ඉදං පුරෙ චිත්තමචාරි චාරිකං
යෙනිච්ඡකං යත්‍ථකාමං යථාසුඛං
තදජ්ජහං නිග්ගහෙස්සාමි යොනිසො
හත්‍ථිපමභින්නං විය අඞ්කුසග්ගහො.
මේ (අනවස්ථිත) සිත පෙර කැමැති අයුරින් කැමැති අරමුණෙහි සුව සේ බොහෝ කල් සැරි සරා ඇවිද්දේ ය. එය අද මම් නුවණින් ගිලි හුනු මද ඇති ඇතකු නිගන්නා අකුසක් ගත් ඇතරුවක්හු සෙසින්, නිගන්නෙමි (වළකන්නෙමි).
සැවැත් නුවර විසූ එක්තරා උපාසිකාවකට එක් ම පුත්‍රයෙක් සිටියේ ය. හේ නමින් සානු ය. උපාසිකාව ඒ පුතු පැවිදි කර වූ ය. මොහු පැවිදි වූ තැන් පටන් මැනැවින් සිල් රැකියේ වත්ත සම්පන්න විය. ආචාර්‍ය්‍යොපාද්ධ්‍යායයයන්ගේ හා ආගන්තුක භික්‍ෂූන් පිළිබඳ කුදු මහත් වතාවත ද නො පිරිහෙලා කෙළේ ය. මසකට අටදවසක් ඉතා අලුයමින් නැගී සිට පැන් මලුවෙහි පැන් පෙරා තබා මලුමංපෙත් බණමඩු හැම ද නිමවා සවස පාන් දල්වා බණට සැරසී “බණ අසන්නට එන් සේක්වා”යි මිහිරි හඬ නගා කියන්නේය. එහඬ ඇසූ භික්‍ෂූන් වහන්සේලා බණ අසන්නට එහි රැස් වෙති. රැස් සානුගේ ශක්තිය දන්නා ඒ භික්‍ෂූහු “හෙරණ! පද විසින් බණ කියන්නැ”යි ඔහුට ආරාධනා කරත්. සානු හෙරණ ද “මාගේ හදවත රිදෙන්නේ ය, ඇඟ ගැහෙන්නේ ය”යි කිසිත් අමාරු අපහසුකමක් නො කියා බණ අසුනට නැගී අහස්ගඟ ගලා බස්නා සේ පදවිසින් බණ කියා බණ අසුනෙන් බිමට බසිත් ම “මාගේ මවුපියනට මේ ධර්‍මදේශනායෙහි පින් පවරමි”යි කියාලන්නේ ය. එහෙත් උන්ගේ මවුපියෝ සානු හෙරණුන් පින් පැවරූබව නො දනිත්. එයට පෙර අනතුරු අත්බවෙහි මවු තොමෝ යකින්නක් ව ඉපද සිටියා ය. දෙවියන් සමග බණ අසන්නට පැමිණ සිට ඕතොමෝ බණ අසා හෙරණුන් දුන් පින් “පුතේ! මම ඔබ දුන් පින් අනුමෝදන් වෙමි”යි කියන්නී ය.
