13-5 සම්මුඤ්ජනී ස්ථවිරයන් වහන්සේ

යො ච පුබ්බෙ පමජ්ජිත්‍වා පච්ඡා සො නප්පමජ්ජති.

සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්‍දිමා.

යම් පුද්ගලයෙක් පූර්‍වභාගයෙහි (වත් පිළිවෙත් පිරීමෙන් හෝ බණ හැදෑරුම් ආදියෙන් හෝ යෝනිසෝමනසිකාරයෙහි) ප්‍රමත්ත ව ද, හෙ තෙම පසු වැ (මග පල සුවයෙන් දවස් යවන්නේ යෝනිසෝමනස්කාරයෙහි) නො පමා වේ ද, හෙ තෙම වලාපටලයෙකින් මිදුනු පුන්සඳ අහස්ලොව (බබුලුවන්නා) සේ (ස්කන්‍ධාදිසංඛ්‍යාත) මේ ලොව (ඥානාලෝකයෙන් බබුලුවන්නේ ය.

සම්මුඤ්ජනී ස්ථවිරයන් වහන්සේ උදය සවසැ යි නො සලකා හැම වේලෙහි ම මලුපෙත් මං හමදිත්. උදය පටන් සවස් වනතුරු හැම වේලෙහි ම ඒ ඒ තැන හමදින්නා වූ මුන්වහන්සේ එක් දවසක් ඉදලත් ගෙණ රේවත තෙරුන් වෙත ගොස් “මේ සතා මහ කම්මැලියෙක්, සැදැහැති මිනිසුන් සැදැහැයෙන් දෙන බත් කා අවුත් දාවල ගෙට වැද හිඳ රෑවත් ම නින්දට බසියි, නරක ද ඉදලක් ගෙණ මේ මිදුල් අතු ගෑම?” යි කීහ. එවිට රේවත තෙරණුවෝ “මොහුට අවවාද කළ යුතුය” යි සිතා “ඇවැත! මෙහි එව” යි අමතා “දිය නා එන්නැ” යි කීහ. ඔහු දිය නා ආ කල්හි. වෙතට ගෙන වාඩි ගන්වා “ඇවැත! ඔය විදියේ හැමදීමක් මම නො දනිමි, වත් පිළිවෙත් කරමි යි දවස මුළුල්ලේ හැමදීම වැඩෙක් නො වේ, එයින් ම දවස ගෙවී ගිය කල අන් වැඩකට කාලයෙක් නො ලැබෙන්නේ ය, උදෑසනින් නැගිට හමදින තැනක් හැමද අවසන් කොට පිඩු සිඟා ගොස් අවුත් වළඳා රෑ වසන තැනෙක හිද සිහි එළවා දෙතිස් කුණු කොටස් ගැණ සලකා ආත්මභාවයෙහි තතු සිතට ගෙණ සවස නැගී සිට නැවැතත් හමදනා තැන් හැමදිය යුතු ය, නිතර හැමදීම කමටහන් වැඩීමට බාධක බැවින් එසේ නො කට යුතු ය” යි ද අවවාද කළහ.

සම්මුඤ්ජනී ස්ථවිර තෙමේ තෙරුන්ගේ අවවාදය පිළිගෙණ ඒ ලෙසට මහණ දම් කරණුයේ වැඩි දවස් නො යවා ම රහත් බවට පැමිණියේ ය. ඒ දවස් කිහිපය තුළ වෙහෙර මිදුල්හි කුණු කසළ ගොඩ ගැසී ගියේ ය. ඵවිට අන් භික්ෂූහු “ඇවැත! මිදුල් කුණු කසළින් පිරි ඇත්තේ ය, දැන් ටික දවසක සිට නො හමදිහු කුමක් නිසා දැ” යි ඇසූහ. “ස්වාමීනි! නිකරුණේ දවස් ගෙවූ කාලයෙහි නිතර හැමදීමි, දැන් එසේ නො කළ හැකි ය, හැමදීමට ඇති කාලය ඉතා ටික ය, දැන් එදාට මහණදම් කරමි” යි සම්මුඤ්ජනී තෙරුන් කී විට “මේ තෙමේ රහත් බව හඟවා” යි සිතා බුදු රජුන් වෙත ගොස් එය දන්වා සිටියහ. උන්වහන්සේ “මහණෙනි! ඔව්! මාගේ පුත් පෙර නිකම් සිටි දවස නිතර මිදුල් හැමන්දේ ය, දැන් ඒ නම මාර්‍ගඵල සුඛයෙන් කල් යවන්නේ ය, එහෙයින් ඒ නමට මිදුල් හැමදීමට එතරම් කාලයක් නො වේ ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

යො ච පුබ්බෙ පමජ්ජිත්‍වා පච්ඡා සො නප්පමජ්ජති,

සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමාති.

යමෙක් පෙර පමාබවට පැමිණ ද පසුව හෙතෙමේ නො පමා වේ ද, හෙතෙමේ වලාපටලයෙන් මිදුනු සඳසේ මෙලොව බබලව යි.

