අහිංසකා යෙ මුනයො නිච්චං කායෙනසංවුතා
තෙ යන්ති අච්චුතං ඨානං යත්‍ථ ගන්ත්‍වා න සොචරෙ.
යම් මුනි කෙනෙක් අනුනට හිංසාවක් නො කෙරෙද්ද, සතතයෙන් කයින් සංවෘත වූවෝ ද, ඒ අශෛක්‍ෂි මුනිහු, සත්ත්‍වයෝ යම් තැනකට ගොස් ශෝක නො කෙරෙද්ද, මරණයක් නැති ඒ අමා මහ නිවන් නැමැති තැනට (අරමුණු කිරීම් වශයෙන්) පැමිණෙන්නාහ.
එක් දවසක් භාග්‍යවත් බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් පිරවරා ගෙණ සාකෙත නුවරට පිඬු සිඟා වැඩි සේක. ඒ වේලෙහි සාකෙත නුවර වැසි එක් මහලු බමුණෙක් නුවරින් බැහැර යනුයේ ගම් දොරදී බුදුරජුන් දැක සිරිපාමුල වැටී ගොප් ඇටය තදින් අල්ලා ගෙණ “දරුව! මවු පියන් මහලු බවට පැමිණි කල්හි දූ පුතුන් විසින් ඔවුහු පිළිදෑගිය යුතු නො වෙත් ද? කුමක් නිසා මෙතෙක් අප දක්නට නො ආවාහු ද? දැන් කෙසේ හෝ මා විසින් ඔබ වහන්සේ දක්නා ලදහ, එවු; මෑනියන් දක්නට යමු”යි බුදු රජුන් කැඳවා ගෙණ සියගෙට ගියේය. බුදුරජානන් වහන්සේ එහි වැඩම කොට භික්‍ෂූන් සමග පැණ වූ අසුන්හි වැඩහුන් සේක. එකල්හි බැමිණිය ද බුදුරජුන් ඉදිරියට අවුත් බුදුරජුන්ගේ සිරිපාමුල වැටී ‘පුතා! මෙතෙක් කොහි ගියහු? මහලු මවුපියෝ දූ පුතුන් විසින් උවැටන් කළ යුත්තෝ නොවෙත් දැ?යි ගෙයි සිටි දූ පුතුන් දෙදෙනාට අඬගසා “එවු; සොහොයුරු වඳිවු”යි ඔවුන් දෙන්නා බුදුරජුන් ඉදිරියට යැවූ ය. ඒ දෙදෙන ද තුටුසිත් ඇතිව බුදු පාමොක් මහණ ගණයා වළඳවා “ස්වාමීනි! හැමදා මෙහි ම භික්‍ෂාව ගණු මැනැවැ”යි ආරාධනා කළහ.
බුදුරජානන් වහන්සේ “ඒ නො කළ හැකි ය, බුදුවරුනට හැමදා එක් තැන ම භික්‍ෂාව ගත නො හැකි ය”යි වදාළ කල්හි “එසේ නම් ස්වාමීනි! යම් කෙනෙක් ඔබ වහන්සේට භික්‍ෂාව පිණිස ආරාධනා කරන්නට ආවාහු නම්, ඔවුන් හැම දෙනා අප වෙතට එවනු මැනැවැ”යි දන්වා සිටියහ. එතැන් සිට බුදුරජානන් වහන්සේ ආරාධනා පිණිස තමන් වෙත එන හැම දෙනා බමුණුගෙට යවන සේක. ඔවුහු එහි ගොස් අපි හෙට දානය පිණිස බුදුරජුන්ට ආරාධනා කරමු”යි බමුණු මාල්ලනට දන්වා සිටිත්. බමුණු පසුදා තම ගෙයින් බත්බඳුන් එළවලු බඳුන් හා කැවිලි පෙවෙලි කද බැඳ ගෙණ එතැනට යන්නේ ය. අන් තැනෙකින් ආරාධනාවක් නැති කල්හි බුදුරජානන් වහන්සේ බමුණුගෙයි ම වළඳන සේක. ඒ බමුණු මහල්ලෝ දෙදෙන දැන් හැමදා දන් දෙමින් බණ අසමින් වතාවත් කරන්නෝ අනාගාමීඵලයට පැමිණියාහු ය.