සිල්වත් මහණ ම දෙවියනට ප්‍රිය වේ. මිනිසුනට ප්‍රිය වේ. යක්රකුස්ඈනට ප්‍රිය වේ. මෙසේ දෙවියන් මරුන් සහිත ලෝකයාගේ සිත් වඩනුයේ සිල්වත් මහණ තෙමේ ම ය. ලොවට පින් කෙත් වනුයේ සිල්වත් මහණ තෙමේ ම ය. ඒ හෙරණනු කෙරෙහි දෙවියෝ ද විළිබියෙන් යුක්ත ව ආදර බුහුමන් කරති. ඔවුහු හෙරණුන් මහබඹු සේ ගිනිකන්දක් සේ සලකත්. එසේ ම ඒ යකින්න කෙරෙහි ද හෙරණහුගේ මවු යි ගරු කරත්. ධර්‍මශ්‍රවණය කරණ යක්රකුස් ආදීහු සානුමාතෘ වූ යකින්නට අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය දෙන්නෝ ය. මහෙශාඛ්‍ය යක්‍ෂයෝ ද ඇය දැක මාර්‍ගයෙන් ඉවත් වෙත්. හුන් තැනින් නැගී සිටිත්. ටික දවසක් ගිය තැන, ඒ හෙරණ වැඩීමට ගියේ මෝරා ගිය ඉඳුරන් ඇතියේ සසුනෙහි උකටලී ව ඒ උකටලිය හැර ගත නො හී වැඩුනු කෙස්රැවුළු නිය ඇතියේ කිලිටි ව ගිය හඳනා පොරෝණ සිවුරු හැඳ පොරොවා ගෙණ කාටත් නො දන්වා එකලාව ම මවු ඉන්නා තැනට ගියේ ය. උපාසිකා ද පුතු දැක වැඳ “දරුව! පෙර දවස්හි මෙහි ආයෙහි ආචාර්‍ය්‍යොපාද්ධ්‍යායයයන් සමග හෝ තරුණ හෙරණුන් සමග ය, අද එකලාව ආයෙහි කුමක් නිසා?”යි ඇසූ ය. හෙරණ තමන් සසුනෙහි කළකිරී සිටුනා බව කී ය. එවිට උපාසිකා නොයෙක් ලෙසින් ගිහිගෙයි අවුල් වියවුල් ගැහට කියා පුතුට අවවාද කරන්නී ද, ගිහිගෙයි දොස් හඟවාලන්නට නො හැකි වූවා තමනගේ ශක්තියෙන් ම ඉබේට ගිහිගෙයි දොස් වටහා ගණු ඇතැ’යි සිතා “පුතේ! ඉන්න පොඩ්ඩක්, ඔබට කැඳබත් පිළියෙල කරණවා, කැඳබත් ගත් පසු ඔබගේ කැමැත්ත ලෙසින් ඇඳුම් කැඩුම් ගෙණවුත් දෙනවා”යි වාඩිවෙන්නට අසුනක් පිළියෙල කොට දුන්නී ය. හෙරණ ද මවුගේ බස් අසා හුන්නේ ය. උපාසිකා මොහොතක් යත් ම කැඳ අවුළුපත් පිළියෙල කොට දුන්නී ය. උපාසිකාව හෙරණුන්නට නො දුරෙහි හිඳ බත් පිසන්නට සහ් සෝදනවේලෙහි පෙර අත්බවෙහි මවු වූ යකින්න, “හෙරණ කොහි ද, කොතැන ගියේ ද, වළඳන්නට දැයක් ලබා ද, නො ලබා දැ”යි බලන්නී සිවුරු හරණට ඉන්නා බව දැන “මට දෙවියන් අතර ලජ්ජාවක් නූපදීවා, යන්නෙමි මම එහි, හෙරණුන්නට සිවුරු හැර යන්නට ඉඩ නො තබමි”යි හෙරණුන් හුන් තැනට අවුත් හෙරණුන්ගේ සිරුරෙහි ආවිෂ්ට ව බෙල්ල අඹරා මූණ පිටිකර දෙසට හරවා කටින් කෙළ වැගිරෙන්නට සලස්වා බිම හෙළාලූ ය. උපාසිකා තොමෝ පුතුගේ ඒ වියරුව දැක හාල් ගැරීම නවතා අවුත් හෙරණුන් වැළඳ ගෙණ අඬමින් ඔඩොක්කුවෙහි හොවා ගත්තී ය. නුවරවැස්සෝ වහා දුව අවුත් බිලියම් කළහ. තෙල් - නූල් මැතුරූහ. ප්‍රේතයන් යකුන් උදෙසා තටු දැමූහ. ඒ අතර උපාසිකාව අඬමින් වැලපෙමින්,
“තුදුස් පසළොස්වක් - අඩමස්හි අටවක්හී,
පෑළවිය නම් පක්හී - අටගින් සුසැදි පේවස්.
.
වෙසෙතී යම් කෙනෙක් - බඹසරත් හැසිරෙත් නම්,
උන් හා යක්කු කිසිදා - නො ද කෙළිති යනු මවිසින්.
.
ඇසිනි බස් රහතුන් - එ කරුණ ද දැන් දනිමි,
සානු හෙරණුන් හා අද - යක්කු කෙළිතී එනමුත්”
යනු කිවු ය.
