පොරාණමෙතං අතුල නෙතං අජ්ජතනාමිව
නින්‍දන්ති තුණ්හිමාසීනං නින්‍දන්ති බහුභාණිනං
මිතභාණිම්පි නින්‍දන්ති නත්‍ථි ලොකෙ අනින්‍දිතො.
අතුල ය, මේ ගැරැහුම් පැසැසුම් දෙක පුරාතන ය. මෙය අද පමණක් වූ දැයෙක් නො වේ. මුවෙන් නො බැණ උන්නවුනට ද නින්දා කෙරෙත්. බොහෝ කොට බණන සුල්ලන්ට ද නින්දා කෙරෙත්. මඳ කොට බණන සුල්ලහුට ද නින්‍දා කෙරෙති. (එහෙයින්) ලොවැ සර්‍වප්‍රකාරයෙන් අනින්‍දිත සත්ත්‍වයෙක් නම් නැති.
න චාහු න ච භවිස්සති න චෙතරහි විජ්ජති
එකන්තං නින්‍දිතො පොසො එකන්තං වා පසංසිතො.
ඒකාන්තයෙන් ගැරහුම් ලත් පුරුෂයෙක් හෝ ඒකාන්තයෙන් පසස්නා ලද පුරුෂයෙක් හෝ අතීතයෙහි ද නො වී ය. අනාගතයෙහි ද නො වන්නේ ය. දැන් වර්‍තමාන කාලයෙහි ද නැත්තේ ය.
යං චෙ විඤ්ඤූ පසංසන්ති අනුවිච්ච සුවෙ සුවෙ
අච්ඡිද්දවුත්තිං මෙධාවිං පඤ්ඤාසීලසමාහිතං.
ඉදින් නුවණැත්තෝ දවස දවස විමසා, නින්‍දාවට ද ප්‍රශංසාවට ද කාරණය දැන, යමකුට ප්‍රශංසා කෙරෙත් ද, අච්ඡිද්‍ර වූ ශික්‍ෂායෙහි පවත්නා (නොහොත් අච්ඡිද්‍ර ජීවිතවෘත්ති ඇති) ධර්මොජසප්‍රඥාව ඇති (විවසුන් නුවණ ඇති), ලොවිලොවුතුරා නුවණිනුත් සිවු පිරිසිදු ශීලයෙනුත් සමන්‍විත වූ,
නෙක්ඛං ජම්බොනදස්සෙව කො තං නින්‍දිතුමරහති
දෙවා’පි නං පසංසන්ති බ්‍රහ්මුනා’පි පසංසිතො.
ඒ මහණහට ජාම්බොනද කනකපුංජයකට මෙන් නින්දා කරන්නට කවරෙක් සුදුසු ද? ඒ මහණහට දෙවියෝද (නුවණැති මිනිස්සු ද) ප්‍රශංසා කෙරෙති. මහබඹුහු විසිනුදු හේ පසසන ලදුයේ ම වේ.
