20-8 මහලු තෙරුන් පන් සියයක්

වනං ඡින්‍දථ මා රුක්ඛං වනතො ජායතී භයං

ඡෙත්‍වා වනඤ්ච වනථඤ්ච නිබ්බනා හොථ භික්ඛවො.

මහණෙනි, කෙලෙස් වනය සිඳිවු. වැලි දු රුක් නො සිඳිවු. කෙලෙස් වනයෙන් බිය උපදී. (භවෝත්පත්තිය කරවන) මහ කෙලෙස් වනය ද, (ප්‍රවෘත්තිවිපාකදායක) මඳ කෙලෙස් වනය ද රහත් මඟ නැණ සැතින් සිඳ වනරහිතයෝ වවු.

යාවං හි වනථො න ඡිජ්ජති, අණුමත්තො’පි නරස්ස නාරිසු

පටිබද්ධමනො’ව තාව සො වච්ඡො ඛීරපකො’ව මාතරි.

ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයාගේ ස්වල්පමාත්‍ර වූ ද තෘෂ්ණාවෙක් යම්තාක් කල් නො සිඳී පවත්නේ ද, ඒ තාක් ම හෙ තෙම මව කෙරෙහි (ප්‍රේමයෙන් ඇලුනු) කිරි බොන ලමා වස්සකු මෙන් ස්ත්‍රීන් කෙරෙහි පිළිබඳ සිතැත්තේ ම වේ.

මේ පන් සියයක් පමණ වූ මහලු ස්ථවිරවරු ගිහි කල්හි සැවැත් නුවර ධනධාන්‍යයෙන් ආඪ්‍ය ව මහත් ධන ඇති ව මහත් භෝග ඇති ව වාසය කළ කෙළෙඹියෝ වූහ. එදාත් ඔවුහු උනුන් යහළු ව එක් ව ම පින් කළාහු ය. දවසක් ඔවුහු බුදුරජුන් වෙත ගොස් බණ අසා “අපි දැන් මහල්ලම්හ, එහෙයින් ගිහි කම්කටුල්ලෙන් ඇති කාරිය කිමැ”යි කතා බස් කොට දෙව්රමට ගොස් පැවිද්ද ඉල්ලා සිටියහ. බුදුරජානන් වහන්සේ ඔවුන් පැවිදි කරවූ හ. මහලු වයසට ගොස් පැවිදි වූ මොවුහු මහලු බැවින් තෙවළා දහම් උගැන්මෙහි අපොහොසත් වූවෝ වෙහෙර කෙළවර පන්සලක් කරවා ගෙණ එහි එක් ව විසූහ. පිඬු සිඟා යන්නාහු බොහෝ සෙයින් පැරණි අඹුදරුවන්ගේ ගෙවලට ම යෙති. සිඟා ගත් දැය එහිදී ම වළඳති. ඔවුනතුරෙහි එකක්හුගේ පෙරඹු මිහිරට කෑම් බීම් පිළියෙල කිරීමෙහි සමත් වූවා මධුරපාචිකා නම් වූ ය. ඕ තොමෝ ඒ සියලු දෙනාහට උපකාර ව සිටියා ය. සියල්ලෝ ම තම තමන් සිඟා ලද ආහාර පාන ගෙණ ගොස් ඇයගේ ගෙයි හිඳ වළඳන්නාහ. ඕ ද ගෙයි තුබූ සැටියෙන් ඔවුනට බත් මාලු සපයා දෙන්නී ය. මේ අතර දවසෙක ඕතොමෝ එක්තරා රෝගයකින් කලුරිය කළා ය.

