තණ්හාය ජායතී සොකො තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.
තෘෂ්ණාව නිසා ම ශෝකය උපදනේ ය. තෘෂ්ණාව නිසා ම භය උපදනේ ය. තෘෂ්ණායෙන් මිදුනහුට ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?
සම්මා සම්බුදුරජානන් වහන්සේ දෙව්රම් මහා වෙහෙර වැඩ වසන දවසෙක මිසදිටු ගත් එක් බ්‍රාහ්මණයෙක් ගඟබඩට ගොස් කුඹුරක් සකස් කරන්නේ ය. බුදුරජානන් වහන්සේ ලොව බලා වදාරණ සේක් ඒ බමුණාහට සෝවාන් වීමට තුබූ හේතු සම්පත් දැක ඔහු වෙතට වැඩියහ. ඔහු බුදුරජානන් වහන්සේ දැකත් සැලකිලි පමණකුත් නො කොට නිහඩ විය. එහෙයින් බුදුරජානන් වහන්සේ පළමු කොට බමුණාට කතා කොට “බමුණ කරන්නෙහි කිමැ?” යි ඇසූහ. “ගෞතමයන් වහන්ස! කුඹුරක් සකස් කරමි” යි හේ කීය. බුදුරජානන් වහන්සේ එ දවස අන් කිසිත් නො බැණ විහාරයට වැඩම කළහ. පසුදාත් උන්වහන්සේ බමුණා කෙත සකස් කරත් ම, ඔහු වෙතට වැඩියහ. වැඩ “බමුණ! කුමක් කරන්නෙහි?” යි ඇසූහ. “ගෞතමයන් වහන්ස! කුඹුරක් සාන්නෙමි” යි කී විට පෙරළා විහාරයට වැඩියහ. පසු පසු දවස්වලදී ද එහි වැඩම කොට එසේම බමුණා විචාරත් ම, “ගෞතමයන් වහන්ස! කුඹුර වපුරමි, කුඹුර නෙලමි, ගොයම් රකිමි” යි ඈ විසින් බමුණු කී බස් අසමින් විහාරයට වැඩියහ.
මෙසේ කිහිප දවසක් ගෙවා එක් දවසෙක බමුණු තෙමේ “භවත්! ගෞතමයන් වහන්ස! ඔබවහන්සේ මේ කුඹුර සකස් කරන්නට පටන් ගත් දා සිට දිනපතා මෙහි අවුත් ඒ ගැණ මාගෙන් කරුණු විචාරන්නාහු ය, යම් ලෙසකින් මාගේ අදහස් ලෙස ගොයම් පැසී ගියේ නම්, ඔබවහන්සේට ද කොටසක් බෙදා දෙන්නෙමි, ඔබවහන්සේට නො දී මම මෙය එකලා ව නොකමි, මෙ තැන් පටන් ඔබවහන්සේ මාගේ යහළුවෙකැ” යි කීයේ ය. ටික දවසක් යත් ම ගොයම් පැසින. බමුණා පැසී ගිය ගොයම බලා සෙට ගොයම දවනෙමි යි දැවුමට කළයුතු කටයුතු සියල්ල පිළියෙල කොට තිබීය දී එදා ම රැයෙහි වට මහා වැස්සෙක් සියලු ගොයම දියෙහි පා කොට හැරියේ ය. කුඹුර සැස තබන ලද්දක් මෙන් වී ය. බුදුරජානන් වහන්සේ එහි පළමු වැඩිය දිනයෙහි ම ගොයම නැසී යන බව දුටු සේක.
