ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං
විස්සාසපරමා ඤාතී නිබ්බාණපරමං සුඛං.
සියලු ලාභයෝ තාක් නීරෝග බව පරම කොටැත්තාහ. (රෝගිහු ලත් ලාභයෝ ලාභ නම් නො වෙත් නු යි නිරෝග බව උත්තම ලාභ නම් වෙයි.) ධනය සතුට පරම කොටැත්තේ ය. (යම් ධනයෙක් තමා විසින් ලබන ලද නම්, යම් ධනයෙක් තමා සතු නම්, එයින් ම සතුටු වන බව සෙසු ධනයට වඩා උතුම් ධනයෙක) නෑයෝ නම් විශ්වාසය පරමකොටැත්තෝ ය. (මාපියෝ ද යමකු හා විශ්වාසය නැත්නම් හෙ තෙම නො නෑ ම ය. යමෙක් වනාහි නොනෑ වුව ද විශ්වාස වී නම් හේ උතුම් නෑ ය.) සුවය නිවන පරම කොටැත්තේ ය (නිවන් හා සම සුවයෙක් නැත. එ බැවින් නිවන උතුම් ම සුවය යි.)
කොසොල් රජ තෙමේ බොහෝ බත් අනුභව කරන්නේය. මුල් අවදියෙහි මගධ නැළියෙන් සොළොස් නැළියක බත් හා එය අනුභව කරන්නට තරම් වූ මස් මාළු ද අනුභව කෙළේ ය. රජ දවසක් පෙරවරුයෙහි මෙසේ බත් අනුභව කොට බත්මත සන්සිඳෙන්නට පෙරාතුව ම බුදුරජුන් වෙත ගොස් සුසුම් ලමින් බඩ ගන්නට නො හැකිව කෙඳිරිගාමින් එහා මෙහා හැරෙමින් නිදි බරින් මැඩුනේ ඉඳුරා නො නිදා එකත්පස්ව හුන්නේ ය. මෙසේ මහත් වෙහෙසට පත්ව හුන් කොසොල් රජුන් දුටු බුදුරජානන් වහන්සේ “ඇයි මහරජ! විඩාවට පත් වූවහු?” යි අසා වදාළ කල්හි “ස්වාමීනි! ආහාර ගත් වේලෙහි සිට අමාරුයි, හුස්ම ගැණීමටත් නො හැකියි, බඩ උසුලා සිටීම ද පහසු නැතැ” යි කීය. “ඔවු, මහරජ! බඩ තුබුනට උගුර තෙක් බත් කෑම දුකට කරුණුය” යි වදාරා බුදුරජානන් වහන්සේ නැවැත මෙසේ ද වදාළ සේක:-
“නො දැන බඩ තරමත් - උගුර තෙක් බත් බුදිනේ,
සිරුරෙන් ගිලන් බැව් පත් - සුසුම් හෙලුමෙහි අසමත්,
.
එක්ලෙස හිඳිනු බැරි - ඔබමොබ පෙරැළි තතනා,
හිඳිනා නිතර හෝනා - ඌරු බොජුනෙන් තර වූ,
.