හෙරණුන් සිරුරෙහි ආවිෂ්ට ව හුන් යකින්න මෙය සා,
“තුදුස් පසළොස්වක් - අඩමස්හි අටවක්හී,
පෑලවිය නම් පක්හි - අටගින් සුසැදි පේවස්.
.
වෙසෙතී යම් කෙනෙක් - බඹසරත් හැසිරෙත් නම්,
උන් හා යක්කු නො කෙළිති - යනු රහත් බස් සොඳුරු”
යි කියා නැවැත,
“සානු! හෝ බුදුරජු - දුරු නො කර” යනු යක් බසි,
හමු නො හමු දෙක් හී ඉන් - පව්කම් කිසිත් නො කරව.
.
පව්කමක් යම්කිසි - කරහි හෝ කරණෙහි නම්,
අහස පැන යන ඒ තට - දුකින් මිදුමෙක් නැත්තේ”
යනුත් කියා හෙරණුන් මුදාලූ ය.
එකෙණෙහි හෙරණ, ඇස් දල්වා කෙස් විසුරුවා හුස්ම හුස්මා බිම පෙරැළෙමින් හඬා වැළපෙන මව දෙස බලා එහි රැස්ව සිටියවුන් දැක තමන් යකකු විසින් ගත්බව නො දන්නේ “මම මුලින් පුටුකෙ හුන්නා, මාගේ අම්මා මට නො දුරෙහි සහල් ගරමින් හුන් බව මම දන්නවා, දැන් මම බිම, මේ මොන වියරුවෙක් දැ”යි බිම වැතිර ගෙණ ම,
“යම් මළ එකකු ගැණ - හඬා වැළපෙහි අම්මේ!
එ මම දිවි ඇතියෙම් වෙමි - නොපෙණෙම් ද තිට අම්මේ!
.
දිවි ඇතියහු ද මා - දැක දැක හඬන අම්මේ!
කුමකට හඬා අම්මේ! - පණැතියෙම් නො ම වෙම් දෝ”
යි මවට කීයේ ය. ඉක්බිති අම්මා වස්තුකාම ක්ලේශකාමයන් හැර දමා පැවිදි වූ වහුගේ නැවැත සිවුරු හැරලනු පිණිස ඊමෙහි දොස් දක්වන්නී,
“පළමු කම්සැප හැර - ගොසින් නැවැත ද ගිහිබව,
පතා ඒ නම් යමෙකෙක් - හේ මළ එකෙක් වනුයේ.
.
පුතේ! එහෙයිනි ඔබ - මළ එකකු මෙන් දිස්නේ,
හඬමි මම දැන් ඔබ ගැණ - දිවියැතිසේ ද නො පෙණේ”
යි කිවු ය. මෙසේ ද කියා ගිහිගෙය උණුහළු නිරය වැනි කොටත් මහානිරය වැනි කොටත් ගිහි ව විසීමෙහි දොස් දක්වන්නී
“උණුහළු නිරයෙනි - නැගුනු ඔබ දැන් නැවැතත්,
වැටෙනු රිසියෙහි වෙහි ඒ - උණුහළු නිරාදුක්හී.
.
පුත! නිරාදුකිනී - නැගුනු ඔබ දැන් නැවැතත්,
වැටෙනු රිසියෙහි වෙහි ඒ නිරාදුකැ බිහිසුණු වූ”
යනු කියා සිටියා ය.
නැවැත මවු තොමෝ “පුතේ! ඔබට යහපතෙක් ම වේවා, මාගේ පුත් තෙමේ ගිහිගෙයි ගිනිවලින් නො දැවේවා, ගිනිගත් ගෙයකින් වුවමනා දැය බැහැරට ගන්නා සේ ඔබ බුදුසසුනෙහි පැවිදි කරවන ලද්දෙහි ය, ගිහිගෙට නැවැත බසින්නට ගිහිගෙයි කිඳා බස්නට රිස්සෙහි නම් වහා දුවවු, අප රකිවු යි මේ කාරණය කවරක්හු ලවා හඬනගා කියවමු ද, කවරක්හු ලවා ගන්වමු දැ”යි දක්වන්නට,
“දුවහු යන මේ තට - කවරකුට දැන් අවමන්,
කරවමු ද ගිනිගත් - ගෙයින් පිටතට ගත් බඩු,
නැවැත දවනට රිසියහු - වහු ද ඔබ දැන් මෙලෙසින්”
යනු කියා පැය.