එ කල්හි ඒ මහලු තෙරුන්නාන්සේලා තම යහළු තෙරුන් ගේ පන්සලෙහි රැස් වී උනුන් ගෙල අත් ලා ගෙණ මධුරපාචිකා උපාසිකා ව මළා ය”යි විලාප කියමින් හඬන්නට වූහ. අසල වෙහෙර විසූ භික්‍ෂූන් වහන්සේලා හැඬීම අසා වට පිට සිට දුවැවිත් “ඇවැත්නි! හඬන්නෝ කුමක් නිසා දැ”යි ඇසූහ. “ස්වාමීනි! අපගේ යහළු තෙරුන් ගේ පැරණි අඹු, කළුරිය කළා ය, ඈ අපට බොහෝ උපකාර ව සිටියා ය, කෑම් බීම් රසට මිහිරට උයන්නට පිළියෙල කරන්නට හෙඳ හපන් කමක් ඇයට තුබුනේ ය, දැන් කොතැනින් තමන් කැමැති සේ කටට මිහිරි කැවිල්ලක් පෙවිල්ලක් ලබා ගෙණ වළඳන්නෙමු දැ යි සිතෙන ‍විට නො දැන ම හැ‍ඬේය”යි කීහ. එය ඇසූ භික්‍ෂූන් වහන්සේලා ධර්‍මසභා රැස්වීමෙහි දී මේ කතාව ඉපද වූහ. ඒ අතර බුදුරජානන් වහන්සේ එහි වැඩම කොට “තමුසේලා කුමක් ගැණ කතා බස් කරමින් කල් ගෙවන්නහු දැ?”යි අසා තොරතුරු දැන “මහණෙනි! මොවුහු දැන් පමණක් ම මැය ගැණ විලාප කියා හඬන්නෝ නො වෙත්. පෙරත් එක් කලෙක මොවුහු කපුටුයොන්හි ඉපද මුදුබඩ හැසිරෙන්නාහු මූදු රැළට හසු වී මුහුදෙහි වැටී මළ කැවිඩියක නිසා හඬමින් වැලපෙමින් කැවිඩිය බේරා ගණුම්හ යි මූදු දිය ඉසින්නෝ වෙහෙසට පත්වූහ”යි

“අප අයත් දෙහනූ - සන්හුන් ය මුව වියලේ,

නිමා නො ම වතු දූ - පිරේ සිඳු දිය අදිමු”

යි කාක ජාතකය විස්තර විසින් වදාරා ඒ මහලු මහණුන් අමතා “මහණෙනි! ‍රාග ද්වේෂ මෝහ වනය සිඳලන්නට වටනේ ය, එසේ සිඳ කල්හි තමුසේලා නිදුක් වන්නහු ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

වනං ජින්‍දථ මා රුක්ඛං වනතො ජායතෙ භයං,

ඡෙත්‍වා වනං ච වනථං ච නිබ්බනා හොථ භික්ඛවො.

.

යාවං හි වනථො න ඡිජ්ජති අණුමත්තොපි නරස්ස නාරීසු,

පටිබද්ධමනොව තාව සො වච්ඡො ඛීරපකොව මාතරීති.

මහණෙනි! කෙලෙස්වනය සිඳ හරිවු. රුක් නො සිඳිවු. කෙලෙස් වනයෙන් බිය උපදි. මහකෙලෙස්වනය ද මඳ කෙලෙස්වනය ද රහත් මග නැණ සැතින් සිඳ හැර වනරහිතයෝ වවු.

ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයාගේ ස්වල්පමාත්‍ර වූ ද තෘෂ්ණායෙක් යම් තාක් කල් නො සිඳී පවතී ද, ඒ තාක් ම හෙතෙමේ මව කෙරෙහි ප්‍රෙමයෙන් ඇලීමෙන් කිරි බොන ලමා වස්සකු මෙන් ස්ත්‍රීන් කෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ ම වේ.

වනං ජින්‍දථ = කෙලෙස්වනය සිඳ හරිවු.

බුදුරජානන් වහන්සේ “වනං ඡින්‍දථ = වනය සිඳ හරිවු”යි වදාළ කල්හි පැවිදි වී නො බෝ කල් ඇති ඒ මහණුන්ට “බුදුරජානන් වහන්සේ අප ලවා වෑ-පොරෝ ආදියෙන් ගස් වැල් සිඳ හරවා ලන්නට කැමැති සේකැ”යි ගස් වැල් සිඳ දැමීමෙහි කැමැත්තෙක් උපන්නේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ “මා රුක්ඛං = ගස් වැල් නො සිඳිවු”යි වදාරා ඒ මහණුන් ගස් වැල් කැපීමෙන් වළකාලූ සේක.

වන නම්: මහරුක් ය. පළමු උපන් රුක් හෝ වන නම. “වනඤ්චාති එත්‍ථ මහන්තා රුක්ඛා වනං නාම, පුබ්බුප්පත්තිකා රුක්ඛා වට වනං නාම” යනු අටුවා. වන යනු නැඟී සිටියේ මහ රුක්ගොමුයෙහි ය. පළමු උපන් රුක්ගොමුව හෝ එයින් ගැණේ. එහෙත් වන ශබ්දයෙන් මෙහි ගැණෙනුයේ කෙලෙස් ය. මහ ගස් කොළන්, වනැ යි කියන්නා සේ භවයෙහි ප්‍රතිසන්‍ධිය දෙන මහත් වූ කෙලෙස්, වන නම්. පළමු උපන් ගස් කොළන් හෝ වනැ යි කියන්නා සේ පළමු ව උපන් කෙලෙස් හෝ වන නම්. “එව මෙව මහන්තා මහන්තා භවාකඩ්ඪන්තා කිලෙසා වනං නාම, පුබ්බුප්පත්තිකා වා වනං නාම” යනු අටුවා. එහෙයින් භවයෙහි ප්‍රතිසන්‍ධිය දෙන රාගද්වේෂමෝහාදී වූ කෙලෙස් හෝ පළමු උපන් කෙලෙස් සිඳ හරි වු”යි දක්වන්නටය ‘වනය සිඳ හරිවු’යි වදාළෝ.

