උච්ඡින්ද සිනෙහමත්තනො කුමුදං සාරදිකං’ව පාණිනා
සන්තිමග්ගමෙව බ්‍රූහය නිබ්බාණං සුගතෙන දෙසිතං.
(වප් හිල් දෙ මස වූ) සරත් කල්හි කුමුදු මලක් අතින් ගෙණ උදුරන්නක්හු මෙන්, තමාගේ තෘෂ්ණාව රහත්මඟනැණින් මුලින් සිඳුව. නිවන් පමුණුවන අටැඟි මඟ ම වඩව (තා සතන්හි උපදව). නිවන සුගත් බුදුහු විසින් යම් හෙයකින් දෙසන ලද ද එ හෙයින් එයට පමුණුවන අටැඟි මඟ ම උපදව.
මනා රූ ඇති ස්වර්‍ණකාර පුත්‍රයෙක් ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ වෙත පැවිදි වී ය. මහාස්ථවිරයන් වහනසේ “තරුණ වයසෙහි සිටිනවුන්ගේ රාගය නැගී සිටුනේ ය” යි ස්වර්‍ණකාර පුත්‍ර මහණහුට රාගය සන්සිඳී යනු පිණිස අශුභකර්‍මස්ථානය දුන්හ. එහෙත් ඔහුට එය සත්ප්‍රාය නො වී ය. ඔහු වන වැද තෙමසක් මුළුල්ලෙහි වෑයම් කරණුයේ ද, සිත එකඟකර ගැණුම් පමණකුත් කරගත් නො හැකි ව පෙරළා මහතෙරුන් වෙත ආයේ තෙරුන් විසින් “තමුසේට කමටහන වැටහින දැ?”යි අසා වදාළ කල්හි “නො වැටහිනැ”යි කීයේ ය. ඉක්බිති මහාස්ථවිරයන් වහන්සේ “ඔහුට කමටහන නො සැප ය යි තීරණයට බසින්නට නො වටී ය” යි නැවැතත් ඒ කමටහන ම මැනැවින් කියා දුන්හ. හෙතෙමේ එය ගෙණ වඩනුයේ දෙවන වරත් කිසිත් ගුණ විශේෂයක් උපදවා ගන්නට නො හැකි ව පෙරළා අවුත් ඒ වග මහතෙරුන් වහන්සේට දන්වා සිටියේ ය. ඒ වාරයෙහි ද මහා ස්ථවිරයන් වහන්සේ එය ම කරුණු සහිත කොට උපමා සහිත කොට කියා දුන්හ. එහෙත් ඒ මහණ තෙරුන් වෙත පැමිණ තමන්ට කමටහන නො සැපයෙන බව කී ය.
ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ “භාවනා වඩන භික්‍ෂු තෙමේ තමන් කෙරෙහි විද්‍යමාන වූ කාමච්ඡන්දාදීහු විද්‍යමානහ යි ද, අවිද්‍යමාන වූ කාම්ච්ඡන්දාදීහු අවිද්‍යමානහ යි ද දක්නේ ය, මේ භික්‍ෂු නම ද භාවනා කරන්නේ ය, භාවනා නො කරන්නේ නො වේ, එහි ලා පිළිපනනේ ය, නො පිළිපන්නේ නො වේ. මම මොහුගේ අදහස් කෙබඳු දැ යි නො දනිමි, මෙතෙමේ එකාන්තයෙන් බුදුරජුන් විසින් හික්ම විය යුත්තෙක් වන්නේ”යි ඒ මහණහු කැටුව සවස් වේලෙහි බුදුරජුන් වෙත එළැඹැ “ස්වාමීනි! මෙ තෙමේ මාගේ සද්ධිවිහාරිකයෙක, මම මොහු රාගචරිත ය යි සිතා මොහුට අශුභකර්‍මස්ථානය දුනිමි”යි සියලු තොරතුරු සැළකොට සිටියහ.