භික්‍ෂූන් වහන්සේලා දම්සබා මඩුවට රැස්ව “ඇවැත්නි! බමුණු, සුද්ධොදන රජ බදුරජුන්ගේ පියා බවත් මහාමායා දෙවිය මවු බවත් දන්නේ ය, එහෙත් බුදුරජානන් වහන්සේ ඔවුන්ගේ ඒ කතාව ඉවසන සේක, මෙසේ කියනුත් මෙසේ ඉවසනුත් කුමක් නිසා දැ”යි කතා කරන්නට වූහ. බුදුරජානන් වහන්සේ මේ කතාව අසා “මහණෙනි! ඒ දෙදන ම තම පුතුට පුතු ය කියති”යි වදාරා ඒ ඉකුත් පුවත දක්වා වදාළ සේක.
“මහණෙනි! මේ බමුණු තෙමේ අතර නො තබා දැ පන් සියයක් පිළිවෙලින් මාගේ පියා විය, අතර නො තබා දැ පන් සියයක් බාප්පා විය, අතර නො තබා දැ පන් සියයක් මහප්පා විය, එසේ ම මේ බැමිණිය ද අතර නො තබා දැ පන් සියයක් මට මවු වූ ය, අතර නො තබා දැ පන් සියයක් බාලම්මා වූ ය, අතර නො තබා දැ පන් සියයක් මහම්මා වූ ය, මෙසේ මම යෙළ දහසක් දෑහි බමුණු අත වැඩුනෙමි, යෙළ දහසක් දැහි බැමිණිය අත වැඩුනෙමි”යි මෙලෙසින් තුන් දහසක් දැහි තමන් ඒ දෙදෙනාගේ පුත් වූ බව මෙසේ වදාළ සේක.
“යම් කිසිවකු කෙරෙහි - සිත වැද ගැණුම් පැහැදුම්,
වේ නම් නො දුටු එපුරිස් - කෙරෙහි විස්වස් කරණේ.
.
පෙර සමග විසුමෙන් - වත්මන්හි හිතයෙන් හෝ,
මෙසේ ඒ පෙම් උපදී - දියැ උපුල් හට ගණු මෙන්” යි.
බුදුරජානන් වහන්සේ තෙමසක් ම මෙසේ ඒ කුලය ඇසුරු කොට විසූ සේක. ඒ දෙදෙන ද රහත් බව පසක් කොට පිරිනිවියහ. ඉක්බිති පිරිනිවි ඔවුනට මහත් සත්කාර කොට එක් ම කුළුගෙයක නගා ආදාහන භූමියට ගෙණ ගියහ. බුදුරජානන් වහන්සේ ද භික්‍ෂූන් පිරිවර කොට ගෙණ ඔවුන් සමග ම එහි වැඩියහ. මහාජන තෙමේ ද “මේ බුදුරජුන්ගේ මවු පියහ” යි නික්ම ආයේ ය. බුදුරජානන් වහන්සේ ආදාහන භූමියෙහි එක් ශාලාවකට පිවිස වැඩ සිටියහ. මිනිස්සු උන්වහන්සේ වෙත එළැඹ “ස්වාමීනි! ඔබ වහන්සේගේ මවුපියෝ කලුරිය කළහ, යි නො සිතන සේක්වා” යි බුදුරජුන් සමග පිළිසඳර කතායෙහි යෙදී සිටියහ. උන්වහන්සේ ද “එසේ නො කියවු”යි ඔවුනට නො වදාරා ම පිරිසගේ අදහස් බලා එතැනට සුදුසු සේ දහම් දෙසන සේක් මේ ජරා සූත්‍රය දෙසූ සේක.
“මද මෙදිවි මිය යේ - මෙ විට හවුරුදු සියයෙන්,
යමෙකෙක් ඉකුත් කෙළෙ නම් - දිරා මිය යේ වාසිය”යි.
දේශනාවසානයෙහි අසූහාර දහසක් දෙනාට ධර්‍මාවබෝධය විය. භික්‍ෂූහු, බමුණු හා බැමිනිය පිරිනිවිබව නො දන්නාහු “ස්වාමීනි! ඔවුන්ගේ පරලොව කවරේ දැ?”යි ඇසූහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ “මහණෙනි! අසෙඛ මුනිනට පරලොවක් නැත, මෙබඳු වූවෝ නියමයෙන්ම ච්‍යුතිරහිත වූ අමාමහා නිවනට පැමිණෙති”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
අහිංසකා යෙ මුනයො නිච්චං කායෙන සංවුතා,
තෙ යන්ති අච්චුනං ඨානං යත්‍ථ ගනත්‍වා න සොචරෙති.