සානු, මව මෙසේ කියද්දී සිතා බලා “මට ගිහි බැවින් වැඩෙක් නැති”යි කී කල්හි මවු තොමෝ “පුත! යහපතැ”යි සතුටුව පිණී බොජුන් වළඳවාලා නැවැත, “පුතේ! ඔබට දැන් වයස කොපමණ වේ දැ?”යි අසා පිරිපුන් වයස් ඇතිබව දැන තුන් සිවුරු පිළියෙල කලා ය. හෙරණ තෙමේ පිරිපුන් වයස් ඇතියේ පිරිපුන් පා සිවුරු ඇතියේ උපසපන් වී ය.
මෙසේ උපසපන් වූ නො බෝ කල් ඇති ඔහුගේ සිතට නිග්‍රහ කිරීමෙහි උත්සාහවත් වූ බුදුරජානන් වහන්සේ “නන්වැදෑරුම් අරමුණුවල ඇලීම් ගැටීම් විඳීම් ඈ විසින් බොහෝ කල් හැසිර පළපුරුදුකම් ඇති මේ සිතට නිග්‍රහ නො කරන්නහුට සිත හික්මවා නො ගත්තහුට කිසිදාකත් යහපතක් නම් නො ලැබිය හැකි ය, ඒ නිසා මත් ඇතුන් අකුස්සෙන් හික්මවා ගන්නට උත්සාහ කරන්නා සේ සිතට නිග්‍රහ කිරීමෙහිලා උත්සාහ කළයුතුය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
ඉදං පුරෙ චිත්තමචාරි චාරිකං
යෙ තිච්ඡකං යත්‍ථකාමං යථාසුඛං,
තදජ්ජහං නිග්ගහෙස්සාමි යොතිසො
හත්‍ථිප්පභින්නං විය අඞ්කුසග්ගහොති.
මේ සිත පෙර කැමැති අයුරින් කැමැති අරමුණෙක සුවසේ සැරිසරා ඇවිද්දේ ය. මදවැහෙන ඇතකු නිගන්නා අකුස්සක් ගත් අත් ඇති ඇතරුවකු මෙන් මම අද ඒ සිතට නුවණින් නිගන්නෙමි.
ඉදං පුරෙ චිත්තං අචාරි චාරිකං යෙන ඉච්ඡකං යත්‍ථ කාමං යථාසුඛං = මේ සිත පෙර කැමැති අයුරින් කැමැති අරමුණෙක සුවසේ සැරිසරා ඇවිද්දේ ය.
චිත්ත නම්: අරමුණු සිතන ශක්තිය යි. [1] ඒ මේ සිතට නිග්‍රහ කරන්නට පෙර රූප ශබ්ද ගන්‍ධා දී වූ නොයෙක් අරමුණු වල රාග - ද්වේෂාදීන්ගේ වශයෙන් යම් ලෙසකින් ඇලෙමින් හැපෙමින් ගැටෙමින් පවත්නා කැමැත්තේ වී නම් ඒ ඒ ලෙසින් සැරිසරමින් ජාතියෙන් ජාතියට යමින් හැසිරුණේ ය. යෙන, ඉච්ඡකං, චාරිකං, අචරි, යි පද යොදා ගත් කල්හි මෙයරුත ලැබෙන්නේ ය. එසේ ම රූපාදී වූ යම් යම් අරමුණෙක පවතනා කැමැත්තේ වී නම් රූපාදී වූ ඒ ඒ අරමුණු වල යම් සේ හැසිරේ නම් එසේ හැසිරෙන්නහුට සැපයෙක් වේ නම් ඒ අයුරින් බොහෝ කලක් සැරිසරා ඇවිද්දේ ය. ‘යත්‍ථකාමං, යථා සුඛං, චාරිකං, අචරි’ පද යොදාලීමෙන් මෙයරුත ගැණෙන්නේ ය.
