ජිඝච්ඡාපරමා රොගා සඞ්ඛාරපරමා දුඛා
එතං ඤත්‍වා යථාභූතං නිබ්බාණපරමං සුඛං.
රෝගයෝ සාදුක පරම කොට ඇත්තාහ. දුඃඛයෝ තාක් සංස්කාරයන් (පංචස්කන්‍ධයන්) පරම කොට ඇත්තාහ. මේ දෙකරුණ තත් වූ පරිදි දැන (නුවණැත්තෝ නිවන් පසක් කරති.) නිවණ උතුම් වූ සුවය යි.
අලව් නුවර එක් දුප්පත් මිනිහෙක් විසී ය. ඔහු සෝවන් වීමෙහි හේතුසම්පත් ඇතියේ ය. බුදුරජානන් වහන්සේ දවසක් ඉතා අලුයම දෙව්රම් වෙහෙර ගඳකිළියෙහි වැඩහිඳ ලොව බලා වදාළ සේක්, එහිදී මේ දුප්පත් මිනිසා උන්වහන්සේගේ පිවිතුරු නුවණට හසු විය. එකෙණෙහි උන්වහන්සේ පන් සියයක් භික්‍ෂූන් වහන්සේ ද ගෙණ අලව් නුවරට වැඩියහ. අලව් නුවර වැස්සෝ දන් පිණිස බුදුරජුන්ට ආරාධනා කළහ. ඒ දුප්පත් මිනිසා ද බුදුරජුන් වැඩිය බව අසා උන්වහන්සේ වෙත ගොස් බණ අසමි, යි සිතී ය. එදා ඔහුගේ ගොනෙක් ගාලෙන් පැන ගියේ ය. එවිට ඔහු “කිම, මම ගොනු සොයා යෙම් ද, නැත, බණ අසන්නට යෙම් දැ” යි සිතනුයේ “ගොනු සොයා ගෙණ පසු ව බණ අසන්නට යන්නෙමි” යි අදහස් කොට උදැසනින් ම ගෙන් නික්ම ගොනු සොයා ගියේ ය. අලව් නුවර වැස්සෝ ද බුද්ධ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා වඩා හිඳුවා වළඳවාලා අනුමෙවෙනි බණ අසන්නට ඉඳ ගත්හ.
එකල්හි බුදුරජානන් වහන්සේ “මම යමකු බලා තිස් යොදුන් මග ගෙවා ආයෙම් ද, ඔහු අද ගොනකු සොයා වල් වැදී ඇවිදින්නේ ය, එහෙයින් ඔහු ආ විටක දහම් දෙසන්නෙමි” යි නිහඬ ව වැඩ හුන්හ. ගොන් සොයා ගිය ඒ දුප්පත් මිනිසා ද දහවලින් ම ගොන් සොයා අල්ලා ගෙණ ගාලට යවා “පුදන්නට යමක් නැති නමුත් වැඳීම් පමණකුත් කරන්නෙමි” යි බඩසයින් පෙළී සිටියේ ද බතක් මාළුවක් කන්නට නො සිතා වහා බුදුරජුන් වෙත ගොස් වැඳ එකත් පසෙක්හි සිට ගත. ඔහු එසේ වැඳ සිටි කල්හි එහි වතාවත් කළ එකකු අතින් “වළඳා ඉතිරි වූ බතෙක් මාළුවෙක් තිබේ දැ?” යි අසා වදාළ සේක. “ස්වාමීනි! ඇතැ” යි ඔහු කී විට “එසේ නම් මේ දුප්පතාට කන්නට මොකුත් දෙව” යි වදාළාහු ය. වතාවත්කරු බුදුරජුන් නියම කළ තැන ම ඔහු හිඳුවා කැඳබත් ආදිය ඔහුට දුන්නේ ය ඔහු බත් කා අත කට සෝදා ගත්තේ ය. මෙතැන හැර අන් තැනෙක බුදුරජානන් වහන්සේ කළ භත්ත විචාරණයෙක් ත්‍රිපිටක බුද්ධ වචනයෙහි දක්නට නැත්තේ ය. බත් කා පැන් බී අවසන් කළ ඔහුගේ ඇඟ පතෙහි තුබූ රිදුම් පෙළුම් ඈ හැම අපහසු කම් මග හැරී ගොස් සිත ද එකඟ වී ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ ඔහුට අනුපිළිවෙළකතාව වදාරා සිවුසස් දහම් විදහා දැක් වූ සේක. ඔහු ධර්‍මදේශනාවසානයෙහි සෝවන් වී ය.
