මත්තාසුඛපරිච්චාගා පස්සෙ චෙ විපුලං සුඛං
චජෙ මත්තාසුඛං ධීරො සම්පස්සං විපුලං සුඛං.
ඉදින් ස්වල්පමාත්‍ර සුවයක් හැරීමෙන් මහත් වූ සුවය (යම් හෙයෙකින්) දක්නේ ද, එ හෙයින් මහත් වූ නිවන් සුව දක්නා (කැමැති වූ) නුවණැත්තේ ඒ මඳ වූ සුවය හරනේ ය.
එක් කලෙක විශාලා මහානගරය ආහාරපාන වර්‍ගයන්ගෙන් හා ධන ධාන්‍යාදියෙන් කිසිත් අඩුවක් පාඩුවක් නැතිව පිරී සිටියේ ය. එසේ ම නොයෙක් ලෙසින් වත් පොහොසත්කම් ඇති මහාජනයාගෙන් අතුරු සිදුරු නැති සේ පිරී ගත්තේ ය. එහි වත් පොහොසත්කම් නැති දුකින් පෙළුනු එකද ගෙයෙක් නො වී ය. රජකම් කළ කැත් රජදරුවෝ ම සත් දහස් සත් සිය සත් දෙනෙක් වූහ. ඔවුනට වසන්නට එ පමණ ම ප්‍රසාදයෝ, එ පමණ ම කූටාගාරයෝ, උයන් කෙළි කෙළිනට කළ එ පමණ ම පුෂ්පාරාම - ඵලාරාමයෝත් එ පමණ ම පොකුණුත් වූහ.
මෙසේ හැම දැයෙකින් සමෘද්ධිමත් වූ මේ නගරය එක් කලෙක දී හැම යසිසුරෙන් ඇද වැටුනේ ය. හැම සැපතින් පිරිහී ගියේ ය. කෑම් බීම් ඇඳුම් පැලඳුම් කිසිවක් එහි නො වී ය. කුඹුරු වතු පිටි පාලු විය. සහල් කොටුගුල් සිස් විය. ගෙරිසරක් මැරී ගියේ ය. වැව් පොකුණු සිඳී ගියේ ය. මෙසේ සාය තර ව ගියෙන් කෑම් බීම් නො ලැබීමෙන් පළමු කොට දුප්පත් මිනිස්සු මිය ගියහ. මළකුණු දවාලන්නට වළ ලන්නට සොහොන් ගොව්වන් නො වූයෙන් ඒ ඒ තැන මැරී වැටුනු මිනී කුණුවල ගඳින් සතර දිගින් පැන ආ යක් රකුස් ඈ අමනුෂ්‍යයන්ගෙන් නගරය අතුරු සිදුරු නැතියේ පිරී ගත්තේ ය. මෙසේ කඩා වැදුනු අමනුෂ්‍යයන් විසින් පෙළනු ලබන්නාහු තව තවත් මැරී වැටුනාහ. නො මැරී ඉතිරි වූ මිනිසුන් අතර කුණපගන්‍ධය තදින් පැතිර යාමෙන් අහිවාතක රෝගය ද පැතිර ගියේ ය. මෙසේ මේ නගරය දුර්භික්‍ෂභය - අමනුෂ්‍යභය - රෝගභය යන තුන් බියෙන් එක් වරම පෙළෙන්නට වන.
එ කල්හි යන්තමකින් දිවි රඳවා ගෙණ නො මැරී හුන් නුවර වැසි මිනිස්සු එක් ව රජු වෙත ගොස් “මහරජ! දැන් මෙහි තුනෙක් ඉස වසා නැගී ගොස් තිබේ, දිනපතා මැරෙණ මිනිසුන්ගේ ගණන සුලු නො වේ, මෙයට පෙර සත්වන රාජපරම්පරාව දක්වා මෙබඳු බිහිසුණු බියෙක් මෙහි නො ද උපන්නේ ය, දැහැමි රජුන් දවස මෙබඳු බියෙක් උපනැයි අපි නො දනුම්හ”යි දන්වා සිටියහ. එවිට රජ තෙමේ මන්ත්‍රණසභාශාලාවට හැම දෙනා රැස් කරවා “මා අත නො දැහැමි බවෙක් වේ නම්, නීති විරොධි - ධර්‍ම විරොධි රට නැසී යන පාලනයෙක් වේ නම්, මහා ජනයාට අහිතකර පැණවුමෙක් වේ නම් එය සොයා බලා මට දන්වා ලවු”යි රැස් වූ මිනිසුනට දන්වා සිටියේ ය. මිනිස්සු ද නොයෙක් ලෙසින් පරීක්‍ෂා කරණුවෝ රජු අත කිසිත් දොසක් නො දැක “මහරජ! දේවයන් වහනසේ අත කිසිත් දොසෙක් නැතැ”යි දන්වා, නැවැත “අප රටට පැමිණි මේ විපත කෙසේ සන්සිඳුවා ගණිමු දැ”යි සාකච්ඡා කළහ. ඒ සාකච්ඡායෙහිදී සමහර කෙනෙක් “දෙවියන්ට බිලියම් කරමු”යි ද, සමහර කෙනෙක් “මහදෙවි ඈනට සෙත් කවි කියමු”යි ද නියම කොට ගෙණ තම තමන් අදහස් ලෙසින් ඇදහුම් ලෙසින් ඒ හැම එකක් කළහ. එහෙත් ඒ එකෙකිනුදු එක ද බියෙක් නො සන්සිඳුනේ ය.
