18-6 වෙදකම් කළ මහණෙක්

සුජීවං අහිරිකෙන කාකසූරෙන ධංසිනා

පක්ඛන්‍දිනා පගබ්භෙන සංකිලිට්ඨෙන ජීවිතං.

පවෙහි හිරි ඔතප් නැති, ගසා කෑමෙහි සුරු කවුඩකු වැනි වූ, මෙරමා ගුණ මකන, ගෙන් ගෙට දිවෙන සුලු, බුහුටි වූ, කිලිටි ආජීව ඇති මහණහු විසින් ජීවත් වීම සුවසේ කට හැක්කේ ය.

හිරීමතා ච දුජ්ජීවං නිච්චං සුචිගවෙසිනා

අලීනෙනාපගබ්භෙන සුද්ධාජීවෙන පස්සතා.

පාපයෙහි හිරි ඔතප් ඇති, පිරිසිදු කායකාර්‍මාදිය සතතයෙන් සොයන සුලු වූ, ප්‍රගල්භ රහිත (බුහුටි නොවූ), (අනෙස්නෙන් දුරු වූ බැවින්) පිරිසිදු ආජීව ඇති, එය ම සරු කොට දක්නා මහණහු විසින් ජීවත් වීම දුකසේ කටයුතු ය (රූක්‍ෂ ජීවිකායෙන් ජීවත් විය යුතු ය.)

ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේට ථුල්ලසාරික නම් සද්ධි විහාරිකයෙක් වූයේ ය. වෙදකම් කිරීමෙහි දක්‍ෂ වූ ඔහු දවසක් වෙද කමක් කොට ලැබුනු මිහිරි අහරක් ගෙණ එනුයේ අතර මග දී හමු වූ සැරියුත් මහ තෙරුන් වහන්සේට “ස්වාමීනි! මම වෙදකම් කොට හැමදා හාමුදුරුවන් වහන්සේට ආහාර සපයා ගෙණ එන්නෙමි, මෙබඳු ආහාර ලබනු පහසු නැත, එහෙයින් මෙය වළඳනු මැනවැ”යි කී ය. මහාස්ථවිරයන් වහන්සේ ඔහුගේ කතාව අසා කිසිත් නො බැණ නිහඬ ව වැඩි සේක. භික්‍ෂූන් වහන්සේලා විහාරයට ගොස් බුදුරජානන් වහන්සේට එපුවත සැළ කළහ. එකල්හි උන්වහන්සේ “මහණෙනි! ලජ්ජා භය නැති අනුන් ගසා කෑමෙහි දක්‍ෂ වූ මහණ තෙමේ කවුඩකු වැනි ව එක්විසි අනෙසනයෙහි යෙදුනේ සුවසේ ජීවත් වන්නේ ය, ලජ්ජාභය දෙකින් යුත් මහණ දුකසේ ජීවත් වන්නේ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

සුජීවං අහිරිකෙන කාකසුරෙන ධංසිනා,

පක්ඛන්‍දිනාපගබ්භෙන සඞ්කිලිට්ඨෙන ජීවිතං.

.

හිරිමතා ච දුජ්ජීවං නිච්චං සුවිහවෙසිනා,

අලින්නොපගබ්භෙන සුද්ධාජිවෙන පස්සතාති.

පවෙහි විළිබිය රහිත වූ ගසා කෑමෙහි ශූර කවුඩකු වැනි වූ මෙර මා ගුණ මකන ගෙන්ගෙට දුවන සුලු බුහුටි වූ කිලිටි දිවි වැටුම් ඇති මහණහු විසින් ජීවත්වීම සුවසේ කට හැකි ය.

පවෙහි විළිබිය ඇති පිරිසිදු වූ කාය කර්‍මාදිය නිතර සොයන සුලු දිවි වැටුමෙහි නො ඇලුන බුහුටි නො වූ පිරිසිදු දිවිවැටුම් ඇති එය ම සරු කොට දන්නා මහණහු විසින් ජීවත්වීම දුකසේ කට යුතු ය.

සුජීවං = ජීවත්වීම සුවසේ කට හැකිය. සුවසේ ජීවත් විය හැකි ය.