බුදුරජානන් වහන්සේ බණ වදාරා හුනස්නෙන් නැගිට වැඩි සේක. මහාජන තෙමේ උන්වහන්සේ පසු පස ගොස් නැවතුනේ ය. බුදුරජුන් හා එක්ව ගිය භික්‍ෂූන් වහන්සේලා “ඇවැත්නි! බුදුරජුන්ගේ මේ ක්‍රියාව බලනු මැනැවි, මෙයට කලින් කිසිදාකත් බුදුරජුන් විසින් බත් පිළිවිසීමෙක් කරන ලදැයි අප අසා නැත, දැකලාත් නැත, අද එක් දුප්පත් මිනිසකු දැක ඔහුට කැඳබත් ආදිය දෙවූ සේකැ” යි නො සතුටු සිතින් කතා කරන්නට වූහ. බුදුරජානන් වහන්සේ එහි නැවැතුනු සේක් “මහණෙනි! කුමක් කියවු දැ” යි අසා පුවත දැන “මහණෙනි! ඔවු, මම මේ උපාසකයාගේ හේතු සම්පත් දැක තිස් යොදුන් කතර මග ගෙවා ආයෙමි, ඔහු ඉතා තද බඩගින්නෙන් පෙළෙමින් උදෑසන සිට ගොන් සොයමින් වෙනෙහි ඇවිද්දේය, බඩසයින් පෙළෙන්නකුට බණ කීමෙන් වැඩෙක් නැත, බඩසයින් පෙළෙන්නේ දහම් දැන උගැන්මෙහි අපොහොසත් ය, ඇස් අඳුරු ය, කන් බිහිරි ය, සිත හා කය ගිලන් ය, එබන්දහුට බණ කීමෙන් වැඩෙක් නො වේ, එහෙයින් මම මෙසේ කෙළෙමි, මහණෙනි, බඩගිනි ලෙඩය තරම් ලෙඩක් මෙලොව කොතැනත් නැතැ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
ජිඝච්ඡාපරමා රොගා සඞ්ඛාරපරමා දුඛා,
එතං ඤත්‍වා යථාභූතං නිබ්බාණපරමං සුඛං.
රෝගයෝ බඩගින්න ප්‍රධාන කොට ඇත්තාහ. දුඃඛයෝ සංස්කාර ප්‍රධාන කොට ඇත්තාහ. මේ දෙක තතු සේ දැන (නුවණැත්තේ නිවන් පසක් කෙරෙයි) එහෙයින් නිවන උතුම් වූ සුවයෙකි.
ජිඝච්ඡාපරමා රොගා = රෝගයෝ බඩගින්න ප්‍රධාන කොට සිටිත්.