මේ අතර සමහර දෙනෙක් එහි පැමිණ “පුරණකාශ්‍යපාදී ශාස්තෘවරයෝ මහත් ආනුභාව ඇත්තාහ, මහත් තෙද ඇත්තාහ, උන්වහන්සේලා මෙහි වැඩමවා ගතහොත් ඒ ඇසිල්ලෙහි ම මේ හැම බිය සන්සිඳී යන්නේ ය”යි කීහ. එහි අන් කෙනෙක් “සම්මා සම්බුදුරජානන් වහන්සේ ලොව පහළව වැඩ සිටුනා සේක, උන් වහන්සේ වැඩමවා ගතහොත් මේ හැම උවදුරු සන්සිඳී යනු එකාන්ත ය, උන්වහන්සේ මහත් ඍද්ධි ඇති සේක, මහත් ආනුභාව ඇති සේක, සියලු සත්නට හිත පිණිස දහම් දෙසන සේක, උන්වහන්සේගේ හැම දේශනාවක් එලොව මෙලොව දෙකින් පැමිණෙන උවදුරු නැසීමෙහි පොහොසත් ය, එහෙයින් උන් වහන්සේ වැඩමවා ගණිමු”යි කීහ. මොවුන්ගේ මේ කතාවට කවුරුත් නතු කොට “උන්වහන්සේ දැන් කොතැනක වසන සේක් දැ”යි සොයා බැලූහ. මෙ දවස බුදුරජානන් වහන්සේ වස් වසන දවස් ලං ව තුබූ බැවින් වස් වසන තුරු රජගහ නුවර වෙළුවනාරාමයෙහි වැඩ විසූ සේක.
බිම්බිසාර මහරජතුමන් බුදුරජුන් දක්නට ගිය ගමනේ දී ඒ රජුන් හා එක් ව ගිය එහි දී බණ අසා සෝවන් පලයට පැමිණි මහාලි ලිච්ඡවි තෙමේ ද එහි රැස් වූ මහාජනයා කරණ කතාබස් අසමින් උන් අතර සිටියේ ය. විසල් පුර වැස්සෝ පඬුරු පාක්කුඩම් මහත් රැසක් පිළියෙල කොට ඔහු අතට දී “බිම්සර රජුට දන්වා බුදුරජුන් වැඩමවා ගෙණ එන්නැ”යි මහාලි ලිච්ඡවීහු හා පෙරෙවි බමුණු පුතු රජගහ නුවරට යැවූහ. ඒ පිදිවිලි ද ගෙණ බිම්සර රජු වෙත ගිය ඒ දෙදෙන පිදිවිලි පුදා විසල්පුර වැස්සන්ගේ ඕනෑකමත් අදහසත් දන්වා විශාලානගරයට වැඩම වන්නට අප වෙනුවෙන් බුදුරජුන්ට ආරාධනා කරණු මැනැවැ”යි සැළකොට සිටියහ. එවිට බිම්සර රජ තෙමේ “තමුසේලා ම ඒ කරගත යුතු ය”යි කියා විශාලානගරයට වඩිනු පිණිස බුදුරජුන්ට ආරාධනා කරන්නට අකැමැත්ත දැක්වී ය. ඉන්පසු ඒ දෙදෙන ම බුදුරජුන් වෙත ගොස් වැඳ “ස්වාමීනි! විශාලානගරය දුර්භික්‍ෂභය - අමනුෂ්‍යභය - රෝගභය යන තුන් බියෙකින් පෙළෙන්නේ ය, මේ නිසා දිනපතා එහි මැරී වැටෙනවුන්ගේ ගණන ඉතා බොහෝ ය, කියනු නො හැකි ය, කෑම් බීම් ඇඳුම් පැලඳුම් බෙහෙත් පිළියම් ලබා ගන්නට නො පිළිවන, ඒ කිසිත් එහි නැත, එහෙයින් අප කෙරෙහි අනුකම්පායෙන් අපේ නගරයට වැඩම කරණ සේක්වා, බුදුරජානන් වහන්සේ එහි වැඩම කළ සැටියේ සියලු උවදුරු සන්සිඳී යනු එකාන්ත යි එ නුවර වැස්සන් ගේ දැඩි පිළිගැණීම ය” යි දන්වා සිටියහ.
