. ඒ නැසූ කෙණෙහි ම සරණගමණය - උපාධ්‍යායග්‍රහණය - සෙනාසන ග්‍රහණය යන මොවුහු ද නැසී යත්. සඞ්ඝලාභයෙන් පිරිහෙයි. ශ්‍රමණලිඞ්ග මාත්‍රය ම ඉතිරි වේ. ගුණය මුළුමනින් නැති වී යයි. මෙසේ පාරාජිකාවට පැමිණි හෙරණ තෙමේ ගැවසී ගත් වරද ඇත්තේ මතු සංවරයෙහි නො පිහිටා ද, නැවැත පැවිදි නො කොට බැහැර කළ යුතු ය.
හෙරණහු පිළිබඳ විකාලභෝජන ශික්‍ෂාපදය පටන් ජාතරූප රජත ප්‍රතිග්‍රහණශික්‍ෂාපදය තෙක් ඇති අනික් ශික්‍ෂාපද පස බිදී ගිය කල්හි සිවුරු නො හරවා වැලිදඬුවම් ආදිය දිය යුතු ය. ශික්‍ෂා පද ගැන්වුව ද නො ගැන්වුව ද වරදෙක් නො වේ. එහෙත් ආයති සංවරයෙහි පිහිටුවනු පිණිස වැලිදඩුවම් දී සිකපද ද දිය යුතු ය.
විකාල භෝජනාදීන් අතුරෙහි එකක් කළ හෙරණහුට ද, සෑමලු බෝමලු ආදියට ගණන් විසින් වැලි දිය ඇදීමට නියම කොට ඒ ඇද දැමූ කල්හි, ආයතිසංවරය පිණිස සිල් දිය යුතු ය යි කීසේ ය.
ගුරුන් නො විචාරා ගම්වැදීම, මුදල් ගණුදෙනු කිරීම, නො කැප පිරිකර සෙවුම, මාගමුන් හා මිතුරුබව, ලදරුවන් හා මිතුරු බව, වෙළඳාමිකිරීම, වෙදකම් කිරීම, නැකැත්කීම, යන්ත්‍රබැඳීම මන්ත්‍ර කිරීම, අගෝචරස්ථානයන්හි හැසිරීම, වත් පිළිවෙත් නො කිරීම යන මේ ආදිය ද වැලි දඬුවම් දී ආයතිසංවරය පිණිස සිල් දිය යුතු වරදැ යි බණ පොත කියාලන්නේ ය.
පැවිද්දන් ලබන ලාභයෙන් පිරිහෙලීම, පැවිද්දන්ට අනර්‍ත්‍ථ පිණිස ප්‍රයෝගකිරීම, පැවිද්දන් ආවාසයෙන් නෙරපීමට ප්‍රයෝග කිරීම, පැවිද්දන්ට ආක්‍රෝශපරිභව කිරීම, පැවිද්දන් පැවිද්දන් කෙරෙහි භේදකිරීම යන මේ පස, හෙරණහු වසන සෙනසුන් හා සඞ්ඝාවාස, භෝජනශාලාදියෙන් නෙරපා දැමීමට හේතු වන වරද ය. මෙකී වරද කළ හෙරණුන් පන්නා හැරීම අචාර්‍ය්‍යොපාධ්‍යයයන් විසින් කළ යුතු ය. මෙහි මුලින් දැක් වූ ආභිසමාචාරික ආදිබ්‍රහ්මචරියක සීලයන්ගෙන් ගිලිහුනු හෙරණ තෙමේ ශ්‍රමණදුශ්ශීල නම් වේ.
ගිහියා පිළිබඳ සීලයෙන් සිල්වත් නො වූයේ ගෘහස්ථදුශ්ශීල නම් වේ. ‘උපාසක උපාසිකානං නිච්චසීලවසෙන පඤ්චසිකාඛාපදානි, සති වා උස්සාහෙ දස, උපොසථඞ්ගවසෙන අට්ඨාති ඉදං ගහට්ඨසීලං’ උපාසක - උපාසිකාවන් පිළිබඳ නිත්‍යශීල වශයෙන් පඤ්චසීලය ද, උත්සාහය ඇති කල්හි දසසීලය ද, උපෝසථ වසයෙන් අටසීලය යන මෙ තුන ගෘහස්ථශීල යි කියන ලද්දේ ය. පංචසීලයත් දසසීලයත් නිත්‍යශීල වේ. උත්සාහය ඇති සම්බාධ (කරදර) නැති ගිහියන්ට නිතොර හැම වේලේ ම රැකිය හැකි බැවින් ඒ නිත්‍යශීල වේ. කොතෙක් ගැහැට තුබුන ද, ගිහියා විසින් පන්සිල් නො කඩ කොට නිතොර ව රැකිය යුතු ම ය.
ගිහිසීලය, බ්‍රහ්මචරියකපංචසීලය යන ඈ ලෙසින් විස්තාරයට ගියේ ද, මෙහි මෙසේ සිල් තුනක් කොට දක්වන ලද්දේ සියල්ල පොදු වසයෙනි. සියල්ලනට සාධාරණ සේ ය.