සැවැත් නුවර අතුල නම් උපාසකයෙක් වෙයි. ඔහුට පන් සියයක් උපාසකයෝ පිරිවර විසින් වූහ. දවසක් අතුල උපාසක තෙමේ ඒ උපාසකයන් කැටුව බණ ඇසීමට විහාරයට ගොස් රේවත තෙරුන් ඉදිරියෙහි බණ අසනු කැමැති ව තෙරුන් වැඳ වාඩි ගත්තේ ය. ඒ ස්ථවිරයන් වහන්සේ විවේකයෙහි ඇලුනෝ සිංහයකු සේ එකලාව විසූ බැවින් ඔහු හා කිසිවක් කතා නො කළහ. එකල්හි උපාසක තෙමේ “ස්ථවිරයන් වහන්සේ මා හා කතා නො කෙරෙති”යි කිපියේ එතැනින් නැගිට සැරියුත් මහ තෙරුන් වෙත ගොස් එකත් පසෙක වාඩි ගත. එවිට තෙරුන් විසින් “උපාසක! කුමක් නිසා මෙහි ආයෙහි?”යි විචාරණ ලදුයේ “ස්වාමීනි! මම මේ උපාසකයනුත් සමග බණ අසන්නට සිතා රේවත තෙරුන් වෙත ගියෙමි, උන්වහන්සේ මා හා කිසිවක් කතා නො කළහ, මගේ සිත්හි නැගුනු කෝපය නිසා මම මෙහි පැමිණියෙමි, මට බණක් වදාරණු මැනැවැ”යි කී ය. ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ “උපාසක! එසේ නම් හිඳුව”යි හිඳුවා ගෙණ බොහෝ කොට අබිදහම් බණක් දෙසූහ. උපාසක තෙමේ “අබිදහම ඉතා සියුම් ය, එය අපට වටහා ගැණීම පහසු නො වේ, ස්ථවිරයන් වහන්සේ බොහෝ කොට අබිදහම් ඇද බාන්නාහ, අපට මෙයින් කම් කිමැ”යි උන්වහන්සේ කෙරෙහි ද කිපියේ සිය උපාසක පිරිසත් ගෙණ අනඳ තෙරුන් වෙත ගියේ ය. තෙරුන් විසිනිදු “උපාසක! කුමක් නිසා මෙහි ආයෙහි?”යි විචාරණ ලදුයේ “ස්වාමීනි! අපි බණ අසන්නට සිතා රේවත තෙරුන් වෙත ගියෙමු, උන්වහන්සේගෙන් වචනමාත්‍රයෙකුත් නො ලැබින, එයින් හට ගත් කෝප ඇති ව එතැනින් නැගිට සැරියුත් මහා තෙරුන් වෙත ගියෙමු, එතැනදී අපට අසන්නට ලැබුනු බණ, අප වැන්නන්ට තේරුම් ගත හැකි බණෙක් නො වී ය, මෙයින් අපට කම් කිමැ’යි කියා මෙහි ආම්හ, එහෙයින් ස්වාමීනි! අපගේ හැටි බලා යම්කිසි බණක් වදාරණු මැනැවැ”යි කී ය.
එසේ කී කල්හි ආනන්‍ද මහාස්ථවිරයන් වහන්සේ ඔවුනට පහසුවෙන් දත හැකි බණක් ම වැඩියක් ගැඹුරු නො කොට දිග් නො ගසා යන්තමකින් දෙසූහ. එයිනුදු කිපුනු ඒ උපාසකයෝ බුදුරදුන් වෙත ගොස් වැඳ එකත් පසුව හුන්හ. “කුමක් නිසා මෙහි ආවහු දැ”යි ඔවුන් විචාළ කල්හි “ස්වාමීනි! බණක් ඇසීමට ය”යි කීහ. එවිට බුදුරජානන් වහන්සේ මෙයට කලින් තෙපි බණ ඇසුවහු දැ?”යි අසා වදාළ සේක. “ස්වාමීනි! අපි පළමු කොට බණ අසන්නට සිතා ගියමෝ රේවත තෙරුන් වෙත ය, උන්වහන්සේ වචනයක් පමණකුත් අප හා කතා නො කළහ, කෝපයෙන් ගැහි ගැහී එතැනින් නැගිට සැරියුත් මහා තෙරුන් වෙත ගියමෝ ය, උන්වහන්සේ අපට අබිදහම් දෙසාබෑහ, ඒ බණ අපට තේරුම් ගත නො හැකි වී ය, එතැනින් නැගිට අනඳ මහා තෙරුන් වෙත ගියෙමු, ගියමෝ ද කෝපයෙන් ය, එහි දී කුඩා දරුවනට සෑහෙන ඉතා සුලු බණක් යන්තමකින් උන්වහන්සේ කියා පෑහ, එ ද අපසිත් නො ගත්තේ ය, කෝපයෙන් පිපිරි පිපිරී මෙහි ආම්හ”යි ඔවුහු කීහ.