එ කල්හි ඔවුන්ගේ බස් අසා බලා වදාළ බුදුරජානන් වහන්සේ “විසල් පුරයෙහි රුවන්සුත දෙසූ ඇසිල්ලෙහි එහි අණ කෙළ ලක්‍ෂයක් සක්වල පැතිර සිටුනේ ය, එහි බලය මඩින්නට, එය ඉක්මවා යන්නට දෙවිබඹුන් ඈ කිසිවකුට නො හැකි ය, සුත් දෙසුම් අවසන්හි සුවාසූ දහසක් දෙනාට ධර්‍මාවබෝධය වන්නේ ය, හැම බිය, හැම උවදුරු සන්සිඳෙන්නාහ”යි දැන වදාරා ඔවුන් කළ ඒ ආරාධනාව පිළිගත් සේක. බිම්සර රජ “බුදුරජුන් විසල් පුර වැස්සන්ගේ ආරාධනාව පිළිගන්නා ලදැ”යි අසා නුවර වැස්සන්ට මංපෙත් ඉදි කොට සරසන්නට නියම කොට බුදුරජුන් වෙත එළැඹැ “ස්වාමීනි! විසල් පුරයට වඩින්නට ආරාධනා පිළිගත් සේක් දැ”යි වචාරා “මහරජ! එසේ ය, පිළිගතිමි”යි වදාළ කල්හි “ස්වාමීනි! මදක් බලාපොරොත්තු වනු මැනවි, මග පිළියෙල කර ගත යුතු ය”යි දන්වා රජගහ නුවරටත් ගඞ්ගා නම් ගඟටත් අතර පස්යොදුන් පමණ බිම සම කරවා යොදුනෙන් යොදුනට නවාතැන් ගණු පිණිස විහාරත් පිහිටුවා බුදුරජානන් වහන්සේට වඩින්නට කල් දන්වා සිටියේ ය. ඉක්බිති උන්වහන්සේ භික්‍ෂූන් ද පන් සියයක් කැටු ව මගට පිළිපන් සේක. රජ තෙමේ බුදුරජුන් වඩනා එ මග සිරිපා තැබූ කල්හි දණ තෙක් එරෙණ පමණින් පස් පැහැති මල්විසුරුවා ධ්වජ පාතාකා නංවා කෙහෙල් තොරන් බන්දවා මග දෙපස පුන්කලස් තබ්බවා කුඩයක් මත කුඩයක් සිටිනා පරිද්දෙන් කුඩ දෙකක් එක් කොට බුදුරජුන්හට සේසත් නංවා එක් එක් භික්‍ෂූන් වහන්සේ මතුයෙහි එක් එක් කුඩය සේසත් කොට නංවා පිරිවර සහිත ව සුවඳ මල් ආදියෙන් පුද දෙමින් බුදුරජුන් එක් එක් විහාරයෙහි වඩා හිඳුවා මහදන් පවත්වමින් පස් දවසකින් ගංඉවුරට වැඩම කරවා ගඟින් එතෙර වඩිනු පිණිස නැවක් ද පිළියෙල කරවූයේ ය. එසේ කොට රජ තෙමේ විසල්පුර වැසියන්ට “බුදුරජානන් වහන්සේ විසල්පුරයට වඩනා සේක, එහෙයින් තොරන් බැඳ ධ්වජපතාකා නංවා පුන්කලස් තබ්බවා මල් විසුරුවා මග මැනැවින් සරසා පෙර ගමන් කොට උන්වහන්සේ පිළිගණිවු”යි දන්වා යැවූයේ ය.
විසල්පුර වැස්සෝ “බිම්සර රජු කළ තරමට වැඩි තරමින් පුද උලෙළ පවත්වමු”යි විසල් පුරයටත් ගඞ්ගා නම් ගඟටත් අතර තුන් යොදුන් පමණ වූ බිම සම කරවා බුදුරජුන්ට කුඩ සතරක් ද එක් එක් භික්‍ෂූන් වහන්සේට කුඩ දෙක දෙක බැගින් දැ යි කුඩ පිට කුඩ නංවා සරසා පුද පෙරහරින් අවුත් ගං ඉවුරෙහි සිට ගත්හ. බිම්සර රජු විසින් නැව් දෙකක් එක් කොට බඳවා පිළියෙල කර වූ නැව මතුයෙහි මණ්පයක් කරවා මල්දම් ආදියෙන් සරසවා එහි බුදුරජුන්ට වැඩ හිඳිනට සියල්ල රන්මුවා අසුනක් පණවා තුබුනේ ය. බුදුරජානන් වහන්සේ එහි වැඩ හුන් සේක. භික්‍ෂූන් වහන්සේලා ද නැවට නැගී බුදුරජානන් වහන්සේ පිරිවරා හුන්හ. නැව පිටත් වූ ය. රජ තෙමේ පසු ගමන් කරණුයේ කරවටක් දියට බැස “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ පෙරළා වඩින තුරු මම මේ ගංඉවුරෙහි ම හිඳින්නෙමි”යි කියා නැවතුනේ ය. ශාස්තෲන් වහන්සේ යොදුනක් මණ ගඟෙහි ගොස් විසල්පුර වැස්සන්ගේ නගර සීමාවට ලංවූ සේක. ලිච්ඡවි රජදරුවෝ කරවටක් දියට බැස ශාස්තෲන් වහන්සේ වැඩම කළ නැව ඉවුරට ගෙණ අවුත් උන්වහන්සේ නැවෙන් ඉවුරට බස්වා ගත්හ. බුදුරජුන් නැවෙන් බැස ඉවුරෙහි පා තබත් ම මහමේ නැගී පොකුරු වැසි වසින්නට වන. රට පුරා හැම තැන දණ පමණ කලවේ පමණ උකුළු පමණ දියකඳ ගලා සියලු මිනීකුණු ගඟට ඇද දැමී ය. මුළුරට ගොඩබිම පිරිසිදු වූ ය. ලිච්ඡවි රජදරුවෝ එතැන් සිට ශාස්තෲන් වහන්සේ යොදුනෙන් යොදුන් තන්හි වඩා හිඳුවා මහදන් දී පුද පෙරහර වඩවඩාත් කරන්නාහු තෙ දිනෙකින් විසල් පුරයට වැඩමවා ගත්හ. සක්දෙව් රජ තෙමේ දෙව්ගණා පිරිවරා ගෙණ එහි ආයේ ය. මහතෙදැති දෙවියන් එහි එත් එත් ම අමනුෂ්‍යයෝ බොහෝ සෙයින් පලා ගියහ.