මෙහි ඉතා කොටින් දැක් වූ දුශ්ශීලභාවය සිකපද සමාදන් ව නො ගැනීමෙන් හා සමාදන් වූ සිකපද බිඳීමෙන් හා වන්නේ ය යි ද, මේ දෙකින් පළමුවැන දෙවැන්න තරම් සාවද්‍ය නො වේ ය, යි ද කීහ.
සීලය ලෞකික - ලෝකෝත්තර විසින් බෙදෙන කල්හි දුශ්ශීල භාවය වන්නේ ලෞකික ශීලය පිළිබඳ ය. ලෝකෝත්තර ශීලයෙන් සිල්වත් වූවහුගේ දුශ්ශීලභාවයෙක් මොනලෙසකිනුත් නො වේ. දුශ්ශීල වනුයේ ලෞකික ශීලයෙනි. එය නිතර කැඩී බිඳී සිඳී යැමට පහසු බැවිනි. ලෝකෝත්තර ශීලයෙහි එසේ බිදී යෑමෙක් සිඳී යෑමෙක් නැත. එයින් සිල්වත් වූයේ සිල්වත් වූයේ ම ය. එහෙයින් මෙහි ප්‍රධාන විසින් දුස්සීල යි වදාළෝ මාර්‍ගයට පූර්‍වභාගයෙහි කොට රැකිය යුතු වූ ලෞකික ශීලයෙන් තොර වූවහු ය.
අසමාහිතො = එක අරමුණෙක නො පිහිටියා වූ එකඟ නො වූ.
උපචාර - අර්‍පණා විසින් දෙවැදෑරුම් වූ සමාධීන්ගෙන් සමාහිත නො වූයේ, එක අරමුණෙක නො පිහිටි සිත් ඇත්තේ, උපචාර - අර්‍පණා සමාධීන්ගෙන් ඔබා ගත යුතු කෙලෙස් ඔබා නො ගත්තේ අසමාහිත නම්.
උපචාරසමාධි නම්, කාමරාග - ව්‍යාපාද - ථීනමිද්ධ - උද්ධච්චකුක්කුච්ච - විචිකිච්ඡා යන පංචනීවරණයන් යටපත් වීමෙන් කාමාවචර සිතෙහි ඇතිවන එකඟබව ය. සිතේ නො විසිරී පැවැත්ම ය. උපචාර සමාධිය ලැබීමේ දී පංචනීවරණයන් දුර ගසා යෑමෙන් යටපත් වීමෙන් සිත සමාහිත වන්නේ ය. මේ එකගබව අර්‍පණා ලඟ හැසිරෙන බැවින්, උපචාර සමාධි යි හඳුන්වනු ලැබේ.
අර්‍පණාසමාධිය ලෞකික - ලෝකෝත්තර භේදයෙන් දෙපරිදි ය. එහි ලෞකික අර්‍පණා සමාධි නම්, විතර්‍කාදිධ්‍යානාඞ්ග පහළ වීමෙන් රූපාවචර භාවයට හෝ අරූපාවරභාවයට පැමිණි සිතෙහි ඇති වන ඉතා බලගතු එකඟබව ය. ලෝකෝත්තර අජීණාසමාධි නම්, නිවන් අරමුණු කොට උපදින මාර්‍ග - ඵල සිත්හි ඇතිවන එකඟ බව ය. අර්‍පණාසමාධිය ලැබීමෙහි දී විතර්‍කාදිධ්‍යානාඞ්ගයන් පහළ වීමෙන් සිත සමාහිත වන්නේ ය. උපචාර සමාධියෙහි දී ධ්‍යනාඞ්ගයෝ ස්ථිර ව නො පවතිත්, අර්‍පණාසමාධියෙහි දී අංගයෝ ස්ථිර ව පවතිත්. මෙකී සමාධීන්ගෙන් සිත එකඟ නො කළේ අසමාහිතැ යි කියන ලද්දේ ය.
එකාහං ජීවිතං සෙය්‍යො = එක් දවසක් ජීවත්වීම උතුම් ය.
සීලවන්තස්ස = සිල්වත් වූ. [1]
ඣායිනො = ධ්‍යන කරන්නහුගේ.
ආලම්බනෝපනිද්ධ්‍යාන - ලක්‍ෂණෝපනිද්ධ්‍යාන යන ධ්‍යානයන්ගෙන් ධ්‍යාන කරන්නේ ඣායී නම්. “තත්‍ථ අට්ඨ සමාපත්තියො පඨවිකසිණාදි ආරම්මණං උපනිජ්ඣායන්තීති = ආරම්මණූපනිජ්ඣානන්ති සිද්ධිං ගතා” යනු ආචාර්‍ය්‍යවචන යි. අෂ්ටසමාපත්තීහු පඨවිකසිණාදී වූ අටතිස් අරමුණු මෙනෙහි කරණ බැවින් ‘ආරම්මණූපනිජ්ඣාන’ නම් වෙති. අටතිස් අරමුණු අතුරෙහි එකඟ සිත තබා ඒ මෙනෙහි කිරීමෙන් එහි සිත බැවීමෙන් ලැබිය යුතු අෂ්ටසමාපත්තීහු, ආරම්මණූපනිජ්ඣාන නමැ, යි කියන ලදහ.