අහිරිකෙන = විළිබිය නැති

අහිරිකෙන යන්නට විළිබිය නැතැ යි කීයේ බිය ද මෙහි ලා ගැණෙන බැවිනි. “ජින්නහිරොත්තප්පෙන” යනු අටුවා. විළිබිය නැත්තහුට නො කළැකි පහත් වැඩෙක් නැත්තේ ය. විළිබිය නැත්තේ, මවුපිය නොවූවනට “මේ මාගේ මව, මේ මාගේ පිය, මේ මහපිය, මේ සුලුපිය, මේ මහම්මා, මේ බාලම්මා, මේ අය්යා, මේ මල්ලී, මේ අක්කා, මේ නගා, මේ මාමා යනාදී විසින් නැති නෑකම් කියමින් එක්විසි අනෙසනයන්හි පිහිටා කෑම් බීම් ඉඳුම් හිටුම් යාන වාහන ගේදොර වතුපිටි වෙහෙර පන්සල් ඔවුන්ගෙන් ලබා‍ ගෙණ ගෙයක් ‍ගානේ යමින් එමින් මුදල් ද උපයා ගෙණ සුවසේ ජීවත් වන්නේ ය.

හිරි නම්: කායදුශ්චරිතාදී වූ පව්කම් නිසා සිතේ නගිනා ලජ්ජාගතිය යි. පව්කම්හි හැකිළෙන පසුබට වන ගතිය යි. “කායදුච්චරිතාදීහි හිරීයතීති = හිරි, ලජ්ජායෙන අධිවචනං” යි කීයේ එහෙයිනි. ඒ මේ හිරිතොමෝ අජ්ඣත්තසමුට්ඨානාහිරි - අත්තාධිපතෙය්‍යා හිරි - ලජ්ජාසමාවසණ්ඨිතා හිරි - සප්පතිස්ස වලක්ඛණා හිරි යි සිවු වැදෑරුම් වන්නී ය.

එහි සතුන් මැරීම, හොරකම් කිරීම, මිස හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරොස් බස් බිණීම, නිසරුබස් බිණීම, රහ මෙර බීම ඈ පව්කම් කිරීම ජාතිමත් කුලීනයන්ගේ වැඩෙක් නොවේ. එය පහත් කුලැතියන්ගේ වැඩෙකැ’යි තමන්ගේ ජාතිමහත්ත්‍වය කුලවත්බව සැලකීමෙන් හා, පව්කම් කිරීම කොළු කෙල්ලන්ගේ වැඩෙක, කිසිත් උගැන්මක් නැති අඥානයන්ගේ වැඩෙක, වැඩට සුදුසු තරුණ වයසෙහි සිටියවුන්ගේත් දැන උගත්කම් ඇති නුවණැති මිනිසුන්ගේත් වැඩෙක් නොවේ. එහෙයින් මා වැනි මෝරාගිය වයසක් මෝරාගිය නුවණක් ඇති මිනිසුන් විසින් පව්කම් කිරීම නො සුදුසු ය යි තමන්ගේ තරුණ වයස ගැණ සැලකීමෙන් හා පව්කම් කිරීම, හැම තැන පසු බස්නා කිසිත් කර ගත නො හැකි දුබල මිනිසුන්ගේ වැඩෙක, හයිබල ඇති ක්‍රියායෙහි දක්‍ෂ වූ මිනිසුන්ගේ වැඩෙක් නො වේ. එහෙයින් පව්කම් කිරීම, මා වැනි ශූර වූ මිනිසක්හට නො සුදුසු ය යි තමන්ගේ ශූරභාවය සැලකීමෙන් හා පව්කම් කිරීම, අන්‍ධබාලයන්ගේ මෙලොව පරලොව දැනීමෙහි මූඪ වූවන්ගේ වැඩක් මිස බොහෝ ඇසූ පිරූ තැන් ඇති නුවණැති මෙලොව පරලොව දන්නා මිනිසුන්ගේ වැඩෙක් නො වේ. එහෙයින් බුහුශ්‍රැත වූ මට පව්කම් කිරීම නො සුදුසු ය යි තමන්ගේ බහුශ්‍රැතභාවය සැලකීමෙන් හා පව්කම් ‍නො කරන්නහුගේ ආත්මගෞරවය නිසා සිත්හි උපදනා ලජ්ජාස්වභාවය ‘අජ්ඣත්තසමුට්ඨාන හිරි’ නමි.