බුදුරජානන් වහන්සේ සවස නුවර දොර සිට “ආනන්‍ද! මේ රුවන් සුත උගෙණ ලිච්ඡවි කුමරුන් සමඟ ගොස් විසල් පුර තුන් පවුරු වළලු අතර පිරිත් කරව”යි අනඳ තෙරුන්ට නියම කළ සේක. ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් වදාළ රුවන් සුත උගෙණ බුදුරජුන්ගේ සෙල්මුවා පාත්‍රයෙන් දිය ගෙණ නුවර දොර සිට දිවකුරු බුදු රජුන්ගෙන් විවරණ ලත් තැන් පටන් අප බුදු රජුන්ගේ දස පාරමී - දස උපපාරමී - දසපරමත්‍ථපාරමී - පඤ්චමහාපරිච්චාග - ලෝකත්‍ථචරියා - ඤාතත්‍ථචරියා - බුද්ධිචරියා - පශ්චිමභවයෙහි මවුකුසැ පිළිසිඳ ගැණීම - මවුකුසින් බිහිවීම - මහබිනික්මන් කිරීම - ප්‍රධන්වීර්‍ය්‍යය - බෝමැඩ කළ මාරවිජය - සව්නේ දත් නුවණ ලැබීම - නවලොව්තුරු දහම යන සියලු බුදුගුණ ගැණ සලකා නුවරට ඇතුළු ව තුන් යම් රෑ මුළුල්ලෙහි තුන් පවුරු අතර පිරිත් කරමින් හැසුරුණාහ. අනඳ තෙරුන් විසින් ඒ රුවන් සුතුරෙහි එන “යං කිඤ්චි විත්තං” යනාදී ගාථායෙහි ආදියෙහි ම වූ “යං කිඤ්චි” යනු වදාළ ඇසිල්ලෙහි උඩට දමාලූ පිරිත් දිය ඉතිරි ව රැඳී හුන් අමනුෂ්‍යයන්ගේ හිස මතුයෙහි වැටුනේ ය. එහි තෙවන ගාථායෙහි පටන් රිදී බුබුලු වැනි දිය බින්දු අහස නැගී අවුත් ගිලන් මිනිසුන් මතුයෙහි වැටින. එ කෙණෙහිම ලෙඩින් නැගී සිටි මිනිස්සු හුන් තැනින් නැගිට නැගිට අවුත් තෙරුන් පිරිවරා ගත්හ. පලා නො ගොස් හුන් අමනුෂ්‍යයෝ ද “යං කිඤ්චි”යී වදාළ පදයෙහි පටන් පිරිත් දිය බිඳු ඇඟ වැටීමෙන් තැති ගත්තාහු බිත්තිකොන් කසළගොඩ ගේපිළිකන් ආදිය ඇසුරු කොට සිටියාහු ඒ ඒ දොරටුවෙන් පලා ගියහ. පලා යන්නට දොරටු පමණ නො වූ බැවින් පවුරු වළලු ආදාය බිඳ ගෙණ දුවන්නට වූහ.
ඉක්බිති විසල්පුර වැස්සෝ නුවර මැද සන්‍ථාගාරශාලාව සුවඳ පිරිබඩ කොට මත්තෙහි රන්තරු ආදියෙන් විසිතුරු වූ නන් පැහැති පටකඩ වියන් බඳවා වැඩ හිඳිනට නිසි බුද්ධාසනයක් පණවා එහි වඩින්නට බුදුරජුන්ට ආරාධනා කළහ. උන්වහන්සේ එහි පණවා තුබූ අසුනෙහි වැඩහුන් සේක. භික්‍ෂු සඞ්ඝයා වහන්සේත් ලිච්ඡවි සමූහයාත් උන්වහන්සේ පිරිවරා හුන්හ. සක්දෙව් රජ තෙමේ ද දෙවසමූහයා විසින් පිරිවරණ ලදු ව තමන්ට සුදුසු තැනක් ගෙණ සිටියේ ය. ආනන්‍ද ස්ථවිරයන් මහන්සේ මුළු නුවර හැසිර සන්හුන් ලෙඩරෝග ඇති මිනිසුන් සමග අවුත් බුදුරජුන් වැඳ එකත් පසෙක හුන්හ. එ වේලෙහි බුදුරජානන් වහන්සේ පිරිස දෙස බලා එහි දී රුවන්සුත ම දෙසූ සේක. දේශනාවසානයෙහි අසූසාර දහසක් සත්නට ධර්‍මාවබෝධය වූයේ ය.