මා රුක්ඛං = රුක් නො සිඳිවු.

මෙයින් අළුත පැවිදි වූ මහණුන්ට ගස් වැල් කපා හෙලීමෙහි උපන් කැමැත්ත වළකාලූ සේක.

වන්තො ජායතෙ භයං = කෙලෙස්වනයෙන් බිය උපදි.

මහවනලැහැබ්හි වසන සංහව්‍යාඝාදිචණ්ඩ සත්ත්‍වයන්ගෙන් බිය උපදනා සේ රාගද්වේෂමෝහාදී වූ කෙලෙස් වනයෙන් ජාති - ජරා - මරණාදී වූ බිය උපදනේ ය. වන වැදුනහුට මුත් වන නො වැදුනහුට වන වැසි සතුන්ගෙන් බියෙක් නො වන්නේ ය. වන්නේ නම් වන වැදුනු අවස්ථායෙක ම වන්නේ ය. එහෙත් කෙලෙස්වනයෙන් උපදනා ජාති - ජරා - මරණාදී වූ බිය ලෝ වැසි දිව්‍ය බ්‍රහ්මාදී වූ කෙලෙස් නො නැසූ හැම කෙනෙක්හට ම දව රෑ දෙක්හි අතර නො තබා ම උපදනේ ය. මේ බියෙන් තැති නො ගෙත් එක ද සත්ත්‍වයෙක් ලොව නැත්තේ ය. හැම එකෙක් මේ බියෙන් මැඩී සිටුනේ ය. “සබ්බෙ භායන්ති මච්චුනො” යනු වදාළෝ ද එහෙයිනි. එහි පරිකථාව බලනු.

ජෙත්‍වා වනං ච වනථං ච නිබ්බනා හොථ භික්ඛවො = මහණෙනි! මහ කෙලෙස්වනය ද මද කෙලෙස්වනය ද සිඳහැර වන රහිතයෝ වවු.

වන යන්නෙන් මහරුක්, පසු උපන් රුක්, මහකෙලෙස්, පළමු උපන් කෙලෙස් ගැණෙන්නා සේ, වනථ යන්නෙන් කුඩාරුක්, පසු උපන් රුක්, පැවැත්මෙහි විපාක දෙන කෙලෙස්, පසු පසු උපන් කෙලෙස් ගණු ලැබෙත්. මේ ‘වනථ’ යනු අටුවා කළ සැටි:- “වනතඤ්චාති ඛුද්දකා රුක්ඛා වනතා නාම, අපරාපරුප්පත්තිකා වනථා නාම, එවමෙව පවත්තියං විපාකදායකා වනථා නාම, අපාරපරුප්පත්තිකා වනථා නාම” යි.

ඡෙත්‍වා යන මෙයින් කියැවෙනුයේ සිඳ හැරීම ය. වන - වනථ දෙකින් කියන කෙලෙස් මුළුමනින් සිඳ හැරිය යුත්තේ සිවුවන මග නැණින් ය. එහි විස්තර මෙහි චතුර්දශ තරඞ්ගයෙහි සවන කතා පුවතෙහි එන “දුක්ඛස්ස ච අතික්කමං” යන්නට ලියූ පරිකථායෙහි එන්නේ ය.

“නිබ්බනා හොථ භික්ඛවො” යන සිවුවන පාදයෙන් “මහණෙනි! තමුසේලා වන - වනථ නම් වූ කුදු - මහත් සියලු කෙලෙස්, රහත් මග නැණින් කපා සිඳ හැර කෙලෙස් රහිත වහු”යි වදාළ සේක.