යො පුබ්බේ පමජ්ජිත්‍වා ච = යමෙක් පෙර පමා බවට පැමිණ ද.

පච්ඡා සො නප්පමජ්ජති = පසුව හෙතෙමේ පමා නො වේ.

අබ්භා මුත්තො චන්‍දිමා ඉව = වලාපටලයෙන් මිදුනු සඳසේ.

සො ඉමං ලොකං පභාසෙති = හෙතෙමේ මෙලොව බබලවයි.

වත් පිළිවෙත් කිරීම නිසා හෝ බණ දහම් ඉගෙණීම නිසා හෝ යමෙක් මුල් කාලයෙහි යෝනිසෝමනසිකාරයෙහි යෙදී වසන්නට නො හැකි වූයේ ද හෙතෙමේ පෙර පමා වූවකු ලෙස ගණිනු ලැබේ. එහෙත් හෙතෙමේ ම පසුව මගපල සුවයෙන් දවස් යවන්නේ නම් නො පමාවූවකු ලෙස සලකනු ලැබේ. ඒ ඒ පදාර්‍ත්‍ථයන්හි ඇති තතු මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරය යි ගත හැක්කේ ද මෙහි ලා මගපල ලැබීමට කරුණු වූ සංස්කාර තත්ත්‍වය ඇති සැටියෙන් සැලකීම සිතට නගා ගැණීම යෝනිසෝමනසිකාරය යි ගැණේ. ඒ උසස් වූ යෝනිසෝමනසිකාරය යි. මගපල ලැබීම සඳහා සංස්කාරධර්‍මතත්ත්‍වය මෙනෙහි කරන්නහුට ඇතිතාක් වත් පිළිවෙත් කිරීම හා බණ දහම් ඉගෙණීමත් පමායෙකැ යි කියන ලදී.

මගපලසුවයෙන් දවස් යවන ඒ ශ්‍රේෂඨපුද්ගල තෙමේ, වලාකඩින් මිදුනු චන්‍ද්‍ර තෙමේ අවකාශය යම් සේ බබලවා ද, එසේ මේ ආත්මභාවසඞ්ඛ්‍යාත ලෝකය ලක්‍ෂණ රස ප්‍රත්‍යූපස්ථානපදස්ථානාදීන්ගේ වශයෙන් සප්තවිශුද්ධික්‍රමයෙන් අවබෝධ කර ගැණීම ය “ආත්මභාවසංඛ්‍යාතලෝකය බබලවා” යි වදාළෝ.

අබ්භ නම් වලාපටලය යි. චන්‍ද්‍රයා පිළිබඳ උපක්ලේශ සතරෙකි. අබ්භ, මහිකා, ධූමරාජ, රාහු යි. ඒ මෙසේ වදාළ සේක. “අබ්හා භික්ඛවෙ, චන්‍දිමසුරියානං උපක්කිලෙසා, මහිකා භික්ඛවෙ, චන්‍දිමසුරියානං උපක්කිලෙසා, ධූමරාජො භික්ඛවෙ, චන්‍දිමසුරියානං උපක්කිලසො, රාහු භික්ඛවෙ, චන්‍දිමසුරියානං උපක්කිලෙසො” යි. අබ්භ නම්, වලාපටලයි. මහිකා නම්, පිණිය. ධූමරාජ නම්, දුම්රැස ය. රාහු නම්, එනම් අසුරිඳු ය. චන්‍ද්‍රයා පිළිබඳ උපක්ලේශ පසෙකැ යි ගන්නා තැන ධූලිසමූහය ද එක් උපක්ලේශයෙක් වේ. .

දිය දරණ බැවින්, සතුන් රකින බැවින්, නොයෙක් සිය ගණන් පටල ඇති බැවින් අබ්භ නම්.

“ආපං හරතීති = අවති සත්තෙ රක්ඛතීති = අබ්භති අනෙකසතපටලො හුත්‍වා ගච්ඡතීති = අබ්භං” යනු අර්‍ත්‍ථ සමර්‍ත්‍ථනය යි. දුම්, ගිනි, දිය සුළඟ යන සිවුදෙනාගේ එක් වීමෙන් වලාකුල් හට ගණීය යි භූවිද්‍යාඥයෝ කියත්. සඳ දෙව් විමන මෝ හට ඇත්තේ නුයි චන්‍දිමන්තු නම්. සඳ දෙව් පුත් ය, නැත, සඳ දෙවිපුත් මෙහි ඇත්තේ නුයි චන්‍දිමන්තු නම්. සඳ දෙව් පුත් හා සඳවිමන වෙන් කොට නො දැක්විය හැකි වස්තූන් බැවින් මෙතැන්හි අභිමතපදාර්‍ත්‍ථයක් ගැණීමට ඉඩ ඇත්තේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙනෙක් සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

සම්මුඤ්ජනීයස්ථවිර වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.