ජිඝච්ඡා නම්: කනු කැමැත්ත ය. බඩගින්න ය. “ඝසිතුං ඉචඡා = ජිඝච්ඡා” යනු දන්නේ ය. “ජිඝච්ඡාවට වැඩි තරම් වූ රෝගයෙක් සත්ත්‍වයනට නැතැ” යි වදාළෝ එය මොන ලෙසකිනුත් නැවැත කවදාත් නූපදනා ලෙසට සන්සිඳවාලිය නො හැකි බැවිනි. බඩගිනි උපන් කල්හි එයට පිළියම් පිණිස ගන්නා ආහාරපානයෙන් ඒ ගත් මොහොතෙහි මද අස්වැසිල්ලෙක් ලැබුණේ ද ඇසිල්ලකින් එය නැවැතත් හටගන්නේ ය. සත්ත්‍වයා සසර යම්තාක් කල් උපදීනම් ඒ තාක් ජිඝචඡා සඞ්ඛ්‍යාත වූ මේ බඩගින්න ඔහු පසෙහි එළවා යන්නේ ඔහු පෙළන්නේ ය. අන් හැම රෝගයක් සන් සිඳවාලීමට උපක්‍රම ඇත්තේ නමුදු බඩගින්න නම් සත්ත්‍වයා සසර උපදනාතුරු නැවැත නූපදනා ලෙසින් සින්සිඳවාලීමට උපක්‍රමයෙක් නැත්තේ ය. සන්සිඳ වන්නට නම් සත්ත්‍වයන් කෙලෙසුන් නසා ස්කන්‍ධ බහා තැබිය යුතු ය. එහෙයින් බඩගින්න අන් හැම රෝගයනට වඩා මහත් ය, දරුණු ය. දිනපතා පෙළන්නේ ය. සත්ත්‍වයන් විසින් කරනු ලබන සතුන් මැරීම් ඈ බොහෝ පව්කම් වලට කරුණු ව සිටියා ද ජිඝච්ඡාව ය.
වා - පිත් - සෙම් යන තුන් දොසුන්ගේ විෂමත්වය එකකට අධික ව හෝ ඌන ව නො සම ව පැවැත්ම රොග නම්. “රොගසතු දොෂවෛෂම්‍යම්” යනු කීයේ එහෙයිනි. තුන් දොසුන්ගේ ඒ නො සම පැවැත්ම සත්ත්‍ව ශරීරය පිළිබඳ කුදු මහත් අවයව රුදා කරණ අරුතින් බිඳ හෙළන අරුතින් රෝග නම් වී ය. “රුජ්‍යතෙනෙනෙති = රොගඃ, රුජති භඤ්ජති අඞ්ගපච්චඞ්ගානීති = රොගො” යනු ව්‍යාඛ්‍යා ය.
ජවරාදික වූ රෝගයෝ සත්ත්‍වයනට මහත් සේ දුක් දෙන්නෝ ය. ඒ මේ රෝගයෝ පළමු කොට සවාභාවික - ආගන්තුක - මානසික - කායික විසින් සිවු වැදෑරුම් වෙති යි වාග්හටයෝ කීහ. මෙසේය කියේ:-
“තෙ ච ස්වාභාවිකාඃ කෙචිත් කෙවිදාගන්තවඃ සමෘතාඃ,
මානසඃ කෙචිදාඛ්‍යාතාඃ කථිතාඃ කෙචි කායිකාඃ” යි
එහි ක්‍ෂුතපිපාසාදීහු ස්වාභාවිකයහ. මොවුනට ‘සහජැ’ යි ද නමෙකි. උපතින් ලැබූ අඳබැව් ආදීහු ද මෙහි ම සඞ්ග්‍රහයට යෙත්. ගැටීම් තැලීම් හේතුවෙන් හටගන්නා රෝගයෝ ආගන්තුකයහ. උපතින් පසු හට ගන්නා විවිධ රෝග ආගන්තුක නම්. කාම ක්‍රෝධ ලෝහ මෝහාදීහු මානසිකයහ. උන්මාද අපස්මාරාදිරෝග ද මෙහි ම ඇතුළත් වේ. පාණ්ඩුරෝගාදීහු කායිකයහ.