තං අජ්ජ අහං නිග්ගහෙස්සාමි යොනිසො හත්‍ථිප්පභින්නං විය අඞ්කුසග්ගහො = වැගිරෙණ මදදිය ඇති ඇතකු අකුස්සෙන් හික්මවා ගන්නා ඇතරුවකු මෙන් මම අද නුවණින් ඒ සිතට නිග්‍රහ කරන්නෙමි.
‘යොනිසො’ යන මෙහි ‘නුවණින් මෙනෙහි කිරීමෙන්’ යනු අරුත්. යෝනිසෝ මනසිකාරයෙනැ යි කී සේ ය. ‘යොනි’ යනු ඛන්‍ධකොට්ඨාසකාරණ ස්ත්‍රීනිමිත්ත ඥාන යනාදී අරුත් කිහිපයෙක එන්නේ ය. මෙහිලා ඥානයෙහි ආයේ ය. ‘යොනි’ යනු හා එක් ව සිටි ‘සො’ යනු ප්‍රත්‍යයයෙකි. එය ප්‍රකාරාර්‍ත්‍ථයෙහි වේ. ප්‍රකාර නම්: හැම දෙනාහට පොදුව සිටියහු ඒ පොදු බැවින් වෙන් කිරීම ය. “සාමඤ්ඤස්ස භෙදෙකා විසෙසො පකාරො” යනු ශාබ්දික වචනයි.
යොනිසොමනසිකාර නම්: අනිත්‍යාදීන්හි අනිත්‍ය වශයෙන් පිහිටා ගෙණ මෙනෙහි කිරීම ය. අනිත්‍යාදීවස්තූන්හි අනිත්‍යාදී වශයෙන් නැබුරු වීමෙන් සිත්හි නගින ආවර්‍ජනා ය. [2]
නො පැමිණි රහත්බව ඇති උතුම් වූ නිවන පතමින් වෙසෙන්නහුට සියසතන්හි උපන් මේ යෝනිසෝ මනසිකාරය නිවන් ලැබීමට බලගතු උපකාරයෙක් ව සිටුනේ ය. ඒ පිණිස නිවන් පතන්නහුට මෙතරම් බලගත් පිහිටෙක් නැත්තේ ය. නුවණින් මෙනෙහි කැණුයේ අකුසල් දුරු කරන්නේ ය. කුසල් වඩන්නේ ය. “සෙඛස්ස භික්ඛවෙ භික්ඛුනො අප්පත්තමානසස්ස අනුත්තරං යොගක්ඛෙමං පත්‍ථයමානස්ස විහරතො බාහිරං අඞ්ගන්ති කරිත්‍වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි එවං බහූපකාරං යථයිදං භික්ඛවෙ යොනිසො මනසිකාරො, යොනිසො භික්ඛවෙ මනසිකරොන්තො අකුසලං පඡහති කුසලං භාවෙති” යනු සාධක සූත්‍ර යි.
තව ද මෙ ද දතයුතු ය.
“යොනිසො මනසිකාරො ධම්මො සෙඛස්ස භික්ඛුනො,
නත්‍ථඤ්ඤො එවං බහුකාරො උත්තමත්‍ථස්ස පත්තියා,
යොනිසො පදහං භික්ඛු ඛයං දුක්ඛස්ස පාපුණෙ”
යනු. නුවණින් මෙනෙහි කිරීම, යෝනිසෝ මනසිකාරය ශෛක්‍ෂ භික්‍ෂුහට රහත්බව ලැබීම පිණිස උපකාර ව සිටියේ ය. රහත්බව පිණිස එසේ උපකාර ව සිටි අන් එක ද ධර්‍මයකුත් මම නුවණින් නො දකිමි. භික්‍ෂු තෙමේ නුවණින් වැර වඩනුයේ නිවනට පැමිණෙන්නේ ය, යනු එහි අරුත්.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි සානු භික්‍ෂු නම සමග බණ ඇසීමට පැමිණ සිටි බොහෝ දෙවතාවුනට ධර්‍මාවබෝධය වූයේ ය. ඒ ආයුෂ්මත් සානු තෙමේ ද තෙවළා බුදුවදන් උගෙණ මහාධර්‍ම කථිකයෙක් ව අවුරුදු එක්සිය විස්සක් ආයු ගෙවා මුළු මහත් දඹදිව කළඹා පිරිනිවියේ ය.
සානුශ්‍රාමණේර වස්තුව නිමි.