ඉක්බිති බුදුරජානන් වහන්සේ අතුලගේ කතාව අසා, “අතුල! කම් නැත, මේ නින්‍දා - ප්‍රශංසා දෙක පෙර සිට එන්නේ ය, නිහඬ වුව ද ගැරහුම් ය, බොහෝ කොට කීව ද ගැරහුම් ය, මද කොට කීව ද ගැරහුම් ය, එකාන්තයෙන් ගැරහිය යුත්තෙක් හෝ එකාන්තයෙන් පැසසිය යුත්තෙක් හෝ නැත්තේය, ඇතැම් කෙනෙක් රජුනට ද ගරහත්, ඇතැම් කෙනෙක් පසසත්, මහපොළොවට සඳහිරුට සිවුපිරිස් මැද හිඳ දම් දෙසන සම්බුදුනට ද ඇතැම් කෙනෙක් ගරහත්, ඇතැම් කෙනෙක් පසසත්, කලෙක නින්දා කළෝ කලෙක ප්‍රශංසා කෙරෙත්, කලෙක ප්‍රශංසා කළෝ කලෙක නින්දා කෙරෙත්, නුවණ නැති මෝඩ මිනිසුනට නින්දා ප්‍රශංසා දෙකක් නැත්තේය, ඔවුනට නින්දාවත් ප්‍රශංසාවත් දෙක එකෙක් ම ය, ඔවුහු ගැරහිය යුත්ත නො දනිත්, පැසසිය යුත්ත නො දනිත්, ගැරහිය යුත්තට පසසත්, පැසසිය යුත්තට ගරහත්, මේ මෝඩ මිනිසුන්ගේ ගතිය ය, නුවණැත්තෝ එසේ නො වෙත්, නුවණැත්තහු විසින් ගැරහුම් කරණ ලද්දේ නම් ඒ ගැරහිය යුත්තේ ම ය, පසස්නා ලද්දේ නම් පැසසිය යුත්තේ ම ය”යි වදාරා මේ ධර්‍මදේශනා කළ සේක.
පෙරාණමෙතෙං අතුල! නෙතං අජ්ජතනාමිව,
නින්‍දන්ති තුණ්හීමාසීනං නින්‍දන්ති බහුභාණිනං,
මිතභාණිම්පි නින්‍දන්ති නත්‍ථි ලොකෙ අනින්‍දිතො.
.
න චාහු න ච භවිස්සති න වෙතරෙහි විජ්ජති,
එකන්තං නින්‍දිතො පොසො එකන්තං වා පසංසිතො.
.
යඤ්චෙ විඤ්ඤු පසංසන්ති අනුවිච්ච සුවෙ සුවෙ,
අච්ඡිද්දවුත්තිං මෙධාවිං පඤ්ඤාසීලසමාහිතං.
.
නෙක්ඛං ජම්බොනදස්සෙව කො තං නින්‍දිතුමරහති,
දෙවාපි නං පසංසන්ති බ්‍රහ්මුනාපි පසංසිතොති.
අතුල! මෙය පෙරවූවෙක. මෙය අද වූවෙක් ම නො වේ. නිහඬව හුන්නහුට ද නින්දා කෙරෙත්. බොහෝ කොට කතා කරන්නහුට ද නින්දා කෙරෙත්. පමණ කොට කතා කරන්නහුට ද නින්දා කෙරෙත්. ලෙව්හි නින්දා නො කරණ ලද්දෙක් නැත්තේ ය.
එකාන්තයෙන් නින්දා කරණ ලද පුරුෂයෙක් හෝ එකාන්තයෙන් ප්‍රශංසා කරණ ලද පුරුෂයෙක් හෝ නො වී ය. (ඉදිරියෙහි) නො වන්නේ ය. දැනුත් නැත්තේ ය.
නුවණැත්තෝ දිනපතා නුවණින් විමසා යමක්හට ප්‍රශංසා කෙරෙත් ද සිදුරු රහිත පැවැතුම් ඇති විදසුන් නුවණ ඇති ප්‍රඥායෙන් හා ශීලයෙන් යුක්ත වූ ඔහුට-
දඹරන් නිකකට මෙන් නින්දා කරන්නට කවරෙක් සුදුසු වේ ද, ඔහුට දෙවියෝ ද ප්‍රශංසා කෙරෙත්. බ්‍රහ්මයා විසිනුදු පසස්නා ලද්දේය.