කදබඩිනි ඌරකු - වැනි ව වැඩුනු අඳබල්,
පුන පුනා මවුගැබට ම - එන්නේ උපත් විසිනි”
යනු විසින් මෙසේ අවවාද කොට “මහරජ! ආහාරානුභවය පමණ දැන කළ යුතුය, පමණ දැන කරණ ආහාරානුභවය සැපයට කරුණුය” යි
“ලද බොජුන් මත් දැන - බුදින සිහියැති ඒ පුරිස්,
වෙයින් තුනු වී යනුයේ - ආ රැක දිරා සනිකව”
යන මෙය වදාළ සේක. රජ තෙමේ මෙය උගනට අසමත් ව වෙත සිටි බෑනනු වූ සුදස්සන මාණවකයාහට “එය උගණුව” යි කීය. ඔහු එය උගෙණ “ස්වාමීනි! මෙහිලා කුමක් කරම් දැ?” යි බුදුරජුන් විචාළේය. එවිට උන්වහන්සේ “රජු බත් අනුභව කොට අවසන් කරන වේලෙහි අවසන් බත් පිඬ කට තබත් ම තා දැන් උගත් ඔය ගය කියව, එවිට රජු එහි අරුත් වටහා ගෙන අතට ගත් බත්පිඬ හැරලන්නේය, හැර දැමූ ඒ බත් පිඬෙහි බත් උළු ගණන් කොට රජුට බත් පිසන කල්හි ඒ බත්උළු ගණනින් සහල් ඇට ඉවත් කොට බත් පිස දෙව” යි වදාළ සේක. ඔහු “ස්වාමීනි! යහපතැ” යි සවස හා දාවල රජු බත් බුදින වේලෙහි එතැන සිට අවසන් බත්පිඩ කට තබත් ම තමන් උගත් ඒ ගය කියන්නේ ය. රජ තෙමේ කටට ගත් බත්පිඩ හැර දමා එයට කන්දී සිට බෑනනුහට දහසක් දෙවී ය. මෙය අසා පිළිවෙළින් බොහෝ කොට කෑම හැරදැමූ රජ තෙමේ පමණ දැන නැළියක පමණ බතින් යැපෙන්නට වන. රජතෙමේ සැහැල්ලු සිරුරු ඇතියේ සුවපත් වූයේ ය.
දවසක් බුදුරජුන් වෙත ගොස් වැඳ “ස්වාමීනි! මට දැන් හොඳ සනීප තිබේ, දුවන මුවන් අසුන් පස්සේ ගොස් උන් අල්ලා ගන්නට තරම් සිරුරෙහි හයිබල ඇත්තේ ය, පසුගිය දා බෑනා සමග ගමක් නිසා යුද වැදුනෙම් ද, දැන් මම ඒ ගම නහනසුණු වියදම් පිණිස දායාද කොට දී මාගේ දූ වූ වජිරාවත් ඔහුට දුනිමි, දැන් බෑනා හා යුද වැදීමෙක් ද නැත, යුද වැදුම ද නතර වී ය, මෙයින් මට වූයේ සැපයෙක, කුස රජුගේ කාලයට අයත් අප රජගෙයි තුබූ අගනා මිණිරුවන නැතුව ගොස් තිබුණේ ද, එය දැන් නැවැත මා අතට ආයේ ය, එය ද මට මහත් සැනසුමෙක, ඔබවහන්සේගේ ශ්‍රාවකයන් හා තද සම්බන්‍ධය කැමැත්තා වූ මා විසින් ඔබ වහන්සේගේ නෑ දුවක් මාගේ මාලිගයෙහි අගමෙහෙසිය කරණ ලද ය, මේ ද මට මහත් සැපයෙකැ” යි රජ තෙමේ කියා සිටියේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ “මහරජ! සියලු ලැබීම්වලට වඩා උතුම් ම ලැබීම ලෙඩ නැති බව ය, එයට ඉහලින් ලැබීමෙක් නැත, එසේ ම ලද දෙයින් සතුටුවීම තරම් ධනයෙක් ද නැත, විශ්වාසය තරම් නෑයෙක් ද නැත, නිවන තරම් සැපයෙක් ද නැතැ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං
විස්සාසපරමා ඤාතී නිබ්බානං පරමං සුඛං.
ලාභයෝ නීරෝගිභාවය ප්‍රධාන කොට ඇත්තාහ. ධනය සන්තෝෂය ප්‍රධාන කොට සිටියේ ය. නෑයෝ විශ්වාසය ප්‍රධාන කොට ඇත්තාහ. නිවන උතුම් සැපය යි.
ආරොග්‍යපරමා ලාභා = ලාභයෝ නිරෝගීභාවය ප්‍රධාන කොට සිටියහ.