මෙසේ සත් දවසක් රුවන්සුත දෙසා විසල්පුර වැස්සන්ගේ සියලු බිය මුළුමනින් සන්සිඳවා ලිච්ඡවි සමූහයා අමතා තමන් වහන්සේ පෙරළා වඩනා බව ඔවුනට දන්වා විසල්පුරයෙන් නික්ම ගත් සේක. ලිච්ඡවීහු ද හැකි තරමින් වඩා පුද උලෙළ පවත්වා උන්වහන්සේ තෙදිනකින් ගං ඉවුරට පමුණුවාලූහ. එ වේලෙහි ගඟ පත්ලෙහි හුන් නා රජහු “මිනිස්සු තථාගතයන් වහනසේට පුද උලෙළ පවත්වන්නාහ, අපි කුමක් කරමු දැ”යි සිතා රන් රිදී මිණි මුවා නැව් මවා එහි අසුන් පණවා ගඟදිය පස්පැහැති පියුමෙන් සරහා “ස්වාමීනි! අපටත් අනුග්‍රහ කර වදාරණ සේක්වා”යි තම තමන්ගේ නැව්වලට නගින ලෙසට බුදුරජුන්ගෙන් ඉල්ලා සිටියහ. මිනිසුන් හා නා රජුන් කරණ පුද උලෙළ දුටු බූමාටු දෙවියන් ආදි කොට අකනිටා බඹලොව තෙක් පැතිර හුන් සියලු දෙවියෝ නොයෙක් ලෙසින් පුදපෙරහර පැවැත් වූහ. එහි දිව්‍ය නාගයේ නාග භවනය පටන් යොදුනක් පමණ තැන් කුඩසේසත් මතුයෙහි කුඩසේසත් නැගූහ. මිනිස්ලොවට පහත්තල වැසි නාගයෝ ද එසේ කළහ. බූමාටු දෙවියෝ පොළොවෙහි හා ගස් ගල් කඳුහෙල් ආදියෙහි ද, අහස් වැසි දෙවියෝ අහසෙහි දැ යි මෙසේ දිව්‍ය බ්‍රහ්ම නාගයෝ, නාගභවනය පටන් සක්වළ කෙළවර බඹලොව තෙක් සේසත් මතුයෙහි සේසත් නගාලුහ. සේසත් අතුරෙහි සේසත්, ධ්වජ අතුරෙහි ධ්වජ, පතාකා අතුරෙහි පතාකා නැගූහ. පතාකා අතුරෙහි මල්දම් මල්කලස් මල්ලිය තැබූහ. සියලු අබරණින් සැරසුනු දිව්‍යපුත්‍රයෝ සැණවෙස් ගෙණ බුදුරජුන්ට ස්තුතිඝොෂා පවත්වමින් අහසෙහි හැසුරුණහ. බුදුරජානන් වහන්සේ පිළිබඳ යමකපාටිහාරිය - දෙවොරොහණ - ගඞ්ගාරොහණ යන සමාගම්හි දෙවි බඹ මිනිස් ආදීන්ගේ රැස්වීම ඉතා මහත් ව ගියේ ය.
මෙසේ බුදුරජානන් වහන්සේ විශාලාමහනගරයෙහි පැන නැගුනු තෙ වැදෑරුම් බිය උවදුරු මුළුමනින් සන්සිඳවා පෙරළා වඩිනු බලා සිටි බිම්සර රජ තෙමේ ලිච්ඡවීන් විසින් කරණ ලද පුද පෙරහැරට වඩා ඉතා මහත් වූ පුදපෙරහැර පිළියෙල කෙළේ ය. බුදුරජානන් වහන්සේ ගඟ දෙපස රජුන් කළ මහත් පරිත්‍යාග බලා නා රජුන්ගේ අදහස් දැන නැව් පන් සියයක් මවා එක එක නැවෙහි පන් සියය පන් සියය භික්‍ෂූන් පිරිවර කොට ඇති බුදුවරුන් පන් සියයක් මවාලූහ. එක් එක් සේසත යට එක් එක් කප්රුක යට එක් එක් මලදම යට නයින් පිරිවරා වැඩ හුන් සේක. එ සේම බූමාටු දෙවියන් පටන් අකනිටා බඹලොව දක්වා එක් එක් අවකාශයෙහි පිරිවර සහිත කොට බුදුවරුන් මවා පෑ සේක. මුළු සක්වල ගබ එක් ම සැරසුම් ඇත්තක් එක් ම උලෙළ ඇත්තක් එක් ම සැණකෙළි ඇත්තක් වූ කල්හි නයින්ට අනුග්‍රහ කරණු පිණිස එක් රුවන් නැවකට නැගි සේක. භික්‍ෂූන් වහන්සේලා අතුරෙහිදු එක් එක් නම එක් එක් නැවට නැංගේ ය. නා රජහු බුදුපාමොක් මහාසඟුන් නාග භවනයට පමුණුවා මුළු රැය බුදුරජුන් වෙත හිඳ දහම් අසා පසුදා බුදුපාමොක් හැම දෙනා වහන්සේ දෙවියන් අයත් කෑයුතු බිදිය යුතු දැයෙන් වැළඳ වූහ. බුදුරජානන් වහන්සේ අනුමෙවෙනි බණ වදාරා නාගභවනයෙන් නික්ම සියලු සක්වල වැසි දෙවියන් විසින් පුදනු ලබන සේක් මැවූ නැව් පන් සියයෙන් ගඞ්ගා නදිය තරණය කොට මෙතරට වැඩි සේක. රජ තෙමේ පෙර ගමන් කොට බුදුරජුන් නැවෙන් බස්වා ගෙණ එනුයේ ලිච්ඡවීන් කළ සත්කාරයනට වඩා දිගුණ තිගුණ කොට පුද සැළකිලි පවත්වා යට කියූ ලෙසින් පස් දවසෙකින් රජගහනුවරට වැඩමවා ගත්තේ ය.