පොරාණං එතං අතුල = අතුල, මෙය පෙරවූවෙක, පෙරසිට එන්නෙකි.
අතුල යනු ආලපනයෙහි ආයේ ය. “අතුලාති තං උපාසකං ආලපති”යි අටුවාව කීයේ එහෙයිනි. තමාට අභිමුඛ නො වූවකු අභිමුඛ කර ගැණීම සඳහා යෙදුනේ ආලපනය යි.
එතං යනු ආයේ සමීපාර්‍ත්‍ථ වාචී වූ එත ශබ්දයෙනි. ඉතා ලඟ සිටියහු, මදක් ඈත්හි සිටියහු, ඇසින් දැකිය හැකි තැන සිටියහු සඳහා මේ යෙදෙන්නේ ය. යෙදෙන්නේ ද සිංහලයෙහි පිළිවෙළින් මේ-තෙල-අර යනු විසිනි. මේ-තෙල-අර යන අරුත් ඒ කිසිත් නො සලකා විශේෂයක් නො කොට සිංහලයෙහි නො යෙදුනේ ද නො යෙදෙන්නේ ද නො වේ. “එතසද්දො සමීපත්‍ථවාචකො” යනු ශාබ්දික වචනයි.
පොරාණ යනු පෙරවූයේය, යන අරුත්හි ආයේ ය. පුරා යන නිපාතය කෙරෙන් භවාර්‍ත්‍ථයෙහි ණ ප්‍රත්‍යය වීමෙන් සිද්ධ ය. මෙහි ණ කාරය අවයව ව සිටියේ ය. අනුබන්‍ධ නො වේ. “පුරා භවො පොරාණො” යනු දන්නේ ය. අභිධෙය්‍ය ලිඞ්ගිකය.
න එතං අජ්ජතනං එව = මෙය අද වූවෙක් ම නො වේ.
අද වූයේය, යන අරුත්හි අජ්ජත්ත යනු ආයේ ය. අජ්ජ යන නිපාතය කෙරෙන් භවාර්‍ත්‍ථයෙහි තන ප්‍රත්‍යයවෙන් සිද්ධ ය. “අජ්ජභවො = අජ්ජත්තො” යනු වාක්‍යයි. එව න යනු නිපාතයෝ ය. එව යනු නිර්‍ධාරණයෙහි ය. න යනු ප්‍රතිෂෙධයෙහි ය.
“අතුල! මේ නින්‍දා කිරීමත් ප්‍රශංසා කිරීමත් පෙර සිට මුග්‍ධලෝකයා අත එන්නේ ය, කරුණු නො දන්නවුන් අත එන්නේ ය, මෙය මෙකල්හි වූවෙක් ම නො වේ” යනු අදහසයි.
නින්‍දති තුණ්හි ආසීනං = නිහඬව හුන්නහුට ද නින්දා කෙරෙත්. ගරහත්.
ගොළුවකු සේ බිහිරකු සේ කිසිත් නො දන්නකු සේ නිහඬව හුන්නහුට ද නින්දා කෙරෙත්, යනු මේ වදාළ සේ යි. “කිං එසො මුගො විය බධිරො විය කිඤ්චි අජානන්තො විය තුණ්හි හුත්‍වා නිසින්නොති තං නින්‍දන්ති” යනු අටුවා. තුණ්හි යනු නිහඬ බැව්හි එන නිපාතයෙකි. “තුණ්හීති අසඞ්ඛ්‍යං” යනු ශබ්දික වචනයි.
නින්‍දන්ති බහු භාණිනං = බොහෝ කොට කතා කරන්නහුට නින්දා කෙරෙත්.