එ කල්හි බුදුරජානන් වහන්සේ “අනුන්ගේ අදහස් දැන ගැණිමෙහි නුවණ, පැරුම් පුරා දසදහස් ලෝදා ගුගුරුවා සව්නේ දත් බුදුවරුන්ට ම අයත් ය” යි වදාරා “මෙ තෙමේ කවර කුලයෙකින් නික්ම අවුත් පැවිදි වූවෙක් දැ”යි බලා වදාරණ සේක් “කඹුරුකුලයෙන් නිකම් අවුත් පැවිදි වූයේ ය යි ද, පෙරත් දෑ පන් සියයක් ම පිළිවෙළින් කඹුරුකුලයෙහි උපන්නෙකැ”යි ද දැන වදාරා “බොහෝ කාලයක් මුළුල්ලෙහි කඹුරු කම් කළ මේ තරුණයා විසින් ඒ හැම කල්හි ම කිනිහිරමල් රත් නෙළුම්මල් ඈ මල් සෑදීමට රතුපැහැත් රන් තළා පෙළා මට කොට නොයෙක් අතට පෙරළන ලද්දේ ය, එ හෙයින් මොහුට අශුභකර්‍මස්ථානය නො සුදුසු ය, සත්ප්‍රාය ද නො වේ, මන වඩන්නා වූ කර්‍මස්ථානයෙක් ම මොහුට හිතකර ය”යි දැන “ශාරිපුත්‍රය! තමුසේ කමටහන් දී සිවු මසක් වෙහෙසට පත් කළ මේ මහණහු අද සවස් වරුවෙහි දී ම රහත්බවට පැමිණියහු දැක්ක හැකි ය, තමුසේ යන්නැ”යි තෙරුන් පිටත් කොට යැවූ සේක. අනතුරු ව බුදුරජානන් වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් රථරෝදයක් තරම් වූ රන්පියුමක් මවා පියුම්පෙතිවලින් හා පියුම් නටුවෙන් දිය බිඳු වැගිරෙන්නා සේ කොට “මහණ! මේ පියම ගෙණ වෙහෙර කෙළවර ඇති වැලිගොඩෙහි තබා එය ඉදිරියෙහි එයට ලංව අරමිණිය ගොතා හිඳ “ලොහිතකං, ලොහිතකං” යි පිරියම් කරව”යි ඒ රත්පියුම දුන් සේක. ඔහු එය බුදුරජුන් අතින් ගණිත් ම ඔහුගේ සිත පහන් විය. බුදුරජුන්ගේ නියමය ලෙස වෙහෙර කෙළවරට ගොස් වැලිගොඩ මතුයෙහි පියුම් නටුව සිටුවා එය ඉදිරියෙහි පලඟ බැඳ හිඳ “ලොහිතකං, ලොහිතකං” යි පිරියම් කරන්නට පටන් ගත්තේ ය. එ කෙණෙහි ම ඔහුගේ සිතෙහි රැඳී තුබූ නිවරණයෝ යටපත් ව ගියහ. උපචාරද්ධ්‍යානය උපන. අනතුරු ව ප්‍රථමද්ධ්‍යානය උපදවා එය පස් අයුරකින් වශීභාවයට පමුණුවා නැවැත හුන් පරිදි ම හිඳ ද්විතීයද්ධ්‍යානාදිය උපදවා ඒ ධ්‍යානයන් ද වශීභාවයට පැමිණ වූ කල්හි චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද හුන්නේ ය.
