අප්පමාදරතා හොථ සචිත්තමනුරක්ඛථ
දුග්ගා උද්ධරථත්තානං පඞ්කෙ සන්නො’ව කුඤ්ජරො.
නොපමාබව්හි ඇලුනෝ වවු. සිය සිත (නානා අරමුණෙන් වළකා) රකිවු. ගැඹුරු මඩෙහි ගැලුනු ඇතු (වෑයම් කොට එයින් නැගී ගොඩැ පිහිටියා) මෙන් තෙපි (යෝනිසෝමනස්කාරයෙන් යුක්ත ව වීර්‍ය කොට) තමන් කෙලෙස් දුදුලෙන් ගොඩැ නඟවු.
කොසොල් රජුට බද්ධෙරක නම් ඇතෙක් සිටියේ ය. ඌ යොවුන් වියෙහි මහබලැති ව සිටියේ ද මහලු වියෙහි ජරායෙන් හා වාතරෝගයෙන් මැඩෙන්නට වන. දවසක් මහත් දියවිලකට බැස මඩෙහි ලැගුනේ ගොඩ නගින්නට නො හැක්කේ වී ය. ඒ දුටු මිනිස්සු “මෙබඳු මහත් බල ඇති ව සිටි ඇතා ද දුබලබවට පැමිණියේ වනැ”යි තැන තැන කතා කරන්නට වූහ. රජ තෙමේ එය අසා “යව, ඒ ඇතු මඩින් ගොඩ ලන්නැ”යි ඇතැදුරුට නියම කෙළේ ය. ඇතැදුරු ගොස් එතැන රැස් වූ මිනිසුන් දෙපිළට බෙදා යුදට සැරසුනවුන් සේ දක්වා යුදබෙර ගැස් වී ය. මාන්නයෙන් තදබද වූ ඇතා ඉතා වේගයෙන් නැගිට ගොඩබිමට අවුත් සිට ගත. එය දුටු භික්‍ෂූන් වහන්සේ ලා බුදුරජුන් වෙත ගොස් උන් වහන්සේට එය දන්වා ලූහ. “මහණෙනි! ඒ ඇත් තමන් පියවි මඩ වගුරෙන් ගොඩ නැගී ගත්තේ ය, තමුසේලා මෙතෙක් කෙලෙස් මඩ වගුරෙන් නො නැගී සිටියහු එහි වැටී ලැගී සිටනහු ය, එහෙයින් තමුසේලාත් නුවණින් වීර්‍ය්‍ය කොට තම තමන් ඒ කෙලෙස් මඩ වගුරෙන් නැගී සිටිවු”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
අප්පමාදරතා හොථ සචිත්තමනුරක්ඛථ,
දුග්ගා උද්ධරථත්තානං පඞ්කො සත්තොව කුඤ්ජරොති
නො පමාබව්හි ඇලුනෝ වවු. සිත සිත රකිවු. මඩෙහි ලැගුනු ඇතකු මෙන් තමන් කෙලෙස් දුදුලෙන් ගොඩ නගවු.
අප්පමාදරතා හොථ = අප්‍රමාදයෙහි ඇලුනෝ වවු. සිහිනුවණින් නො වෙන් ව වසවු. [1]
සචිත්තං අනුරක්ඛථ = සිය සිත රකිවු.
රූපාදී අරමුණු වල ඇලී බැඳී තමන්ගේ සිත වරදට නො පමුණුවා රැක ගණිවු. ඒ සඳහා කරණ උත්සාහය සම්‍යක් ප්‍රධාන නම් ක්‍ෂණමාත්‍රයකුත් නො හැර එක්වන් පැවැත්ම ‘රක්ඛථ’ යනු හා එක් වූ ‘අනු’ යන්නෙන් වදාළ සේක.
දුග්ගා උද්ධරථ අත්තානං = කෙලෙසු දුදුලෙන් තමන් ගොඩ නගාලවු.
දුග්ග නම්: මඩ නිසා දිය නිසා වන නිසි කඳු නිසා කණු කටු නිසා චණ්ඩ මෘගයන් නිසා යා නො හැකි අමාරුවෙන් යා යුතු පඞ්ක දුර්‍ග - ජල දුර්‍ග - වනදුර්‍ග - ගිරිදුර්‍ග - කණ්ටකදුර්‍ග - ව්‍යාලදුර්‍ගාදිය යි. “දුඃඛෙන ගච්ඡත්‍යත්‍රෙති = දුර්‍ගම්” යනු නිරුක්ති. එහිලා මත්ස්‍යපුරාණයෙහි මෙසේ කී හ.
“ධන්‍වදුර්‍ගං මහීදුර්‍ගං නරදුර්‍ගං තථෛවච
වාර්‍ක්‍ෂ්‍යඤ්චෛවාම්බුදුර්‍ගඤ්ච ගිරිදුර්‍ගඤ්ච ෂඩ්විධම්”යි.
භාෂායෙහි දුර්‍ගශබ්ද දෙකක් ඇත්තේ ය. එකෙක් නපුංසක ලිඞ්ගික ය. එකෙක් පුංලිඞ්ගික ය. නපුංසක දුර්‍ග ශබ්දය දුදුලු කියන්නේ ය. පුංලිඞ්ගික ශබ්දය අසුර භේදයක් කියන්නේ ය.
මෙහිලා ‘දුග්ග’ යි වදාළෝ කෙලෙස් ය. කෙලෙස් නිසා සත්ත්‍වයනට ලෙහෙසියෙන් පහසුවෙන් යා නො හැකි ය. යා යුත්තේ ඉතා අපහසුවෙන් කෙලෙස් මැඩ ගෙණ ය. එහෙයින් ක්ලේශයෝ ක්ලේශදුර්‍ග නම් වෙත්. ඒ මේ ක්ලේශදුර්‍ගයෙන් තමා නගා සිට විය යුතු ය.
පඞ්කෙ සත්තො ඉව කුඤ්ජරො = මඩෙහි ගැලුනු ඇතකු සේ. [2]
මඩෙහි ගැලුනු ඇත් අතින් පයින් වෑයම් කොට මඩ වගුරෙන් නැගී ගොඩ බිම පිහිටා ගන්නා සේ තමුසේලා ද කෙලෙස් වගුරෙන් තමන් නගා නිවන් නැමැති ගොඩ බිම පිහිටුවාල වු, යනු අරුත්.
ධර්‍ම දේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂූහු රහත්බැව්හි පිහිටා ගත්හ.
බද්ධේරකහස්ති වස්තුව නිමි.