ආරොග්‍ය නම්: වා - පිත් - සෙම් යන තිදෙනාගේ සමව පෑවැත් ම ය. “දොෂශාම්‍යවරොගතා” යනු එහිලා ගන්නේ ය. ලාභ නම්, පැවිද්දන්ගේ වශයෙන් සිවුරු - පිඬුපා - සෙනසුන් - බෙහෙත් - පිරිකර ලැබීම ය. ගිහින්ගේ වශයෙන් වතුපිටි - ගේදොර - මිල මුදල් - මුතුමැණික් - ඇඳුම් කැඩුම් - දූ පුතුන් - හිත මිතුරන් ලැබීම ය. මේ හැම ලැබීමකට වඩා ගිහි පැවිදි දෙපසට ම නීරෝගී හාවය උතුම් ය. ප්‍රධාන ය. රෝගීහු විසින් මේ කියූ මොන දැයෙක් ලද ද, ඔහුට එයින් ප්‍රයෝජනයෙක් නැත්තේ ය. මේ කියූ ලාහයෝ නිරෝගීන් විසින් ලද්දෝ ද ඒ ලාභයෝ වැඩියක් මෙලොව හිතයෙහි ම නතුව සිටිත්. මොවුහු පරලොව හිතයෙහි ද මදක් හිතව නො සිටින්නෝ නො වෙත්.
පැවිද්දෙක් පැවිදි දිවියට හිත වූ සිවුපසය නො ලබා නම් ඔහුට ඒ පැවිදිදිවිය නිවරද ව ගෙණ යා නො හැකි ය. පැවිද්ද පරලොව හිතයෙහි වැටෙන්නට නම් පැවිද්දහු විසින් සිවුපසය දැහැමිව ලැබිය යුතු ය. සිවුපසය දැහැමිව ලදුයේ ද පැවිද්දා ලෙඩ රෝගයන්ගෙන් පෙළේ නම් ඔහුට ඒ පිණිස වූ සිල් පිරීම් වතාවත් කිරීම් කමටහන් වැඩිම් ආදී වූ සම්‍යක් ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට පිළිවන්කමෙක් නැත්තේ ය. රොග නැති පැවිද්දා ම ඒ හැමතැන සමර්‍ත්‍ථ වන්නේ ය. එහෙයින් අන් හැම ලැබීමකට වඩා නිරෝගීභාවය ලැබිම උතුම්ය යි වදාළ සේක. ගිහින් විසින් ලබන ලාභයෙහි ද මෙසේ දතයුතු ය. පැවිද්දාට සේ ම ගිහියාටද අන් හැම ලාභයකට වඩා නිරෝගී භාවය ම උතුම් ය.
සන්තුට්ඨිපරමං ධනං = ධනය සන්තෝෂය ප්‍රධාන කොට සිටියේය.
“ගිහිනො වා පබ්බජිතස්ස වා යං අත්තනා ලද්ධං යං අත්තනො සන්තකං තෙනෙව තුස්සනභාවො සන්තුට්ඨි නාම” යි කියු බැවින් ගිහියක්හුගේ හෝ පැවිද්දක්හුගේ හෝ තමන් ලැබූ තමන් සතු වූ යම් ධනයෙක් වේ නම් එයින් සතුටු වීම සන්තුටඨි නමැයි දත යුතුය. තමන් ලැබූ තමන් සතු වූ ධනයෙන් සතුටු වන්නහුට ගැහැටක් නපුරක් ගැරහුමක් පසු තැවිල්ලක් නොවන බැවින් තමන් ලද ධනයෙන් සතුටුවීම උතුම් ධනය යි වදාළ සේක. ඒ ඒ දැයෙහි තද ආශා ඇත්තහුට කොතෙක් ලදුවත් සෑහිමෙක් නැත්තේ ය. එය ම ඔහුට මහත් දුකෙක් වන්නේ ය. ඔහු කරා එන ගැරහුම් ගැහැට විපත් ද මහත් ය. [1] ධනය කිමැයි කියන ලද්දේ ය. [2]
විස්සාසපරමා ඤාති = නෑයෝ විශ්වාසය ප්‍රධාන කොට සිටියහ.