කර්‍මජ - දෝෂජ - කර්‍මදෝෂජ යි තුනට බෙදීමෙක් ද මෙහි ඇත්තේ ය. ඒ මෙසේ කිහ:-
“කර්‍මජාඃ කථිතාඃ කෙචිද්දොෂජාඃ සන්ති චාපරෙ,
කර්‍මදොෂොද්භවාශචාන්‍යෙ ව්‍යධයසත්‍රිවිධාඃ සමෘතාඃ” යි
එහි පෙර කළ කර්‍මයන්ගේ විපාක විසින් හටගන්නෝ කර්‍මජයෝ ය. පිළියමින් සන්සිඳවාලිය නො හැක්කෝ ය. රෝගයට හේතු වූ කර්‍මය ගෙවී ගිය කල්හි එහි ඵලය වූ රෝගය ද සන්සිඳෙන්නේය. කර්‍මය පවත්නාතුරු රොගය ද පවත්නේ ය. “න ශමං යාන්ති යෙ රොගාඃ ඥෙයාඃ කර්‍මජා බුධෛඃ” යනු විසින් කීයේ ඒ වග ය. දෝෂජ නම්: මිත්‍ථ්‍යාහාර විහරණයන් නිසා කිපුනු වා - පිත් - සෙම් යන තුන් දොසුන් නිසා හට ගත්තේ ය. “මිත්‍ථ්‍යාහාර විහාර ප්‍රකුපිත වාත පිත්තකඵජාඃ” යන මෙයින් එය කියා පෑහ. කර්‍මශක්තිය උඩ දොස් කිපීමෙන් හටගන්නෝ කර්‍මජ දෝෂජයෝ ය.
මෙසේ වෙදපොතෙහි ඉතා සැකෙවින් සිවු වැදෑරුම් විසින් හා තෙවැදෑරුම් විසින් බෙදා වෙන් කළ රොග බණපොතෙහි පිත්තසමුට්ඨාන - සෙම්හසමුට්ඨාන - වාතසමුට්ඨාන - සන්නිපාතික - උතුපරිණාමජ - විසමපරිහාරජ - ඔපක්කමික - කම්මවිපාකජ යි අටවැදෑරුම් කොට දක්වන ලද්දේ ය.
එහි වෙදපොතෙහි සිවුවැදෑරුම් කොට බෙදීමෙහි දි දැක් වූ ස්වාභාවික රෝගයෝ, තෙවැදෑරුම් කොට බෙදීමෙහි කියූ කර්‍මජ රෝගයන්හි ඇතුළත් වන්නෝ බණපොතෙහි කියූ කම්මජවිපාක රෝග හා ද එක් වෙත්. සිවුවැදෑරුම් විසින් බෙදීමෙහි කියූ කායික රෝගයෝ තෙ වැදෑරුම් බෙදීමෙහි එන දෝෂජරෝගයන්හි හා බණපොතෙහි එන පිත්තසමුට්ඨාන - සෙම්හසමුට්ඨාන - වාතසමුට්ඨාන -සන්නිපාතික - උතුපරිණාමජ - විසමපරිහාරජ රෝගයන්හි ඇතුළත් වෙත්. සිවුවැදෑරුම් බෙදීමෙහි ලා කියූ ආගන්තුක රෝගයෝ බණපොතෙහි කියූ ඔපක්කමිකයෙහි ඇතුළත් වෙත්.