විදර්‍ශනා - මාර්‍ග - ඵල ‘ලක්ඛණූපනිජ්ඣාන’ නම්. ‘විපස්සනා මග්ගඵලානි පන ලක්ඛණූ පනිජ්ඣානං නාම’ යනු ආචාර්‍ය්‍යවචන යි. අනිත්‍යාදිලක්‍ෂණ, මෙනෙහි කරණ බැවින් විදර්‍ශනාව ද, විදර්‍ශනාවෙන් කළ කෘත්‍යය මාර්‍ගයෙන් අභිවෘද්ධියට පැමිණෙන බැවින් මාර්‍ගය ද, නිරෝධසත්‍යයාගේ අවිපරීතලක්‍ෂණය මෙනෙහි කරණ බැවින් ඵලය ද, ලක්‍ෂණෝපනිද්ධ්‍යාන නම් වේ. මෙහි පූර්‍ව භාගයෙහි ආලම්බනෝපනිද්ධ්‍යානය ද, ලෝකෝත්තර මාර්‍ගයෙහි ලක්‍ෂණෝපනිද්ධ්‍යානය ද අභිමත ය. මේ දෙකින් දැක්වුනේ ශමථ විදර්‍ශනා දෙක ය. එහෙයින් ඒ දෙකෙහි යෙදුනේ ඣායි වේ. [2]
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ පන් සියයක් දෙනා වහන්සේ පිළිසැඹියාවන් ලබා රහත් වූහ. ධර්‍මදේශනාව පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.
ඉන් මෑත භාගයෙහි සංකිච්ච සාමණේර තෙමේ උපසම්පදා ව ලබා දස වස් ගෙවා හෙරණකු පැවිදි කර ගත්තේ ය. ඒ හෙරණ තෙමේ සංකිච්ච තෙරුන්ගේ බෑනා ය. නාමය අතිමුත්තක ය. විසි වයස් ඇති ඔහුට, “තමුසේ උපසම්පදාවෙහි පිහිටු වන්නට ඕනෑ ය, ඒ නිසා නෑයන් හමු වන්නට ගොස් වයස අසා දැන එව” යි උන්වහන්සේ හෙරණුන් පිටත් කළාහු ය. අතර මග සිටි සොරු හෙරණුන් අල්ලා මරන්නට සූදානම් වූහ. එවිට හෙරණ තෙමේ දහම් දෙසා ඔවුන් පැහැදුනවුන් කෙළේ ය. සොරු ද ‘අප මෙහි ඉන්නා බව කිසිවකුටත් නො දන්වනු මැනැවැ යි සාමණේරයන් මුදා හැරියාහ.
ඉදිරියෙහි එන තම මවු පියන් දැකත් හෙරණ තෙමේ සත්‍යයත් පොරොන්දුවත් රකිනු පිණිස හොරු මග රැක ඉන්නා බව ඔවුන්ට නො දැන් වී ය. හොරු උන් අල්ලා වෙහෙස කළහ. එවිට මවුපියෝ “ඔබ වහන්සේ සොරුන් හා එකතු ව, මග හොරු ඉන්නා බව අපට නො දන්වා, ඔවුන්ගේ පක්‍ෂය ගෙණ උන් ලවා අප වෙහෙස කර වූ වහු” යි හඬන්නට වූහ. සොරු ඒ දැක, “මේ උන්නාන්සේ අප මෙහි ඉන්නා බව මවුපියන්ටත් නො කීහ” යි පැහැද මහණකම ඉල්ලා සිටියාහ.
හෙරණ තෙමේ සංකිච්ච තෙරුන් මෙන් උන් පැවිදි කොට උපාද්ධ්‍යායයන් වෙත කැඳවා ගෙණ ගියේ ය. අනතුරුව සංකිච්ච තෙරුන් විසින් බුදුරජුන් වෙත යැවූ හෙරණ තෙමේ එහි ගොස් ඒ තොරතුරු සියල්ල බුදුරජුන්ට දැන් වී ය. උන්වහන්සේ “එසේ ද, මහණ” යි අසා “ස්වාමීනි!. එසේ ය” යි හෙරණුන් කී කල්හි පළමු සේ අනුසන්‍ධි ගළපා ධර්‍මදේශනා කරණ සේක්, මේ ගාථාව වදාළ සේක. මේ අතිමුත්තක සාමණේරකථාවත් කී සැටිම ය යි දත යුතු ය.
සංකිච්චසාමණේර වස්තුව නිමි.