“මාතා වා හොතු පිතා වා තෙන සද්ධිං විස්සාසො නත්‍ථි යෙන අඤ්ඤාතකෙන පන සද්ධිං විස්සාසො අත්‍ථි සො අසම්බන්‍ධොපි පරමො උත්තමො ඤාතී” යනු අටුවා බැවින් මවු හෝ වේවයි පියා හෝ වේවයි නැදිමයිල් ආදී වූ අන් නෑයෙක් හෝ වේවයි ඔවුන් සමග හිත විශ්වාසයෙක් නැත්තේ නම් එකඟ බවෙක් නැත්තේ නම් ඔවුහු කිසි කෙනෙක් නෑ නොවෙති. නො නෑයකු සමග හිත විශවාසයෙක් වේ නම් ඔහු නො නෑ වුව ද නෑයෙක් ම ය. නො නෑයන් හා වූ ඒ හිතසම්බන්‍ධය උතුම් නෑයා යි දත යුතු ය.
හිතවත්කම එකඟ බව ඇදහීම සැක නො කිරීම විශ්වාසය යි. මිනිසුන්ගේ අදහස් අප්‍රකට බැවින් ගහන බැවින් විෂම බැවින් නෑ හෝ නො නෑ හෝ වේවා ඇතැමුන් කෙරෙහි තබන විශ්වාසය තමාට විපත් පිණිස ද වන්නේ ය. එහෙයින් මිනිසුන් අතුරෙහි විශ්වාසයකු ලැබීම පහසු නොවේ. සත්ඵල දෙනුයේ අව්‍යාජ විශ්වාසය යි. මෙහි කියන ලද්දේ ඒ ය. නෑයාත් අව්‍යාජ විශ්වාසය ඇත්තේ ම ය.
විශ්වාසය නො තැබිය යුතු තැන් සතරෙක් අපගේ පොත පතෙහි එන්නේ ය. සොරු “පෙර මාගේ යහළු” යි විශ්වාස නො කට යුතු ය. තමා අතුට හුන් කොළ “මා පෙර වැළඳ හුන් කොළැ” යි විශ්වාස නො කට යුතු ය. රජ “මා පුදා” යි විශ්වාස නො කට යුතු ය. ගැහණිය “මට වසඟැ” යි විශ්වාස නො කට යුතු ය. මේ ඒ තැන් සතර ය. මෙහිලා මෙ ද දන්නේ ය.
“ලොභප්‍රමාදවිශ්වාසෛඃ පුරුෂො නශ්‍යති ත්‍රිහිඃ,
තස්මා ල්ලොභො න කර්‍තව්‍යඃ ප්‍රමාදො න නවිශ්වසෙත්”
ලොහය-ප්‍රමාදය-විශවාසය යන තුණින් මිනිසා නැසේ. එහෙයින් ලෝභය නො කට යුතු ය. පමා නොවිය යුතු ය. නො සුදුසු තැන විශ්වාසය නො තැබිය යුතු ය.
“නවිශ්වසෙදවිශ්වස්තෙ විශ්වස්තෙ නාතිවිශ්වසෙත්,
විශ්වාසාද්භයමුත්පන්නං මූලාන්‍යපි නිකෘන්තති”
තමන් කෙරෙහි නියම විසින් නො තැබූ විශ්වාස ඇතියන් කෙරෙහි විශ්වාසය නො තැබිය යුතු ය. තැබූ විශ්වාසය ඇතියන් කෙරෙහි පමණ ඉක්මවා විශ්වාසය නො තැබිය යුතු ය. විශ්වාස හේතුවෙන් උපන් භය මුල් සිඳලන්නේ ය.
“න විශ්වාසං විනා ශත්‍රැර්‍දෙවානාම්පි සිද්ධ්‍යති,
විශ්වාසාත්ත්‍රිදශෙන්‍ද්‍රෙණ දිතෙර්‍ගර්‍භො විදාරිතඃ”
විශ්වාසයෙන් තොර ව දෙවියනට ද සතුරා යටතට ගත නො හැකිය. විශ්වාස හේතුවෙන් සක්දෙවිඳුන් විසින් අසුර මවගේ දරුගැබ නසන ලදැ යි ගෙතුනේ ද විශ්වාසයෙහි තරම කියා පාන්නට ය.
ව්‍යාජවිශ්වාසය විපතටත් අව්‍යජවිශ්වාසය සැපතටත් කරුණු බව මේ කියුම් වලින් දත හැකි ය.
නිබ්බානං පරමං සුඛං = නිවන උතුම් සැපය යි.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
ප්‍රසේනජිත් කෝසලරාජ වස්තුව නිමි.