භික්ඛවො, යනු මෙහි ආමන්ත්‍රණය පිණිස යෙදුනේ ය. බුදුරජුන් භික්‍ෂූන්ට ඇමතීමෙහි දී ‘භික්ඛ‍වො’ යන මෙ පදය ගාථාවන්හි අසන්‍ධි විෂයයෙහි පමණක් යෙදී සි‍ටියේ ය යි ද, ගද්‍යවාක්‍යයන්හි සන්‍ධිවිෂයයෙහි ම යෙදුනේ ය යි ද ශබ්දනීතියෙහි කියන ලද්දේ ය. “අරඤ්ඥෙ රුක්ඛමූලෙ වා සුඤ්ඤාගාරෙව භික්ඛවො” යනු හා “තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති” යනු හා නිදර්‍ශන විසින් එහි දැක්වුනේ ය. තවද ශ්‍රාවකයන් භික්‍ෂූන් ඇමතීම සඳහා ‘භික්ඛවො’ යනු නො යෙදූ බව ද එහි ම කියල ලදි. විමසා ගත යුතු. “භික්ඛවෙ, භික්ඛවො” යන දෙ පදයෙහි යෙදුම් ගැණ එහි එන විස්තරය කියවා බැලිය යුතු ය.

යාවං හි වනථො න ඡිජ්ජති අණුමත්තො අපි නරස්ස නාරීසු = ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයාගේ ඉතා ස්වල්ප වූ ද තෘෂ්ණායෙක් යම්තාක් කල් නො සිඳී පවතී ද.

අණුමත්ත, ‘අණුවක් පමණ’ යන අරුත්. අණු නම්: ඉතා කුඩා දැයෙකි. පියවි ඇසට මහත් ව නො ද පෙ‍ණෙන්නේ ය. මෙයට වඩා කුඩා දැයෙක් නැත්තේ ය යි ලෝකයාගේ පිළිගැණීම ය. අණුව බෙදා වෙන් කල නො හැකි ය. බෙදා වෙන් කළහොත් අණුවෙක් නො ලැබෙන්නේ ය. ලැබෙනුයේ රූපකලාප සමූහයෙකි. අණුව රූපකලාපසමූහයකගේ සංයෝගයෙකි. එක් වීමෙකි. අණුව ඉතා ම කුඩා දැයැ යි පිළිගන්නහුට එහි රූප කලාප අනුවටත් වඩා ඉතා ම කුඩා ය යි නො පිළිගෙණ සිටිනු නො හැකි ය. එදා විසූ බෞදධවිද්‍යාධරයන් වර්‍තමාන බාහිරක විද්‍යාධරයනට පෙර, මේ අණුව ගැණ දැන සිටි බව අණුව රූප කලාපයන්ගේ එක්වීමෙකැ යි කීමෙන් පැහැදිලි වන්නේ ය. හැම‍ට පෙර අණුවෙහි තතු සොයා ගත්තෝ ලොවට කියා පෑවෝ බෞදධ විද්‍යාධරයෝ ය.

ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයාගේ ද පුරුෂයන් කෙරෙහි ස්ත්‍රියගේ ද සිත්හි නගිනා අණුවක් පමණ වූත් තෘෂ්ණාව කාම හැඟීම යම්තාක් කල් නො සිඳ පවතී නම්.

පටිපද්ධමනො එව තාව සො වච්ඡො ඛීරපකො ඉව මාතරි - ඒ තාක් කල් ම හෙතෙමේ මව කෙරෙහි ප්‍රෙමයෙන් ඇලී කිරි බොන ලදරු වසු පැටවකු සේ ස්ත්‍රීන් කෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ වේ.

මෙහි ස්ත්‍රීන් කෙරෙහි බැඳුනේ ඇලුනේ පටිබද්ධමන නම්. එසේ ම මෙයින් පුරුෂයන් කෙරෙහි බැඳුනු ඇලුනු ස්ත්‍රිය ද ගැණේ. ස්ත්‍රීන් කෙරෙහි බැඳුනු පුරුෂයාත් පුරුෂයන් කෙරෙහි බැඳුනු ස්ත්‍රියත් මේ බැඳීම නිසා නො කරණ පව්කමෙක් නො සිතන පව්කමෙක් නැත්තේ ය. නො කරණ ජඩකමෙක් නො කරණ තිරිසන් කමෙක් වල්කමෙක් නැත්තේ ය.

ලදරු වසු මව වෙත ගොස් කිරි උරා බොනුයේ මව කෙරෙහි බලවත් ඇලීමෙනි. එමෙන් මේ ස්ත්‍රී - පුරුෂ දෙදෙනා උනුන් කෙරෙහි ප්‍රෙමයෙන් බැඳුනාහු ඇලුනාහු වෙත්. මේ බැඳීම් ඇලීම් සසර දුකට මුල්ව සිටුනේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි පන් සියයක් පමණ වූ ඒ මහලු තෙරහු සෝවන්පලයෙහි පිහිටා ගත්හ. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.

මහල්ලකස්ථවිර වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.