පිත් හේතුවෙන් සෙම් හේතුවෙන් වා හේතුවෙන් වෙන් වෙන් ව හටගන්නා රෝග පිත්තසමුට්ඨාන - සෙම්හසමුට්ඨාන - වාතසමුට්ඨානැයි ගැණෙන අතර පිත් සෙම් හා එක්වට කිපී හටගන්නා රෝග සන්නිපාතිකැ යි ගැණේ. උතු පෙරළියෙන් හටගන්නා රෝග උතුපරිණාමජ නමි. තමන්ගේ සැහැවි හැසිරීමට පටහැනි ලෙසින් කෑම් බීම් ඉඳුම් හිටුම් ගමන් බිමන් බර ඉසිලීම් නිසා හටගන්නො රෝග විසමපරිහාරජ නමි. වද බැඳුම් ඈ පරා විසින් කළ උපක්‍රමයන්ගෙන් හටගන්නා රෝග ඔපක්කමික නමි. පෙර කළ කර්‍මයන්ගේ විපාක වශයෙන් හටගන්නා රෝග කම්මවිපාකජ නමි. බඩ ගින්න ද කම්මවිපාකජරෝගයෙකි. ජීඝච්ඡාසඞ්ඛ්‍යාත වූ බඩගින්න පොතපොතෙහි කම්මජතේජෝධාතු - පාකජතේජෝධාතු යන නම් ද ලබයි. මේ අටුවා:- “පිත්තපච්චයා පිත්තහෙතුකා පිත්තසමුට්ඨානා. සෙම්හසමුට්ඨානාදීසුපි එසෙව නයො. සන්නිපාතිකාති තිණ්ණම්පි පිත්තාදීනං කොපෙන සමුට්ඨිතා. උතුපරිණාම ජාති උතුපරිණතෙන අච්චුණ්හාතිසීතෙන උප්පජ්ජනකරෝගා. විසමපරිහාරජාති අත්තනො පකතිචරියානං විසමං අධිට්ඨානනිසජ්ජනභාරවහනාදිනා කායසස පරිහරණෙන ජාතා. ඔපක්කමිකාති වධබන්‍ධනාදිනා පරස්ස උපක්කමෙන ජාතා. කම්මවිපාකජාති, විනාපි ඉමෙහි කාරණෙහි කෙවලං පුබ්බෙ කතකම්ම විපාකවසෙනෙව ජාතා” යනු.
මෙහි මුලින් දැක් වූ පිත් සෙම් වා යනාදී වූ කරුණු සතින් උපන් රෝගයන් යම් යම් උපක්‍රමශක්තීන්ගෙන් සන්සිඳවාලීමට හැකි වුවද කර්‍ම විපාක විසින් උපන් රෝගයන් සන්සිඳවාලීමට කිසි ද උපක්‍රමයක් නැත්තේය. ඒ සඳහා බෙහෙත් නැත. පිරිත් නැත. මේ අටුවා:- “තත්‍ථ හි පුරිමෙහි සත්තහි කාරණෙහි උප්පන්නං සක්කා පටිබාහිතුං කම්මවිපාකජාතං පන සබ්බ භෙසජ්ජානිපි සබ්බපරිත්තානිපි නාලං පටිඝාතාය” යනු.
සඞ්ඛාරපරමා දුඛා = දුඃඛයෝ සංස්කාර ප්‍රධාන කොට ඇත්තාහ.
නාම-රූපධර්‍මයෝ සංස්කාර නම්. එව්හු කර්‍ම - චිත්ත - ඍතු - ආහාර යන චතුර්විධ ප්‍රත්‍යය බලයෙන් උපන්නෝ ය. අනිත්‍යයහ. හැම මොහොතෙහි වෙනස් වන්නේ ය. එහෙයින් පරිහරණය නො කට හැකිය. එහෙයින් දුක් වෙත්.
එතං ඤත්‍වා යථාභූතං = මෙදෙක තත් වූ පරිදි දැන (නුවණැත්තෝ නිවන් පසක් කෙරෙත්)
“සාදුක් සම වූ රෝගයෙක් නැත, ස්කන්‍ධ පරිහරණය තරම් වූ අන් දුකෙක් නැත” යන මේ දෙ කරුණ ඇති සැටියෙන් නුවණින් දැන නිවන් පසක් කරන්නෝ ය.
නිබ්බානං පරමං සුඛං = නිවන උතුම් සැපය යි.
ස්කන්‍ධපරිහරණය යි කියූ දුක් කිසිත් නැති බැවින් සදාකාලික වූ නො වෙනස් වන සුලු නො ද පෙරළෙන සුලු නිවන උතුම් වූ සැපය යි දත යුතුය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
අන්‍යතර උපාසක වස්තුව නිමි.