බමුණා පසුදා උදෑසන කුඹුර බලන්නෙමි යි එහි ගියේ සිස් කුඹුර දැක උපන් බලවත් ශෝක ඇත්තේ එදා මම “ශ්‍රමණ ගෞතම! ඔබවහන්සේ මා මේ කුඹුර සකස් කරන්නට පටන්ගත් දා සිට මෙහි ආවහු ය, මමත් ‘මේ ගොයම පැසී කපා කොටා ගත් විට ඔබවහන්සේට කොටසක් බෙදා දෙන්නෙමි, ඔබවහන්සේට නො දී නො කන්නෙමි, මෙතැන් පටන් ඔබවහන්සේ මාගේ යහළු’ යි කීමි, මාගේ ඒ අදහස මුදුන් පැමිණියේ නැතැ” යි සිතමින් කෑම් බීම් වළකා ඇඳ වැතිර හොත්තේ ය. බුදුරජානන් වහන්සේ බමුණා නො කා නො බී ඇඳ වැතිර නිදන කල්හි ඔහුගේ ගෙදොරට වැඩිය සේක. ඔහු බුදුරදුන් එහි වැඩිය බව අසා “මාගේ යහළු මෙහි කැඳවා ගෙණ අවුත් වඩා හිඳුවාලවූ” යි පිරිවර දෙනාට කීයේ ය. ඔවුහු එසේ කළහ. බුදුරජානන් වහන්සේ වැඩහිඳ “බමුණු කොහි ද?” යි අසා “කාමරය තුළ නිදන්නේය” යි කී කල්හි “බමුණු මෙහි කැඳවවු” යි කැඳවා ඔහු අවුත් පසෙක හුන් කල්හි “බමුණ! මේ කිමැ?” යි අසා වදාළ සේක. “භවත් ගෞතමයන් වහන්ස! ඔබ වහන්සේ මා කුඹුර සකස් කරන්නට පටන් ගත් දා සිට එහි ආවහු ය, මමත් ගොයම් පැසී ගිය කල්හි ඔබ වහන්සේටත් කොටසක් බෙදා දෙන්නෙමි යි කීමි, එහෙත් මාගේ ඒ අදහස නො ද නිපන්නේ ය, එයින් මා තුළ හටගත් ශෝකය බලවත්ය, මට බත් ද නො රුස්නේ ය” යි බමුණා කී කල්හි බුදුරජානන් වහන්සේ “බමුණ! දනිහි ද ශෝකය කුමක් නිසා උපනි දැ?” යි විචාරා “නො දනිමි භවත් ගෞතමයන් වහන්ස! ඔබවහන්සේ දන්නහු නම් කිය වූ” යි කී කල්හි “බමුණ! මම දනිමි, ශෝකය ඉපදෙනුයේ තෘෂ්ණාව නිසා ය, භයෙක් හෝ වේ නම් එයද ඉපදෙනුයේ තෘෂ්ණාව නිසාය” යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.
තණ්හාය ජායති සොකො තණ්හාය ජායතී භයං,
තණ්හාය විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයන්ති.
තෘෂ්ණාව හේතු කොට ශෝකය උපදි. තෘෂ්ණාව හේතු කොට බිය උපදී. තෘෂ්ණාවෙන් මිදුනහුට ශෝකයක් නැත. බියෙක් කොයින් වේද.
තණ්හාය ජායති සොකො = තෘෂ්ණාව නිසා ශෝකය උපදී.
තණ්හාය ජායති භයං = තෘෂ්ණාව නිසා බිය උපදි.
තණ්හාය විප්පමුත්තස්ස = තෘෂ්ණාවෙන් මිදුනහුට.
නත්‍ථි සොකො කුතො භයං = ශෝකයෙක් නැත. බියෙක් කොයින් වේද.
එහි තෘෂ්ණා නම්: ඇස් - කන් - නාස් ඈ සදොර උපදනා භේද විසින් අටෝරාසියක් වූ ලෝභය යි. රූප - ශබ්දාදී වූ අරමුණුවල ගැලීම බැඳීම බැස ගැණීම නිසා සත්ත්‍වයන් තුළ තෘෂ්ණාව උපදී. [1]
මෙසේ උපදනා මේ තෘෂ්ණාවෙන් මිදී සිටියේ රහතුන් වහන්සේ ය. එහෙයින් උන්වහන්සේට ශෝක - භය තබා සසර කිසිත් ගැහැටෙක් නො වන්නේ ය. නැත්තේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බ්‍රාහ්මණ තෙමේ සෝවන් ඵලයෙහි පිහිටියේ ය.
අන්‍යතරබ්‍රාහ්මණ වස්තුව නිමි.
14-6 ‘දුක්ඛසමුප්පාදං’ යනු බලනු. ↑