තමා සැදැහැයෙන් පැවිදි වූ බව, බොහෝ ඇසූපිරූතැන් ඇති බව, ධූත ගුණාදිය රක්නා බව යන මේ ඈ තන්හි පිහිටා තමා අධිපති කොට ගන්නහුට උපදනා ලජ්ජාව ‘අත්තාධිපතෙය්‍යහිරි’ නමි. සැදැති කුලපුත් තමා අධිපති කොට අකුශලය දුරු කරයි, කුශලය වඩයි, වරද දුරලයි, නිවරදයෙහි යෙදෙයි, පිරිසිදු සිතැති ව ජීවිතය ගෙවාල, යි යනු මෙහිලා බුදුරජානන් වහන්සේ වදාළ සේක.

එළිමහන්හි මල මූ පහ කරන්නෙක් එහි දී ලජ්ජාවිය යුත්තකු දැක ලජ්ජිත වන්නේ යම්සේ ද, එසේ ලජ්ජාස්වභාවයට පැමිණ පව්කම් නො කිරීමෙහි ලා ඔහුට උපදනා ලජ්ජාව ‘ලජ්ජාසහාවසණ්ඨිතහිරි’ නමි.

ජාතිමහත්ත්‍වය - ශාස්තෘමහත්ත්‍වය - දායාදමහත්ත්‍වය - බ්‍රහ්මචාරී මහත්ත්‍වය යන මේ කරුණු සිහි කොට පව්කමින් වළකින්නහුට උපදනා ලජ්ජාව ‘සප්පතිස්සවලක්ඛණහිරි’ නමි.

ඔත්තප්ප නම්: පව්කම් කිරීමෙහි බියවීම ය. කායදුශ්චරිතාදිය කරණ කොට වන්නා වූ බිය ය. “තෙහියෙව ඔත්තප්පතිහි = ඔත්තප්පං, පාපතො උබ්බෙගස්සෙතං අධිවචනං” යනු කීයේ එහෙයිනි. ඒ මේ ඔත්තප්පය බහිද්ධා සමුට්ඨානඔත්තප්ප - ලොකාධිපතෙය්‍යඔත්තප්ප - භයසභාවසණ්ඨිඔත්තප්ප - වජ්ජභිරුකභයදස්සාවීලක්ඛණඔත්තප්ප යි සිව් වැදෑරුම් වන්නේ ය.

එහි පව්කම් කරන්නේ සිවුපිරිස් හි ගර්‍හාවට වැටෙන්නේ ය. නුවර වැසියා අසුචියට පිළිකුල් කරන්නා සේ පව්කම් කරන්නහුට පිළිකුල් කරන්නේ ය. ලෝ වැස්සෝ පව්කම් කරන්නහුට ගර්‍හා කරන්නෝ ය. සිල්වතුන් විසින් වැදගතුන් විසින් හේ බැහැර කරණ ලද්දේ ය. “මහණ! කෙසේ නම් පව්කම් කරන්නෙහි දැ”යි මෙසේ පිටතින් පැමිණෙන ගැරහුම් නින්දා දැක සිත්හි නගිනා බිය ‘බහිද්ධසමුට්ඨානඔත්තප්ප’ නමි.

“ලෝකය ඉමහත් ය, එහි ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා මහණ බමුණෝ ද දෙවියෝ ද ඇත, ඔවුහු හැම කෙනෙක් ‘මේ මිනිහා පැවිදිව සිටත් පව්කම් නෝබිනාකම් කෙරේය’යි දන්නාහු ය, එහෙයින් මා විසින් පව්කම් නො කටයුතු ය, අකුසල් නො කොට හළ යුතු ය, පිරිසිදු ජීවිතයක් ගතකළ යුතු ය’යි ලෝකය දෙස බලා පව්කම් කිරීමෙහිලා සිතෙහි නගිනා බිය ‘ලොකාධිපතෙය්‍යඔත්තප්ප’ නමි.

“පව්කම් කරන්නහුට සතර අපායය සිය ගෙය වැනි ය, පව් කම් කරන්නෝ මරණින් මතු එකාන්තයෙන් අපායයෙහි උපදින්නෝ ය, එහි එසේ උපන්නෝ යමදූතයන් විසින් කරණු ලබන කම්කටොලුවලට යටත්ව සිටින්නෝ ය, එහෙයින් මා විසින් කිසිත් පාපයෙක් නො කට යුතු ය”යි අවාබිය දැකීමෙන් සිතෙහි නගිනා බිය ‘භයසහාවසණ්ඨිතඔත්තප්ප’ නමි.