යම් මුනිහු හිංසා නො කෙරෙත් ද, නිතර කයින් සංවෘත වූවෝ ද ඒ මුනිහු යම් තැනකට ගොස් ශෝක නො කෙරෙත් ද, ච්‍යුතිරහිත වූ එතැනට යන්නාහු ය.
අහිංසකා = හිංසා නො කරන්නා වූ.
හිංසා නම්: “මේ සත්ත්‍වයෝ නැසෙත්වා, සිඳෙත්වා, වැනසෙත්වා, නො වෙත්වා,යි සත්ත්‍වයන් අරමුණු කොට සිතේ නගිනා චින්තාමාත්‍රයෙන්, සත්ත්‍වයන් අතින් පයින් දඬුයෙන් මුගුරෙන් කැටින් කැබලිතියෙන් පරොස් බසින් පෙළීම ය. සත්ත්‍වයන්ට වද දීම ය. මේ හිංසාව සත්ත්‍වයන් අරමුණු කොට මුත් සංස්කාරයන් අරමුණු කොට නො ද උපදනේ ය. “විහිංසා සඤ්ඤා සඞ්ඛාරෙසු න උප්පජ්ජන්නි, ඉමෙ සත්තා හඤ්ඤන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසුන්තිවින්තනකාලෙ පන සතෙන්සු උප්පජ්ජති” යනු අටුවා. එබඳු තැළීමක් පෙළීමක් වධදීමක් එකද සත්ත්‍වයකු කෙරෙහි කිසිවිටෙකත් කිසිකරුණක් නිසාත් නො කරණුවෝ අහිංසකයෝ ය.
යෙ මුනයො = යම් මුනීහු.
කායදුශ්චරිත - වාග්දුශ්චරිත - මනෝදුශ්චරිතයන් මුළුමනින් ප්‍රහාණය කොට සිටියේ මුනි නම් වේ. [1]
නිච්චං කායෙන සංවුතා = කයින් සංවෘත වූවෝ ද.
මෙහි කියූ සංවරය කයින් පමණෙකැ යි නො ගත යුතු ය. වචසින් හා මනසින් වන සංවරය ද මෙයින් ම ගැණෙන බව “කායෙනාති දෙසනා මත්‍තමෙතං, තිහිපි වාරෙහි සංවුතානි අත්‍ථො”යි අර්‍ත්‍ථකථාව කියූ ය. එහෙයින් කය වචන සිත යන තුන්දොරින් සිදුවන පව්වලින් වැළකී සිටියේ සංවුත නම් වේ. ඒ වැළක්ම ද කඩින් කඩ නො ව නො කඩවම දිගට පවත්නේ ම ගත යුත්තේ ය. නිච්චං යනු යෙදුනේ ඒ දක්වනු සඳහා ය.
තෙ යන්නි අච්චුතං ඨානං = ඒ මුනිහු ච්‍යුති රහිත වූ තැනට යෙත්.
ච්‍යුතිරහිත තැන නම්: අමාමහනිවන ය. එතැන සදාකාලික ය. [2] “නත්‍ථි එතස්මිං චුතං චවනන්ති = අච්චුතං” යනු අරුත් විදැහීම ය. අමාමහ නිවන මගපල නැණින් අවබෝධ කළ කල්හි ච්‍යුතියෙක් මෙහි නැත්තේ ය යනු දන්නේ ය.
යත්‍ථ ගනත්‍වා න සොචරෙ = යම් තැනකට ගොස් ශෝක නො කෙරෙත් ද.
අසෙඛමුනි වූ රහතුන් වහන්සේ යම් තැනකට පැමිණියාහු ශෝක නො කෙරෙත් නම් ච්‍යුතිරහිත වූ එතැනට පැමිණෙන්නාහු ය. හෙවත් නිවනට යන්නාහු ය. නිවන් ලැබීමෙන් ජාති ජරා මරණ ශෝක පරිදෙවාදී වූ හැම දුකෙන් මිදෙන්නාහු ය. “යස්මිං ගන්ත්‍වා න සොචන්ති විහඤ්ඤන්ති තං ඨානං ගච්ඡන්ති” යනු අටුවා.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
සාකෙතබ්‍රාහ්මණ වස්තුව නිමි.