බුදුරජානන් වහන්සේ ඒ වේලෙහි ඔහුට ධ්‍යාන උපන්බව දැන “මෙ තෙමේ තම ශක්තියෙන් මත්තෙහි වූ විශේෂගුණ උපදවා ගන්නට සමර්‍ත්‍ථ වේ දැ”යි බලා වදාරණ සේක් එහි අසමර්‍ත්‍ථය යි දැන “ඒ පියුම මැල වේවා”යි ඉටු සේක. අතින් පිරිමැදි ඒ පියුම මැලවෙන්නා සේ කලු පැහැ ඇත්තේ විය. “මහණ! ධ්‍යානයෙන් නැගිට පියුම දෙස බලා ‘කිම, මේ පියුම ජරායෙන් පහරණ ලදුයේ පෙණෙන්නේ ය, අතින්‍ද්‍රියබද්ධවස්තුන් පවා මෙසේ ජරාවයෙන් පහරණ ලද කල්හි ඉන්‍ද්‍රියබද්ධවස්තුන් කෙරෙහි ජරාව බලපැවැත්වීමෙහි ලා කවර කතා ද, බලා සිටිය දී ම මේ පියුම ජරාව විසින් මැඩ ගන්නා ලදැ”යි සිතී ය. එසේ සිතත් ම අනිත්‍යලක්‍ෂණය සිතෙහි නැගී සිට ගත. අනිත්‍යලක්‍ෂණය සිතෙහි නගිත් ම ඉතිරි දුඃඛලක්‍ෂණ - අනාත්මලක්‍ෂණ ද නැගී ගියේ වන. එකල්හි ඔහුට භවත්‍රයම ගින්නෙන් ඇවිළ ගත්තක් සේ, ගෙල බැඳි මළකුණක් සේ වැටහින. මේ මහණ හුන් තැනට නො දුරෙහි පියුම් විලෙක් ද විය. ගම් වැසි කුඩා දරුවෝ විල ලඟට අවුත් විලට බැස ඇඹුල්මල් කඩා ගොඩ බිම රැස් කළහ. පොකුණ තුළ තුබූ මල් හා ගොඩ බිම ගොඩ ගසා තුබූ මල් ද දුටු, ඒ මහණහුට පොකුණ තුළ තුබූ මල් අභිරූප ව දිය වගුරුවන්නා සේ ද ගොඩ බිම තුබූ මල් මුදුන් මැලවුනවුන් සේ ද වැටහින. “ඉන්‍ද්‍රියබද්ධ නො වූ වස්තු මෙසේ ජරාව විසින් පහරණු ලබන්නේ නම්, ඉන්‍ද්‍රියබද්ධවස්තු කෙසේ නම් නො පහරණු ලැබේ දැ”යි අනිත්‍යලක්‍ෂණය ඉතා විශද ව ඔහුගේ සිතෙහි කාවැදී සිටියේ ය,
බුදුරජානන් වහනසේ “මේ මහණහුට දැන් කමටහන මැනැවින් පෙණී ගියේ වනැ”යි ගඳකිළියෙහි ම වැඩහුන් සේක් ආලෝකයක් මුදා හළ සේක. ඒ ආලෝකය ඔහුගේ මුහුණ වැද සිටියේ ය. එකල්හි “මේ කිමැ”යි බලන්නා වූ ඔහුට බුදුරජානන් වහන්සේ තමන් ඉදිරියෙහි වැඩ සිටිති,යි පෙණී ගියහ. ඔහු එ කෙණෙහි හුන් තැනින් නැගිට දොහොත් මුදුනේ තබා සිට ගත්තේ ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ ඔහුට වන හිත සැප සලකා මේ ධර්‍මදේශනාව කළ සේක.
උච්ඡින්‍ද සිනෙහමත්තෙනො කුමුදං සාරදිකං ව පාණිනා,
සන්තිමග්ගමෙව බ්‍රෑහය නීබ්බානං සුගතෙන දෙසිතන්ති.
සරත් කල්හි කුමුදු මලක් අතින් අල්ලා උදුරන්නකු මෙන් තමාගේ තෘෂ්ණාසෙනහස මුලින් සිඳ හරුව. නිවන්මග ම වඩව. නිවන සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ද එහෙයිනි.
උච්ඡින්ද සිනෙහං අත්තනො = තමාගේ ස්නේහය රහත් මග නුවණින් සිඳ දමව.
ඡින්‍ද යනු උ යන්නෙන් වඩා වදාළෝ ආත්මසෙනහස ආත්මතෘෂ්ණාව රහත්මග නුවණින් ම මුල් සුන් කොට සිඳ හළ යුතු බව දක්වනු සඳහා ය.