“මම කය වචන මනස යන තිදොරින් පව්කම් කරන්නෙම් නම්, කිම, තෙමේ ඒ මට නො ගරහන්නේ ද, තෙමේ තමාට දොස් නො කියන්නේ දැ”යි තමාගෙන් තමා කෙරෙහි නගිනා දොෂාරොපණයෙන් හා එසේම එහි ලා පරාගෙන් නගිනා දොෂාරොපණයෙන් හා රජදරුවන් සොරුන් අල්ලා කරවන දෙතිස් කම් කටොලු දැක කාබුන් මරණින් මතු අපායයෙහි ඉපද විඳින දුක් දැකීමෙන් හා උපදනා බිය දැකීම ලකුණු කොට සිටි බිය ‘වජ්ජාභීරුකභයදස්සාවීලක්ඛණඔත්තප්ප’ නමි.

මෙසේ ඉතා සැකෙවින් කියූ ලෝකපාලකධර්‍ම වූ මේ විළිබිය යමක් හට නැත්තේ නම්, ඔහු වැදූ බව ගැණ සුලුමව ගැණ නැන්දනිය ගැණ බුහුන ගැණ කෙල්ලන් ගැණ තරුණියන් ගැණ මැහැල්ලන් ගැණ තැකීමක් සැලකීමක් නො කොට එළු ‍තිරෙළුවන් සේ කුකුළුහූරන් සේ බලු සිවලුන්න් සේ ගෙරිහරක් සේ වරදවා ක්‍රියා කරන්නේ ය. අද මිනිස්සමාජයෙහි බලු සිවලුන් අත කෙරෙණ එබඳු පහත් ලාමක නින්‍දා කොතෙකුත් දැක්ක හැකි ය. ගෑණු-පිරිමි දෙපසෙහි ම ඇතැම් දෙන මහජනසන්නිපාතස්ථානයන්හි වේදිකා මතුයෙහි නැගී නග්නව නටන්නෝ ය. නග්නව උනුන් වැළඳ ගන්නෝ ය. ඒ ඒ අඟපසඟ විදහා දක්වන්නෝ ය. නග්නව දුවන්නෝ ය. පනින්නෝ ය. එළු තිරෙළුවන් වැනි කුකුළු හූරන් වැනි බලු සිවලුන් වැනි ගෙරිහරකුන් වැනි මේ ගෑණු පිරිමි සමාජදූෂකයෝ ය. කුලපරම්පරානාශකයෝ ය. ගුණධර්‍ම සිඳ හරින්නෝ ය. මොවුන්ගේ මේ විළිබිය නැති ජඩකම් බලා අසද්ධර්‍මයන් බලා ඉන් සෑහීමට යන්නෝ එයට රුකුල් දෙන්නෝ තුති පැසසුම් කරන්නෝ තෑගිබෝග දෙන්නෝ මොවුනට වඩා අධමයෝ ය. පාපතරයෝ ය. සමාජය වරදට හෙළන්නෝ ය. මෙසේ මහත් පව්කම්වලට තුඩු දී සිටුනා විළි-බිය යමක්හට නැත්තේ නම් හේ අහිරික නම් වේ.

කාකසූරෙන = ශූරවූ කවු‍ඩකු වැනි

‘සඞ්කිලිට්ඨෙන’ යන්නෙන් ගැණෙන්නහු වෙසෙසා සිටියේ ය. ශූර වූ කවුඩු තෙමේ ගෙවල පිළියෙල කොට තුබූ කැඳබත් ආදී වූ යමක් ගසා කනු කැමැති ව බිත්ති අටලු ගස් අතු ඈ යම් තැනක රැඳී තුටු සිත් ඇති ව බලන්නකු මෙන් අන් තැනක යැවූ සිත් ඇත්තකු මෙන් නිදන්නකු මෙන් හිඳ ගෙවල මිනිසුන්ගේ ප්‍රමාදයක් බලා එක්වර පියාඹා අවුත් හැළිවළන් බඳුන් ඈ යම් තැනක තුබූ දැය කට පුරා ගෙණ පැන දුවන්නේ ය.