පසුදා පිඩු සිඟා ගොස් පෙරළා පැමිණි මහාසඞ්ගයා වහන්සේලා දම්සබා මඩුයෙහි රැස්ව හිඳ “අය්යෝ; පුදුම ය, බුදුරජුන්ගේ මහානුභාව ය, අහෝ; පුදුම ය, ශාස්තෲන් වහන්සේ කෙරෙහි දෙවිමිනිසුන් තුළ ඇති මහත් ප්‍රසාද ය, ගඞ්ගා නදියෙහි එ ගොඩ මෙ ගොඩ දෙක්හි අට යොදුන් මග බුදුරජුන් කෙරෙහි වූ ප්‍රසාදයෙන් රජුන් විසින් පොළොව සම තලා කොට සැම තැන වැලි විසුරු වන ලද ය, මග සැම තැන දණක් පමණට නන් පැහැති මල් අතුරණ ලද ය, ගඞ්ගා නදියෙහි දිය කඳ නයින්ගේ ආනුභාවයෙන් පස් පැහැති පියුමෙන් ගැවසී ගත්තේ ය, නාලොව පටන් අකනිටා බඹලොව දක්වා සේසත් මතුයෙහි සේසත් නගන ලද ය, මුළු සක්වල ගබ එක් ම සැරසුම් ඇත්තක් එක් ම උලෙළ ඇත්තක් වී ය”යි කතා කරමින් හුන්හ. එ වේලෙහි එහි වැඩම කළ බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් කළ ඒ කතාව විචාරා දැන “මහණෙනි! මේ පූජාසත්කාරය මාගේ බුද්ධානුභාවයෙන් වූයේ නො වේ, නා දෙව් බඹුන්ගේ ආනුභාවයෙන් නිපන්නේ නො වේ, මා පෙර සසර ඇවිදුනා කාලයෙහි කළ ස්වල්පමාත්‍රපරිත්‍යාගයක අනුසස් බෙලෙන් මේ උපනැ”යි වදාළ විට භික්‍ෂූන් විසින් ආරාධිත වූ සේක් ඒ ඉකුත් වත මෙසේ වදාළසේක.
“යටගිය දවස තක්සලානුවර සඞ්ඛ නම් බ්‍රාහ්මණයෙක් වූයේ ය, ඔහුගේ පුත් වූ සොළොසැවිරිදි සුසීම නම් මාණව තෙමේ දවසක් පියා වෙත ගොස් ‘පියානෙනි! මම බරණැසට ගොස් වෙද මන්ත්‍ර හදාරන්නට කැමැත්තෙමි’යි කීය, ‘පුත! එසේ නම් අසුවල් බ්‍රාහ්මණ තෙමේ මාගේ යහළුවෙක, ඔහු වෙතට ගොස් වෙදමන්ත්‍ර හදාරව’යි කීය, සුසීම ද යහපතැ’යි කියා බරණැසට ගොස් ඒ බමුණා සොයා ගෙණ බමුණා වෙත ගොස් මාගේ පියාගේ නියමයෙන් ඔබතුමන් වෙත ආයෙමි’යි කී ය, එ බමුණු ද ‘මාගේ යහළුවාගේ පුත්’යි ඔහු සතුටින් එහි රඳවා ගෙණ ගන් විඩා සන්සිඳී ගිය කල්හි සුබ නැකතක් අල්ලා වෙදමන්ත්‍ර හදාර වන්නට පටන් ගත්තේ ය, නුවණැති හෙතෙමේ වහවහාත් බොහෝ කොටත් උගන්නේ උගත් උගත් මන්ත්‍ර රන් බඳුනෙක ලූ සිංහතෙලක් මෙන් නැසී යන්නට නො දී මැනැවින් දරණුයේ නො බෝ දවසකින් ම ගුරුන් වෙතින් උගත යුතු සියල්ල උගෙණ පිරි වහන්නේ තමන් උගත් වෙදමන්ත්‍රාදියෙහි මුල - මැද දක්නේ වී ය, කෙළවර නො දක්නේ ගුරුන් වෙත එළැඹ ‘ඇදුරුතුමනි! මට මා උගත් වෙදමන්ත්‍රාදියෙහි මුල හා මැද පෙණෙන්නේ ය, එහෙත් කෙළවර නො පෙණෙන්නේ ය’යි කීයේ ය, එකල්හි ඇදුරු බමුණු ‘පුත! මටත් ඔබට මෙන් මෙහි කෙළවර නො පෙණෙන්නේ ය’යි කී කල්හි ‘මෙහි කෙළවර කවරෙක් දනී දැ’යි ඇසී ය, ‘පුත! ඉසිපතනයෙහි වෙසෙන ඍෂිවරයෝ මේ දන්නෝ ය, ඔවුන් වෙත ගොස් ඔවුන් විචාරව යි ඇදුරු බමුණු කී ය, ඉක්බිති සුසීම ඉසිපතනයට ගොස් එහි හුන් පසේ බුදුවරුන් වෙත එළැඹැ ‘ස්වාමීනි! මම වෙදමන්ත්‍රාදිය උගත්තෙමි, එහෙත් මට පෙණෙනුයේ එහි මුල - මැද පමණ ය, කෙළවර නො පෙණේ, ඔබ වහන්සේලා එහි කෙළවර දන්නා සේක් දැ?’යි අසා සිටියේ ය, උන්වහන්සේලා ‘දනිමු’ කී කල්හි ‘එසේ නම් මට එහි කෙළවර කියා දෙනු මැනැවැ’යි සුසීම ඉල්ලා සිටියේ ය, ‘නොපැවිදි වූවනට අපි එය කියා දෙන්නෝ නො වෙමු, අප මෙන් ඔබත් පැවිදිවෙතොත් කියා දෙනු හැකි ය, පැවිදි වන්නැ’යි පසේබුදුවරු කීහ, සුසීම ‘යහපතැ’යි එ බස් පිළි ගෙණ පසේබුදුවරුන් වෙත පැවිදි වී ය, පැවිදි වූ ඔහුට ‘තා විසින් මෙසේ හික්මිය යුතු ය, මෙසේ හැන්ද යුතු ය, මෙසේ පෙරවිය යුතු ය, හිඳිය යුතු ය, සිටිය යුතුය, වැළඳිය යුතු ය, පිය යුතු ය, යනාදීන් පළමු කොට ආභිසමාචාරිකශික්‍ෂාව කියා දුන්හ, හේ ආභිසමාචාරිකශික්‍ෂායෙහි හික්මෙනුයේ හේතුසම්පන්න බැවින් වැඩි දවස් නො යවා ම ප්‍රත්‍යෙකසම්බොධිඥානය ලබා මුළු බරණැස අහස් තලයෙහි පුන්සඳ මෙන් පතළ වූයේ ලාභයෙන් හා යශසින් අගතැන් පත් වී ය, මේ පසේ බුදුරජ තෙමේ ලාභයෙන් හා යශසින් අග තැන් පත් වූයේ ද පෙර මද ආයු දෙන කර්‍මයක් කොට සිටි බැවින් නො බෝ දවසින් ම පිරිනිවියේ ය, එහි විසූ අනෙක් පසේ බුදුවරු හා මහාජනයා ද එක් ව ආදහනය කොට ධාතූන් ගෙණ නුවර දොර සෑයක් කොට එහි පිහිටුවා ලූහ.