“මෙ තෙමේ සුළඟින් සැලෙන තල්පතක් සේ තට තට යන හඬ නගමින් කතා කරන්නේ ය, වට පිට නො බලා පිරිස නො බලා කටට ආ ආවක් කියන්නේ ය, මුගේ කතාවේ කොණෙක් මිම්මෙක් නැත්තේ ය, තම කතාවේ මුල මැද අග මූ නො දන්නේ ය, මූ මහාවාචාලයෙකැ”යි නින්දා කරන්නේ ය, බණින්නේ ය, දොඩන්නේ ය.” “කිං එස වාතාහත්තාලපණ්ණං විය තටතටායති, ඉමස්ස කථාය පරියන්තොයෙව නත්‍ථිති නින්‍දන්ති” යනු අටුවා.
මිතභාණිං අපි නින්‍දන්ති = පමණ කොට කතා කරන්නහුට ද නින්දා කෙරෙත්.
“මේ තෙමේ තමාගේ වචනය රත්රන් මසුරන් කොට සිතයි, එක් දෙබසක් කියා නිහඬ වෙයි, මූට කතා කරන්නට නො හැකි ද එසේ නම් මූ මෙහි ආයේ කුමට ය, කතා කරන්නට අපොහොසත් එකකු කැඳවූවෝ කවරහ”යි පමණ දැන කතා කරන්නහුට ද නින්දා කරන්නෝ ය. බණින්නෝ ය, දොඩන්නෝ ය. “කිං එස සුවණ්ණහිරඤ්ඤං විය අත්තනො වචනං මඤ්ඤමානො එකං දෙව වා වත්‍වා තුණ්හි අහොසීති නින්‍දන්ති” යනු අටුවා.
නත්‍ථි ලොකෙ අනින්‍දිතො = ලෙව්හි නින්දා නො කරණ ලද්දෙක් නැත්තේ ය.
නිහඬව සිටිය ද නින්දා ය. බොහෝ කොට කතා කළ ද නින්දා ය. පමණ දැන පමණට කතා කළ ද නින්දා ය. එහෙයින් හැම අතකින් නින්දා ය. මෙසේ වත් මේ මිනිස් ලොව නින්දා නො කරණ ලද්දෙක් කොතැනකත් නැත්තේ ය. හැම කෙනෙක්ම මෙසේ නින්දා ලබන්නෝ ය. “එවං සබ්බථාපි ඉමස්මිං ලොකෙ අතින්‍දිතො නාම නත්‍ථි” යනු අටුවා.
න ච ආහු න ච භවිස්සති න ච එතරහි විජ්ජති = නො වී ය. නො වන්නේ ය. දැනුත් නැත්තේ ය.
පෙර කවරෙක් නො වූයේ ඉදිරියෙහි කවරෙක් නො වන්නේ දැන් කවරෙක් නැත්තේ? යන මෙහි මෙසේ දත යුතු ය.
එකන්තං නින්‍දිතො පොසො= එකාන්තයෙන් නින්දා කරණ ලද පුරුෂයෙක්.
එකාන්තයෙන් නින්දා කරණ ලද නින්දා ලැබූ පුරුෂයෙක් අතීතයෙහිත් නො වී ය. අනාගතයෙහිත් නො වන්නේ ය. දැනුත් නැත්තේය යි.
එකන්තං වා පසංසිතො = එකාන්තයෙන් ප්‍රශංසා කරණ ලද (පුරුෂයෙක්)
එකාන්තයෙන් ප්‍රශංසා කරණ ලද ප්‍රශංසා ලැබූ පුරුෂයෙක් අතීතයෙහිත් නො වී ය. අනාගතයෙහිත් නො වන්නේ ය. දැනුත් නැත්තේ ය යි.
යං චෙ විඤ්ඤු පසංසන්ති අනුවිච්ච සුවෙ සුවෙ = නුවණැත්තෝ දිනපතා විමසා යමක්හට ප්‍රශංසා කෙරෙත් ද.
එහි විඤ්ඤු නම්: ඇති තාක් ධර්‍මයන්ගේ යථාස්වභාවය තතු ලෙසින් දන්නෝ ය. “යථාසභාවං ජානන්තීති = විඤ්ඤූ” යනු විවරණයි. අනුවිච්ච යන මෙහි අරුත්, හොඳට විමසා බලා, යනු ය චෙ - සුවෙ - සුවෙ - යනු නිපාතයෝ ය. චෙ යනු අනියමෙහි හා ශඞ්කායෙහි ආයේ ය. “මං චෙ ත්‍වං නිබණං වනෙ = එකරත්තිම්පි චෙ විප්පසෙය්”" යනු නිදසුන් ය. සුවෙ යනු කාලාර්‍ත්‍ථයෙහි ය.