කාක නම්: ගොදුරෙහි තදින් ගිජු වූ නිතර සැලෙන සැහැවි ඇති පක්‍ෂිවිශේෂයෙකි. බ්‍රාහ්මණ-ක්‍ෂත්‍රිය-වෛශ්‍ය-ශුද්‍ර වශයෙන් මිනිසුන් සිව් කොටසක් කොට බෙදූ සේ කාකපක්‍සීහු ද ඒ සිවු කො‍ටසෙහිලා බෙදන ලදහ. එහි සිරුරෙන් මහත් වූ, මහත් වූ දිග් තුඩු ඇති දැඩි හඬ ඇති කළුපැහැති කවුඩන් බ්‍රාහ්මණැ යි ද, පිඟු නිල්වන් මුසු පැහැති ඇස් ඇති තියුණු හඬ ඇති ඉතා ශූර වූ කවුඩන් ක්‍ෂත්‍රියැ යි ද, පඬු නිල් පැහැති සිරුරු ඇති සුදු නිල් මුසු පැහැති තුඩු ඇති නො තද ව හඬ නගන කවුඩන් වෛශ්‍යැ යි ද, අලු පැහැති ක්‍රැශ වූ සිරුරු ඇති චපල වූ මහත් සේ හඬ නගන කවුඩන් ශුද්‍රැ යි ද බෙදූහ. කාකවිස්තරය ද ඉතා පළල් ය. පොත පතෙහි ඒ එන්නේ ය.

ධංසිනා = මෙරමා ගුණ නසන

‘සඞ්කිලිට්ඨෙන’ යන්නට විශේෂණ ව සිටියේ ය. “අසුවල් ස්ථවිරයන් වහන්සේ ආශා නැතියහු”යි අසා “ඇයි, අපි ආශා නැත්තමෝ නො වෙමු දැ”යි මේ ඈ කියමින් මෙරමා ගුණ නසන්නා වූ, යන අරුත්.

මෙබන්දහුගේ කීම් බස් අසා “මෙතෙමේ ද අප්පිච්ඡතාදිගුණයුක්තය”යි සිතන්නා වූ මිනිස්සු මෝහට යමක් දිය යුතු ය, යි ද සිතත්. එහෙත් ඔහු එතැන් සිට නුවණැති මිනිසුන්ගේ සිත් ගැණීමෙහි අපොහොසත් වූයේ ඔවුන්ගෙන් ලත් හැම ලාභයෙන් පිරිහෙන්නේ ය. මෙසේ මෙරමා ගුණ මකන ගිහියා හෝ පැවිද්දා තමාගේ හා මෙරමාගේ හැම ලාභ නසාලන්නේ වේ.

පක්ඛන්‍දිනා = ගෙන් ගෙට දුවන සුලු වූ. ඇතුළට වදින සුලු වූ. ගෙවලට කඩා පනින්නා වූ.

‘සඞ්කිලිට්ඨෙන’ යනු හා එක් වන්නේ ය. මෙරමා අයත් කටයුතු තමා අයත් කටයුතු සේ දක්වන මෙතෙමේ, භික්‍ෂූන් අළුයම නැගිට සෑමිදුල් ඈ හැමද කමටහන් මෙනෙහි කිරීමෙන් මද වේලාවක් හිඳ නැගී ගමට පිඬු පිණිස වදනා කල්හි, මූණකට සෝදා රන්වන් කොට රෑඳූ සිවුරු හැඳ පෙරව ඇස අඳුන් ගා හිස තෙල් ගැල්වීම් ආදියෙන් සිරුර සරසා ගෙණ වත් පිළිවෙත් සරුව හමදනා එකකු මෙන් මුසුන් පහර දෙක තුනක් මලුවෙහි දක්වා දොරටු ව බලා යන්නේ ය. ගම් නුවර වැසි මිනිස්සු සැදැතිව “සෑ වඳිමු, මල් පුදමු”යි විහාරයට ආවාහු මොහු දැක “මේ විහාරය මුන්වහන්සේ නිසා රැකෙන්නේ ය, නො නැසී පවත්නේ ය, මුන්වහන්සේ සිවු පසයෙන් වෙහෙසට නො ද පැමිණෙත්වා”යි ඔහුට සිවුපසය වඩාලා දෙන්නේ ය.

පගබ්භෙන = බුහුටි වූ. කායපාගබ්භියාදියෙන් යුක්ත වූ.