සඞ්ඛබ්‍රාහ්මණ තෙමේ ‘මපුත් වෙද උගන්නට ගොස් බොහෝ කල් ගත විය, එහෙත් ඔහු ගැණ කිසිත් තොරතුරෙක් මෙතෙක් දැන ගන්නට නො ලැබින, එහෙයින් මම ගොස් ඔහු ගැණ සොයා බලා එන්නෙමි’යි තක්සලානුවරින් නික්ම ගියේ බරණැසට පැමිණියේ ය, එහි දී මහාජනයා රැස් ව හුන් තැන් බලා ගොස්, ‘මේ පින්වතුන් අතුරෙහි කවරෙක් හෝ මපුත් ගැණ දන්නේ වනැ’යි සිතා උන් උන්ට ලං ව, සුසීම නම් බ්‍රාහ්මණ තරුණයෙක් තක්සලායෙන් වෙද උගන්නට කලකට පෙර මෙහි පැමිණියේ ය, මෙහි පැමිණියාට පසු ඔහු ගැණ කිසිවක් දැන ගන්නට නො ලැබුනු බැවින් මම ඔහු සොයා ආයෙමි’ මේ අය ඔහු ගැණ දනිත් දැ’යි ඇසී ය, ‘ඔවු අපි දනිමු, ඔය කියන තරුණයා අසුවල් බමුණු වෙත වෙදමන්ත්‍ර උගෙණ හදාරා නැවැත පැවිදි ව පසේ බුදුබවත් ලබා පසුගියදා ඉසිපතනයෙහි දී පිරිනිවී ය, අපි එකතු ව ඒ සිරුර දවා ධාතුන් ගෙණ අර පෙණෙන සෑය බන්දවා එහි තැන්පත් කෙළෙමු’යි ඔවුහු සෑය පෙන් වූහ.
සඞ්ඛබ්‍රාහ්මණ තෙමේ මෙ පුවත අසා බිම ඇද වැටී අතින් පොළොවට ගසමින් හඬ හඬා ඒ සෑබිමට ගොස් එහි තණ පැලෑටි උදුරා දමා උතුරුසළුවෙන් වැලි ගෙණවුත් සෑබිමෙහි විසුරුවා කෙණ්ඩියෙන් දිය ගෙණ සෑබිම ඉස දූලි මකා සෑය වනපසමලින් පුදා උතුරුසළුව පතාකාවක් කොට පුදා තමන් අත තුබූ පත්කුඩය දාගැබ මතුයෙහි බැඳ තබා දාගැබ පැදකුණු කොට වැඳ ගියේ ය”යි.
බුදුරජානන් වහන්සේ මෙසේ මේ ඉකුත් පුවත වදාරා “මහණෙනි! එදා සඞ්ඛ බ්‍රාහ්මණ වූයෙම් මම වෙමි, එදා මම සුසීම පසේ බුදුන්ගේ දාගැබ පිහිටි බිම තණ පැලෑටි උදුරා හැර පිරිසිදු කෙළෙමි, ඒ පිණෙහි විපාක විසින් අට යොදුන් දිග් මග තුබූ කණු කටු උදුරා දමා පිරිසිදු කොට මොවුහු මග සම තලා කළහ, වැලි ගෙණවුත් සෑමිදුලෙහි විසිරැ වූ පිණෙන් අට යොදුන් මග වැලි විසිර වූහ, එහි වනපසමලින් කළ පූජායෙහි පිණෙන් මොවුහු අට යොදුන් මග නන් පැහැති මලින් දණ දක්වා එරෙණ තරමින් පුරවා ලූහ, එක් යොදුන් පමණ තැන ගඟ දිය පස් පැහැති පියුමෙන් ගැවසුනේ ද එම පිණෙන් ය, මම එදා කෙණ්ඩියෙන් දිය ගෙණ ඒ සෑමිදුලෙහි ඉසීමි, ඒ පිණෙහි පල විසින් විසල්පුර පොකුරු වැසි වට, මම එහි පතාකාවක් නගා කුඩයක් කෙත් කැරැල්ලෙහි බැන්දෙමි, ඒ පිණෙන් අකනිටා බඹලොව දක්වා ධ්වජ - පතාකා - සේසත් මත සේසත් නැගීම් බැඳීම් ආදයෙන් මුළුසක්වලගබ එක් ම උලෙළ ඇත්තක් සේ වි ය, මහණෙනි! මේ මා ලත් පූජාසත්කාරය බුද්ධානුභාවයෙන් ලද්දේ නො වේ, පෙර මා කළ ස්වල්පමාත්‍ර වූ පරිත්‍යාගයෙහි ආනුභාවයෙන් මේ ලදැ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
මත්තා සුඛපරිච්චාගා පස්සෙ චෙ විපුලං සුඛං,
චජෙ මත්තා සුඛං ධීරො සම්පස්සං විපුලං සුඛන්ති.