උ යනු ඊශ්වර - දුඃඛලාභ - ප්‍රතිෂෙධ - රෝගමුක්ති - ප්‍රස්ථාන - යුක්ති - උද්ගතාදි අර්‍ත්‍ථ රාශියක් කියන්නේ ය. ඔවුනතුරෙහි ඊශ්වරාර්‍ත්‍ථ වාචක වූයේ ශුද්ධ නාමපද විසිනි. දුඃඛලාභ - ප්‍රතිෂෙධ - රෝගමුක්ති යන මෙයරුත්හි වූයේ නිපාත පද විසිනි. සෙසු අරුත්හි උපසර්‍ග පද විසින් ආයේ ය. මෙහි සිටියේ රහත්මග නුවණ කියනු සඳහා නාම පද විසිනි. එහෙයින් “උච්ඡින්දාති අරත්තමග්ගෙන ඡින්‍ද” යි අටුවාව කිවු ය.
සිනෙහ නම්: සිය සිරුර පිළිබඳ ඇල්ම ය. ඇල්ම තෘෂ්ණා ය. එය භවොත්පත්තියෙහි මුල කාරණය වේ. මේ නිසා හැම එකෙක දැඩි ගැණීම වන්නේ ය. [1]
අත්තනො යන මෙහි අත්ත ශබ්දයෙන් පඤ්චස්කන්‍ධය කියවේ. එය නැසෙන සුල්ලේ ය. නො ලැබිය හැක්කේ ය. [2]
කුමුදං සාරදිකං ඉව පාණිනා = අතින් අල්ලා කුමුදු මලක් උදුරන්නකු සේ
කුමුද නම්: හෙළුපුල් ය. කුමුද යනු, රත්පියුම්හි ද වැටෙන බව මෙදිනීකෝෂකාරයෝ කියත්. ශීතලක - ශහිකාන්ත - ඉන්‍දු - කමල - චන්‍ද්‍රිකාම්බුජ - ගන්‍ධසොභ යනාදීහු පර්‍ය්‍යාය නාම වෙත්.
සාරදික යනු ශරත් කාලයෙහි වූයේ ය යන අරුත් ඇත්තේ ය. අවුරුද්දෙහි දොළොස් මස ඍතු විසින් සයට බෙදති. එහි වප් - ඉල් දෙමසින් පිරිසිඳෙන කාලය ශරත් යි ගණු ලැබේ. විල්වල කුමුදු මල් බහුල වනුයේ ද මේ කාලයෙහි ය. වලාකුල් පහව යෑමෙන් අහස ද නිර්‍මල වේ. දොළොස් මසින් පිරි අවුරුද්ද ද ශරත් යි කියනු ලැබේ.
සන්තිමග්ගං එව බ්‍රෑහය = නිවන් මග ම වඩව.
සන්තිමග්ග නම්: ආර්‍ය්‍ය අෂ්‍ටාඞ්ගික මාර්‍ගය යි. එ මග නො ගියහුට කෙලෙස් මුළුමනින් නසා හැර නිවන් ලබන්නට නො හැකි ය. [3]
නිබ්බානං සුගතෙන දෙසිතං ඉති = නිවන සුගතයන් වහන්සේ, විසින් දෙසන ලදද. (එහෙයිනි)
නිබ්බානං = නිවන. නිවන කිමැයි යන්තමකින් යට කියන ලදි. ඒ බැලිය යුතු ය. [4] සුගත නම්: බුදුරජානන් වහන්සේ ය. උන්වහන්සේ කෙරෙහි නැගුනු ‘සුගත’ යනු කිනම් අරුත් නිසා නැගුනේ ද යනු ඉදිරියෙහි කියැවෙන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ මහණ තෙමේ රහත් බවෙහි පිහිටා ගත්තේ ය.
ස්වර්‍ණකාරස්ථවිර වස්තුව නිමි.