‘සඞ්කිලිට්ඨෙන’ යනු බලා සිටියේ ය. කායපාගබභිය - වචී - පාගබ්භිය - මනොපාගබ්භිය යි පාගබ්භිය තෙවැදෑරුම් ය. එහි සඞ්ග - ගණ - පුග්ගල - භෝජනසාලා - ජන්තාඝර - නහානතිත්‍ථ - භික්ඛාචාරමග්ග - අන්තරඝර යන අට තන්හි නො සුදුසු ක්‍රියා කිරීම, නො සුදුසු සේ හැසිරීම ‘කායපාගබභිය’ නම් වේ. යමෙක් සඟ මැද සඟළ සිවුරෙන් හෝ දෙ අතින් දෙදණ වසා අවුළුවා ගෙණ හිඳී නම්, පාපිට පා තබා හිඳී නම්, ගණයා මැද වැඩි මහල්ලන් මැද එසේ හිඳී නම්, බොජුන්හලෙහි වැඩි මහල්ලන්ට අසුන් නො‍ දේ නම්, නවකයන් අසුන්වලින් වළකා නම්, ගිනිහලෙහි වැඩි මහල්ලන් නො විචාරා ගිනි දල්වා නම්, නානතොටෙහි ආ පිළිවෙළින් ස්නානය කටයුතු ය යි කළ නියමය නො සලකා පසු ව අවුත් වැඩි මහල්ලන් හා නවකයන් වළකා පළමු ව ස්නානය කෙරේ නම්, පිඬු සිඟා යෑමෙහි දී අග්‍රාසන - අග්‍රොදක - අග්‍රපිණ්ඩ ලබනු රිසියෙන් වැඩි මල්ලන් පසුපසෙහි කොට ඉදිරියෙහි යේ නම්, ගම් වැදීමෙහි ලා බාහුයෙන් බාහුට ගටා වැඩි මහල්ලන්ට පළමු ව ගම් වදී නම්, තරුණයන් හා කායක්‍රීඩා කෙරේ නම් හෙතෙමේ කයින් නො සුදුසු සේ ක්‍රියා කරන්නේ ය. හැසිරෙන්නේය යි දතයුතු ය.

සඞ්ඝ - ගණ - පුග්ගල - අන්තරඝර යන සිවු තන්හි නො සුදුසු වදන් පැවසීම ‘වචීපාගබභිය’ නම් වේ. සඟ මැද ගණයා මැද වැඩි මහල්ලන් ඉදිරියෙහි යමෙක් අවසර නො ලබා නො ද විචාරා බණ කියා නම්, මිනිසුන් විසින් පැණ විචාරණ ලදුයේ වැඩි මහල්ලන් නො විචාරා එයට පිළිතුරු දේ නම්, මෙ නම් ගමෙහි කුමක් තිබේ ද? කැඳ? නොහොත් කැවිලි? තලප? මට කුමක් දෙනේනෙහි? කුමක් අද කන්නෙමු? කුමක් බොන්නෙමු?යි මේ ඈ කියා නම්, හේ වචනයෙන් නො සුදුසු සේ ක්‍රියා කරන්නේ ය නො සුදුසු වදන් පවසන්නේ ය යි දත යුතු ය.

යට කියූ ඒ ඒ තන්හි කයින් හා වචසින් වරදට නො ද පැමිණ සිතින්ම කාමවිතර්‍කාදීන්ගේ වශයෙන් නො සුදුසු විතැකුම් කිරීම ‘‍මනොපාගබ්භිය’ නම් වේ. මෙසේ කය - වචස - මනස යන තිදොරින් මේ කියූ කායපාගබ්භියාදියෙන් යුක්ත වූයේ පාගබ්භිය නැමැයි දත යුතු ය.

සඞ්කිලිට්ඨෙන ජීවිතං = ඉතා කිලිටි දිවි වැටුම් ඇති මහණහු විසින් ජීවත්වීම.

හිරි ඔතප් සිඳී යෑම, ශූර වූ කවුඩකු මෙන් මෙරමා අයත් දැය උදුරා ගැණීම, මෙරමා පිළිබඳ ගුණ මැකීම, අනෙසනයන්හි පිහිටා ගෙයක් ගානේ යෑම, කය - වචස - මනස යන තිදොරින් නො සුදුසු සේ හැසිරීම, බුද්ධාදී වූ උතුමන් විසින් නින්දා කරණ ලද අන්‍ය වූත් පාපක්‍රියාවන්හි යෙදීම යන මෙයින් කිලිටි වූ පිළිකුල් කට යුතු වූ චරිත ඇති මහණ සඞ්කිලිට්ඨ නම්.