ඉදින් ඉතා මද සැපයක් අත් හැරීමෙන් මහත් සැපයක් දක්නේ නම් ඒ මහත් සැපය මොනවට දක්නා වූ නුවණැති පුරුෂ තෙමේ ඉතා මද සැපය අත් හරණේ ය.
මත්තා සුඛපරිච්චාගා = මද සැපය අත්හැරීමෙන්.
මෙහි ස්වල්පාර්‍ත්‍ථවාචක වු ‘මත්තා’ යනු උපකරණ - පරිමාණ - ධන - අක්‍ෂරාවයව - හ්‍රස්වදීර්‍ඝාදිභේද - කාලවිශේෂ යනාදී අරුත්හි ද යෙදෙන්නේ ය. ලිඞ්ග විසින් ස්ත්‍රී - නපුංසක දෙක්හි ප්‍රකට ව දක්නට ලැබේ.
පස්සෙ චෙ විපුලං සුඛං = ඉදින් මහත් සැපයක් දක්නේ නම්.
ඉතා මදසැපයක් හැර දැමීමෙන් මහත් සැපයක් ලැබිය හැකි නම් යුතුකම වනුයේ මද සැපය හැර දැමීම ය.
“න ස්වල්පස්‍ය කෘතෙ භූරි නාශයෙන්මතිමාන්තරඃ
එතදෙවාත්‍රපාණ්ඩිත්‍යං යත්ස්වල්පාදභූරිරක්‍ෂණම්”
යන මෙ ද සිත්හි නගන්නේ ය. නුවණැත් මිනිස් ටික දැයක් නිසා මහත් දැය නො නසන්නේ ය. ටික දැය හැරදමා මහත් දැය රැකීම ම නුවණැතිබවය යනු අදහසි. මේ වනාහි නුවණැති ලෝකයාගේ පිළිගැණීම ය.
එදා සඞ්ඛ බ්‍රාහ්මණ ව උපන් බුදුරජානන් වහන්සේ ‘පෙරවගන්නට නැතැ’යි නො සිතා වෙත තුබූ එක් ම උතුරුසළුව හා ‘අව්වෙන් පෙළෙන්නෙම් වේ දැ’යි නො සිතා පත්කුඩය පිදීමත්, දාගැබ් මලුවෙහි නැගී තුබූ තණ පැලෑටි උදුරා වැලි ගෙණ අවුත් විසුරුවා දාගැබ්මලු ව පිරිසිදු කිරීමත්, වනපසමලින් දාගැබ පිදීමත් යන මේ ඈ පින්කම් පිරිසිදු සිතින් කළ බැවින් අන් කිසිවක්හටත් නො ලැබුනු මහත් පූජාසත්කාරයනට පාත්‍ර වූ සේක. මේ බලත්, ඉතා සුලු පින්කමක් වුවත් සුලු කොට ගැණීම සුදුසු නො වේ යි කිය යුතු ය. සුලු පින්කමින් මහත් සැපයක් ලැබිය හැකි බව මේ ගඞ්ගාරොහණ සමාගමයෙන් පැහැදිලි වන්නේ ය. මෙහි චතුර්දශතරඞ්ගයෙහි එන දානකථාව බලනු.
මෙහි මහත් සැපය,යි ආයේ නිවන් සැප ය යි. එක් බත් තැලියක් පිළියෙල කරවා ගෙණ වළඳන්නහුට ඉතා මද සැපයෙක් ම උපදනේ ය. එය හැර දමා පෙහෙවස් රක්නහුට හෝ දන් දෙන්නහුට මහත් වූ නිවන් සැපය පිණිස මග පිළියෙල වන්නේ ය. එහෙයින් මෙසේ සුලු සැපය හැරදැමීමෙන් මහත් වූ නිවන් සැපය ලැබිය හැකි බව දතයුතු ය.
චජෙ මත්තා සුඛං ධීරො සම්පස්සං විපුලං සුඛං = මහත් සැපය මොනවට දක්නා වූ නුවණැති පුරුෂ තෙමේ සුලු සැපය හැර දමන්නේ ය.
නුවණැත්තහු විසින් මහත් සැපයෙක් ම බලාපොරොත්තු විය යුතු ය. ඔහු විසින් සුලු සැපය හළ යුතු ය. මහත්සැපය හැර මද සැපයක් බලාපොරොත්තු වනුයේ නුවණැත්තේ නො වේ.
ධීර නම්: මෙහි මද සැපය හැර මහත් සැපය බලාපොරොත්තුවන්නේ ය. [1] විපුලං, සුඛං යන දෙපදයෙන් දැක්වුනේ නුවණැත්තහු විසින් බලාපොරොත්තු විය යුතු වූ උදාර සැපය වන නිවන් සැපය යි. [2]
ගඞ්ගාරෝහණ වස්තුව නිමි.