අච්ඡිද්දවුත්තිං මෙධාවිං පඤ්ඤාසීලසමාහිතං = සිදුරු රහිත ශික්‍ෂා නොහොත් සිදුරු රහිත දිවිවැටුම් ඇති නුවණැති ප්‍රඥායෙන් හා ශීලයෙන් යුක්ත වූ.
මෙහි අච්ඡිද්දවුත්ති නම්: නො සිදුරු වූ නො කඩ වූ ශීල - සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත ශික්‍ෂා ඇත්තේ හෝ සිදුරු රහිත නිදොස් වූ දිවිවැටුම් ඇත්තේ ය. “අච්ඡිද්දාය සික්ඛාය වා අච්ඡිද්දාය වා ජීවිතවුත්තියා සමන්තාගතත්තා අච්ඡිද්දවුත්ති” යනු අටුවා.
මෙධාවි නම්: ධර්‍මෞජස් ප්‍රඥා ඇත්තේ ය. [1] ලෞකික ලෝකෝත්තර ප්‍රඥායෙන් හා චතුර්විධ පාරිශුද්ධශීලයෙන් යුක්ත වයේ පඤ්ඤා සීලසමාහිත නම්. [2] මෙතුන් පදය යට ගාථායෙහි එන තං යනු විසෙසන්නේ ය.
නෙක්ඛං ජම්බොනදස්ස ඉව කො තං නින්‍දිතුං අරහති = දඹරන් නිකකට මෙන් ඔහුට නින්දා කරන්නට කවරෙක් සුදුසු වේ ද.
නෙක්ඛ නම්: ස්වර්‍ණ පසෙකි. රන් පස් කළඳෙක් සුවර්‍ණයෙකි. එකල්හි නිෂ්කය රන් පස් විසි කළඳෙක් වේ. නෙක්ඛ ශබ්දය එතරම් රණින් කළ ආභරණ විශේෂයන්හි ද වැටේ. ජම්බුනද නම් හොයෙහි හටගත් රත්රන් ජාම්බොනද නමින් කිය වේ. ඒ මේ නිෂ්කය දඹනදරන් පිළිබඳ ය. රණින් කැරුණේ ය. දොසින් විරහිත ය. ගැටීමට මැදීමට සුදුසු ය. එහෙයින් බබලන්නේ ය. අගය මහත් ය.
මෙසේ දොස් රහිත වූ ගැටීමට මැදීමට සුදුසු වූ බැබලීම් සහිත වූ අගය මහත් වූ දඹනදරන් නිකට ගරහන්නට සුදුස්සකු නැත්තා සේ සිදුරු රහිත වූ නුවණැති ප්‍රඥායෙන් හා ශීලයෙන් යුක්ත වූ ඒ පුද්ගලයාහට ගැරහීමට කවරෙකුත් සුදුසු නො වේ. කාටත් ඔහුට ගරහනු බැරි ය.
දෙවාපි නං පසංසන්ති = දෙවියෝ ද ඔහුට පසසත්.
දෙවියෝත් නුවණැති මනුෂ්‍යයෝත් මෙබඳු මහත් ගුණ ඇති ඔහු කරා පැමිණ උවටැන් කොට ස්තුති කරත්. පසසත්.
බ්‍රහමුනා අපි පසංසිතො = බඹහු විසිනුදු පසස්නා ලද්දේ ය.
මොහු පසසන ලද්දේ හුදෙක් දෙව් මිනිසුන් විසින් පමණක් නො වේ. දසදහසක් සක්වළ මහබඹහු විසිනුදු පසස්නා ලද්දේ ම ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ පන්සියයක් උපාසකයෝ සෝවන් ඵලයෙහි පිහිටියහ.
අතුලඋපාසක වස්තුව නිමි.