මෙහි ඉතා සැකෙවින් කියූ මේ හැම කරුණු ම රැඳී සිටි ජීවිත ඇත්තේ ම සඞ්කිලිට්ඨ ය යි නො ගත යුතු ය. මින් එකෙකුනුදු සඞ්කිලිට්ඨ වන්නේ ය. මේ සියල්ලෙන් හෝ නැත, මින් එකෙකින් හෝ කිලිටි දිවිවැටුම් ඇත්තහුට සුවසේ ජීවත් විය හැකි ය. “ජීවිතං, සුජීවං” යනු වදාළේ එහෙයිනි.

හිරිමතා ච (දුජ්ජීවං) = පවෙහි විළිබිය ඇත.

දුජ්ජීවං යනු මත්තෙහි සම්බන්‍ධයට යන්නේ ය. මෙතෙමේ නො මව, මවැ යි නො පියහු, පියැ යි නො බුහුන, බුහුනැ යි නො බෑයා, බෑයැ යි නො නෑයා, නෑයැ යි කිසිවිටෙකත් නො ගන්නේ ය. මේ ලාමක හැඟුම්හි නො පිහිටා ගත් මෙ තෙමේ නො දැහැමි සිවුපසය අසුචියක් සේ සලකා දැහැමින් සෙමින් සිවුපසය සොයනුයේ ගෙපිළිවෙළින් පිඬු සිඟා හැසිර අපහසුවෙන් රළු පැවැතුමෙන් ජීවිකාව කරන්නේ ය.

නිච්චං සුචිගවෙසිනා = නිතොර පිරිසිදු වූ කායකර්‍මාදිය සොයන සුලු.

‘පස්සතා’ යනු බලා සිටියේ ය. යමෙක් දිව රෑ දෙක්හි තමාගේ කය පිළිබ පිරිසිදු බව ප්‍රාණඝාතාදිපාපකර්‍මයන්ගෙන් වැළක්ම, වචනය පිළිබ ඳ පිරිසිදු බව මෘෂාවාදාදිපාපකර්‍මයන්ගෙන් වැළක්ම, සිත පිළිබඳ පිරිසිදු බව අභිද්ධ්‍යාදි පාපකර්‍මයන්ගෙන් වැළක්ම සොයනුයේ සුචිගවෙසී නම්.

අනලලිනෙන = දිවිවැටුමෙහි නො ඇලුනා වූ.

මෙහි දිවිවැටුම සඳහා සිවුපසය එක්රැස් කර ගැණීමෙහි නො ඇලුනු රසවිෂයයෙහි ගෙධව පිණි පිණී දැය සෙවීමෙහි නො ඇලුනේ අනලලින නම්.

අපගබ්භෙන = බුහුටි නො වූ.

යට දැක් වූ කායපාගබ්භියාදී වූ තෙවැදෑරුම් පාගබ්භියෙන් තොර වූයේ අපගබ්භ නම්.

සුද්ධාජීවෙන = පිරිසිදු දිවිවැ‍ටුම් ඇත්තා වූ.

විළි-බිය දෙකින් යුක්ත වූයේ පිරිසිදු කායකර්‍මාදිය සොයනුයේ දිවිවැටුමෙහි නො ඇලුනේ කායපාගබ්භියාදියෙන් තොර වූයේ සුද්ධාජීව නම්.

පස්සතා = දක්නා මහණහු විසින්.

මෙසේ පිරිසිදු වූ ආජීවය ම සරු කොට සලකන ආජීව පාරිශුද්ධිය සඳහා පණවා වදාළ සිකපද දිවි ගිය ද නො කඩ කොට රක්නා වූ මහණහුට සුවසේ ජීවත් විය නො හැකි ය. ඔහුගේ ජීවිතයාත්‍රාව තද දුකින් තද වෙහෙසින් වන බව ‘දුජ්ජීවං’ යන්නෙන් වදාළ සේක.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

ශාරීපුත්‍රස්ථවිර සද්ධිවිහාරික වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.